උපවාසය කුමක් සදහාද?

උපවාසයට දීර්ඝ වූ ඉතිහාසයක් පවතින බව හා මෙම උපවාසය පිලිබදව විවිධ ආගම් තුල මේ පිලිබදව කථා කොට ඇති බව අප මීට ඉහත අනිකුත් ආගම් තුල උපවාසය යන මාතෘකාව ඔස්සේ මෙම යහමඟ අඩවිය හරහා සාකච්චා කලෙමු. මෙහි දී අවධානය යොමු කරන්නේ ඉස්ලාම් දහම, (ඉස්ලාමීය දින දර්ශනයට අනුව) සෑම වර්ෂයකම “රමලාන්” නම් වූ මාසය පුරාවට උපවාසය රැකීම සෑම මුස්ලිම්වරයෙකුටම අනිවාර්ය කොට ඇත්තේ කුමක් සදහාද? යන කාරණයයි. මෙය ආකාර දෙකකට සාකච්චා කල හැක. එනම්,

ඉහත පලමු කාරණය එනම් “මෙම උපවාස රැකීම නිසා ඇතිවන ලෞකික යහපත කුමක්ද?” යන කාරණය වෙත ප්‍රථමයෙන් අවධානය යොමු කලේ නම්, මෙයට ශුද්ධ වූ කුර්ආනය පිලිතුරු ලබාදෙයි. එය ශුද්ධ වූ කුර්ආනයේ 2-183 වාක්‍යයෙන් මෙසේ පවසයි.

“විශ්වාසවන්තයනි (මුස්ලීම්වරුනි) !, නුඹලාට පෙර විසූ ජන (සමාජය)ට අනිවාර්ය කලාසේම, නුඹලාටත් උපවාසය රැකීම අනිවාර්ය කර ඇත. ඒ එය තුලින් නුඹාලා (අල්ලාහ් (දෙවියන්ට)) බියබැතියන් වනු පිණිසය.”

ඉහත කුර්ආන් වාක්‍යයෙන් මෙම උපවාසය අතීතයේ සිට පැවත එන්නක් බව පවසන අල්ලාහ් (දෙවියන්) මෙය වර්ථමාන සමාජයටත් අනිවාර්ය කලේ ඔවුන් “(දෙවියන්ට) බියබැතියන් වී යහපත් මනුෂ්‍යයන් වීම පිණීස” බව පවසයි. දැන් වර්ථමාන බුද්ධීමත් මෙන්ම තාර්කික සමාජයට ගැටළුවක් පැනනැගිය හැක. ඒ “ලෞකික වශයෙන් විවිධ වූ ඉල්ලීම් හා අයිතීන් දිනාගැනීම පිණිස උපවාසය කිරීම සාධාරණය. නමුත් දෙවියන් සදහා කරන උපවාසය තුලින් මනුෂ්‍යාහට දිනාගත හැකි කිසිවක් තිබෙනවාද?, මේ උපවාසය එනම් කුසගින්නෙහි සිටීම තුලින් ලෞකික ජීවිතයට කිසියම් යහපතක් අත්වෙනවාද?” යන්නයි. දැන් ඒ පිලිබදව අවධානය යොමු කරමු.

මෙම උපවාසය කුමක් සදහා ද?

මෙම ප්‍රශ්නය තුල උපවාසය තුලින් මනුෂ්‍යා ලෞකික වාසියක්, පලයක් අපේක්ෂා කරනවා යන්න පැහැදිලි වේ. එසේ නම් ඉස්ලාම් මෙම උපවාසය මනුෂ්‍යා සදහා අනිවාර්ය කරන්නේ ඔහුට ලෞකික වාසි ලබාගැනීම පිණිස ද? යන ගැටළුව මේ තුලින් පැන නැ‍ඟේ. ප්‍රථමයෙන් මෙම කාරණය වෙත අවධානය යොමු කලේ නම්, ඉස්ලාම් මෙම උපවාසය පමණක් නොව තවත් කරුණු කිහිපයක් ද මුස්ලිම් ජනයා සදහා අනිවාර්ය කරයි. එනම්,

  1. (අල්ලාහ් (දෙවියන්)) විශ්වාස කිරීම
  2. සලාතය (දිනකට පස්වතාවක් වන්දනය කිරීම)
  3. උපවාසය (රමලාන් මාසයේ උපවාසය රැකීම)
  4. හජ් වන්දනය (වත්කම් ඇති පිරිස් සදහා පමණක් අනිවාර්ය වේ)
  5. “සකාත්” නම් අනිවාර්ය බද්ධක් ගෙවීම (ධනවතුන් සදහා පමණි)

මේ සියල්ල තුලින් දෙවියන් අපේක්ෂා කරන්නේ ඔහු කෙරෙහි මනුෂ්‍යාගේ අවනතභාවයයි. නමුත් ඉන් ලෞකික යහපතක් නැතැයි යන්න අදහස් නොකෙරේ. අල්ලාහ් (දෙවියන්‍)ගේ මුඛ්‍ය අරමුණ මනුෂ්‍යාගේ අවනතභාවය වන අතර එකම අරමුණ එය පමණක් නොවේ.  මෙහි දී සියළුදෙනා අවබෝධ කර ගතයුතු තවත් මූලික කාරණයක් ඇත. එනම් සැබෑ දහමක් ලෝකෝත්තර දිවියට පමණක් නොව ලෞකික දිවියටත් එකසේ ප්‍රායෝගිකය. (මෙය මා මීට පෙර මෙම අඩවිය ඔස්සේ ලෞකික දිවිය හා ලෝකොත්තර විමුක්තිය යන ලිපිය තුලින් කථා කලෙමි) මන්ද එය අතීතය, වර්ථමානය හා අනාගතය පිලිබදව පූර්ණ දැනුමක් ඇති දෙවියන්ගේ සැලසුම් කරණයක් වන බැවිණි. ඒ අනුව ලෝකොත්තර අරමුණු පෙරදැරිව මේ උපවාසය මුස්ලීම් සමාජයට ඉස්ලාම් අවධාරනය කල ද එය තුල ලෞකික දිවියට යහපත ගෙනදෙන බොහෝ දෑ අන්තර්ගතය. ඒ පිලිබදව දැන් අවධානය යොමු කලේනම්,

උපවාසය කියාදෙන පාඩම – 01

“උපවාසය” යනු මුස්ලිම් ජනයා විසින් දෙවියන් උදෙසා කරන වත්පිලිවෙතකි. එය ක්‍රියාවට නංවන විට එය කරන තැනැත්තා තුල දෙවියන් කෙරෙහි ආකර්ශනයක් ඇති වේ. තමන් ප්‍රිය කරන එසේම තමන්ගේ අවශ්‍යතාවයන් වන ආහාර, පාන හා ලිංගික අවශ්‍යතාවයන් වැනි කාරණාවලින් මිදී දේව නියෝගය පිලිගෙන ක්‍රියා කරන විට ඔහු තුල දෙවියන් කෙරෙහි කිසියම් ආකාරයක ආකර්ශනයක්, භක්තියක් ගොඩනැඟේ. අප සමාජය තුල දකින පොදු සත්‍යයක් තමා කිසියම් කෙනෙකු තමා ප්‍රිය කරන කිසිවක් කැප කරන්නේ නම් නියත වශයෙන්ම ඔහු ඒ තුල ඊටත් වඩා යහපත් යමක් අපේක්ෂා කරනවා යන්න. ඉස්ලාම් උපවාසය මනුෂ්‍යාට අනිවාර්ය කිරීම මගින් ඔහුගේ හදවතේ ස්පර්ශ කරන්නේ මෙම ගුණාංගයයි. ලෞකිකව ඔහු කුමක් කෙරෙහි දැඩි ඇල්මක් හා ආකර්ශනයක් දක්වන්නේද? ඒවා සියල්ල අත්හැර මේ සියල්ල මවා මනුෂ්‍යා වෙනුවෙන් දායාද කල දෙවියන් කෙරෙහි අවනත වියයුතු යන්න මේ උපවාසය අපට කියා දෙන එක් ප්‍රධාන පාඩමකි. එසේ ලෞකික කාරණයන් කෙරෙහි ඔහුගේ තිබෙන ආකර්ශනය හා බැදීම් අත්හැරීම තුලින් ඔහු අපේක්ෂා කරන්නේ දෙවියන්ගේ කැමැත්ත, ආදරය හා අශිර්වාදය පමණී.

උපවාසය කියාදෙන පාඩම – 02

උපවාසය තුලින් දෙවියන් අපේක්ෂා කරන ප්‍රධාන අංගයක් තමා “දෙවියන් කෙරෙහි බියබැති බව” එය ඉහත 2-183 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය මඟින් ද අවධාරනය කරන බව අප ඉහතින් දුටුවෙමු. මේ බියබැති බව ඇතිවීමට ආහාර පානවලින් වැලකීසිටීම කිසිසෙත් ප්‍රමාණවත් නොවේ. ඉස්ලාම් පවසන උපවාසය ඉහතින් සදහන් ආකාරයට ආහාර පානවලින් වැලකී සිටීමට පමණක් සීමා වූ කාරණයක් නොවේ. මනුෂ්‍යාගේ මුළු ශරීරයම උපවාසය රැකිය යුතු යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. මෙය අල්ලාහ් (දෙවියන්)ගේ දූතායාණන් වන මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පවසන ලදී,

“කවරෙකු මුසාවන් පැවසීමත්, රැවට්ටීමත්, අපචාරයන්හි නිරතවීමත් අත්හැර නොදමන්නේ ද ඔහු අනුභව නොකොට, පානය නොකොට සිටීම කෙරෙහි අල්ලාහ් (දෙවියන්ට) කිසිදු තැකීමක් නැත.”

(ග්‍රන්ථය බුහාරී)

දෙවියන්ගේ ආශිර්වාදය හා ආදරය අපේක්ෂාවෙන් උපවාසයේ නිරතවන කිසිවකුගේ සිත කිසියම් පාපක්‍රියාවක් වෙත නැඹුරු වනවිට ක්ෂණයකින් තමා උපවාසයේ නිරතව සිටින බව සිහිපත් වී එම පාපක්‍රියාවෙන් ඔහු දුරස්වනු ඇත. ඔහු තුල ඒ සදහා ශක්තියක් මේ උපවාසය තුලින් නිර්මාණය වනු ඇත. එහි එක් මූලික පියවරක් ලෙස තමා අල්ලාහ් (දෙවියන්)ගේ දූතායාණන් වන මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසා සිටියේ,

“කිසියම් කෙනෙකු තමන්ට පහරදීමට හෝ බැනවැදීමට උත්සාහ කලේනම් ඔහුට ‘මම උපවාසයේ නිරත වී සිටින්නෙමි’ යයි පවසා එතැනින් ඉවත් වන්න.”

මෙසේ උපවාසය රැකීම එනම් කුස පමණක් නොව මුළු සර්වාංගයම උපවාසය රැකීම තුල එනම් මනුෂ්‍යා තුල හොද සංයමයක් නිර්මාණය වේ. එපමණක් නොව තමන්ට එරෙහිව ක්‍රියාකල තැනැත්තාහට තමන්ගේ උපවාසය සිහිකිරීම තුල අනවශ්‍ය ආකාරයට එදිරිවාදිකම් හට ගැනීමෙන් දෙදෙනාම වැලකේ. මෙය හොද ආදර්ශයක් බවට ද පත්වේ.

උපවාසය කියාදෙන පාඩම – 03

දෙවියන්ට අවනතව හා ඔහුගේ භාග්‍යයන් අපේක්ෂාවෙන් මනුෂ්‍යා උපවාසය රකින විට, මේ උපවාසය හේතුකොටගෙන මනුෂ්‍යා තුල එක්තරා ආකාරයක හුදෙකලාභාවයක් නිර්මාණය වේ. එනම් මනුෂ්‍යා ඔහුගේ කැමැත්තට ආහාර පාන හා අනිකුත් ලෞකික සැපසම්පත් භුක්ති විදිමින් ජීවත් වනවිට නොදැනුවත්වම කිසියම් ආකාරයක මායාකාරී මෙන්ම ආඩම්භරකාරී ජීවිතයක් ඔහු තුල නිර්මාණය වේ. මෙවන් තත්වයක ඔහුට ලෝකය දෙස යාථාර්ථවාදීව දැකීමට නොහැකි වේ. මෙම තත්වය වර්ථමාන සමාජයේ අප නිරන්තරයෙන් දකින්නෙමු. එවැනි අවස්ථාවල තමා බොහෝ විට අප “දැන් තමයි මට තේරෙන්නේ” යයි පවසන්න්. මෙහි පවතින්නේ එම මායාකාරී ස්වභාවයයි. ලෞකික සැපසම්පත් හා අලංකාරවල මනුෂ්‍යා ගිලී ජීවත් වනවිට ඔහුට යථාර්ථවාදී බොහෝ දේ නොපෙනී යයි. මෙම තත්වය නිසයි වරක් අල්ලාහ් (දෙවියන්)ගේ දූතායාණන් වන මුහම්මද් (සල්) තුමාණන් මෙසේ ප්‍රකාශ කලේ,

“ආදම්ගේ දරුවා (මුළු මිනිස් සමාජය) ඉතා නරක මල්ලක් පුරවමින් සිටී. එය තමා කුස. ආදම්ගේ දරුවාට ඔහුගේ කොදුනාරටිය සෘජුව තබාගැනීමට සුළු ආහාර ප්‍රමාණයක් ප්‍රමාණවත්, අධිකව ආහාර ගැනීමට අවශ්‍යම නම් (කුසෙන්) තුනෙන් එකක් ආහාරය සදහාත්, තවත් කොටසත් වතුර සදහාත්, ඉතිරි කොටස තමන් සදහාත් වෙන්කර ගනිත්වා!”

(ග්‍රන්ථය – අහ්මද්, ඉබුනුමාජා)

ඉහත හදීසය තුලින් පැහැදිලි වන්නේ සීමා ඉක්මවා ආහාර පාන ගැනීම නිසා මනුෂ්‍යා තුල කිසියම් ආකාරයක දුර්වලතාවයන් නිර්මාණය වනවා යන්නයි. මනුෂ්‍යා ලෞකික බැදීම් කෙරෙහි දැඩි ආකර්ශනයක් ඇතිකර නොගෙන ජීවත් වනවිට ඔහුට ජීවිතයේ බොහෝ දෑ යථාර්තවාදීව අවබෝධ වේ. උපවාසය රැකීම තුලින් ද සිදුවන්නේ මේ මනුෂ්‍යගේ ලෞකික බැදීම් ඉවත් වී ඔහු යථාර්ථවාදී මිනිසකු බවට පත්වීමයි. මේ හේතුව නිසා ඔහු තරමක විවෘත හා පැහැදිලි මනසින් ලෝකය දෙස බලන්නට නැඹුරු වේ. මෙය මනුෂ්‍ය ස්වභාවය වන අතර එය වඩාත් හොදින් අවබෝධ කරගත හැකි සිදුවීමක් අල්ලාහ් (දෙවියන්)ගේ දූතායාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ගේ කාලයේ එක්තරා අවස්ථාවක සිදුවිය. එය මෙසේය,

“එක්තරා අවස්ථාවක හන්ලලා අල් උසෙයිදි (රලි) තුමාණන් වරක් ‘මම ද්‍රේහියෙක් බවට පත්වුනා!’ යයි පවසන ලදී. එය ඇසු මුහම්මද් (සල්) තුමාණන් ‘මේ මොනවාද ඔබ කියන්නේ?’ යයි විමසා සිටින ලදී. එයට ඔහු, ‘අල්ලාහ්ගේ දූතයාණෙනි!, ඔබතුමා හමුවේ අප සිටින විට නිරය, ස්වර්ගය පිලිබදව ඔබතුමාණන් අපට අවවාද අනුශාසනා කරන්නේය. එවිට ඒ සියල්ල අප ඇස් ඉදිරිපිට දකිනවා සේ අපට හැඟේ. නමුත් ඔබතුමාගෙන් වෙන්වී ගියවිට බිරිද, දරුවන්, වතුපිටි… යනාදී කරුණුවල ගිලී එම අවවාද අනුශාසනාවලින් බොහෝ දෑ අමතක කර දමන්නෙමු.’ යයි පවසන ලදි.”

(ග්‍රන්ථය මුස්ලීම්)

ඉහත හදීසයෙන් පැහැදිලි වන්නේ කුමක්ද? ලෞකික කාරණයන් තුල ගිලෙන තරමට අපට බොහෝ සත්‍යයන් යථාර්ථවාදීව දකින්නට නොහැකි වනවා යන්නයි. මේ උපවාසය තුලින් බොහෝ දෑ කෙරෙහි සිතන්නට හා බුද්ධිමත්ව දකින්නට පොළොඹවන නිසා මේ උපවාසය මුස්ලීම් ජනයා හට මහත් ආශිර්වාදයක් බවට පත්වේ.

උපවාසය කියාදෙන පාඩම – 04

මේ උපවාසය හේතුකොටගෙන ධනවතා හා දුගියා අතර ඇතිවන බැදීම කිසිසේත් නොසලකා හැරිය නොහැක. ධනවත් කෙනෙකු හට මේ උපවාසය, තමන්ට අල්ලාහ් (දෙවියන්) විසින් ලබා දී ඇති භාග්‍යයන් නිසිලෙස අවබෝධ කරගැනීමට මහත් පිටුවහලකි. ධනවත් පුද්ගලයෙකු හට ආහාර පාන හා බිරිද දරුවන් යනදී සියල්ල ඉමහත් භාග්‍යකි. මෙසේ ඔහු සුඛෝපභෝගි ජීවිතයක් තුල කල්ගෙවන විට එම සමාජයේම තවත් පිරිසක් මේ සියල්ල අහිමිව දුක්බර ජීවිතයක් ගතකරයි. මේ උපවාසය හේතුකොටගෙන මේ ධනවත් මිනිසා ආහාර පානවලින් හා අනිකුත් සැපසම්පත්වලින් දුරස් වී කල්‍ ගෙවයි. එහි දී ඔහුට එතුවක් තමන් භුක්ති විදින ලද භාග්‍යයන් හි මහිමය අවබෝධ වේ. විශේෂයෙන් ආහාර පානවල වටිනාකම අවබෝධ වේ. ඔහු එක්තරා දුරකට දුගී ජනයාගේ දුක අත්වි දී එහි දී ඔහුට දෙවියන් ලබා දී ඇති භාග්‍යයන් පමණක් නොව දුගියාගේ දිළිදුකමත් ඔහු ජීවිතයේ අත්විදින කටුක බවත් අවබෝධ කරගනී. මේ නිසා ඔහු දිළිදු ජනයා වෙනුවෙන් දානධර්මදීමටත් ඔවුනට උදව්කිරීමටත් පෙළඹේ. මේ තුලින් ඒ වර්ෂය පුරා දිළිදුබවෙන් මිරිකී ජීවත්වන එම දිළිදු ජනතාවට මේ උපවාස මාසය මහත් භාග්‍යවන්ත මාසයක් බවට පත්වේ. මෙම තත්වය එනම් ධනවතුන්ගේ පරිත්‍යාගය හා දිළිදු ජනයාගේ සතුට මෙම උපවාස (රමළාන්) මාසයේ මුස්ලිම් සමාජයේ සුළබව දකින්නට තිබෙන දසුනකි. මෙය උපවාසය තුලින් මනුෂ්‍ය සමාජය ලබාගත් ජයග්‍රහණයකි.

උපවාසය කියාදෙන පාඩම – 05

ඉස්ලාම් දහම පවසන බොහෝ වත්පිලිවෙත් මනුෂ්‍යාගේ මනස හා සෘජුවම බැදී පවතින කාරණයකි. එයට එක් සාධකයක් ලෙස මෙම උපවාසය ද සදහන් කලහැක. මේ උපවාසය තුලින් මනුෂ්‍යා තම සිත පාලනය කිරීමට පුරුදු පුහුණුවීම ද ඉස්ලාම් පෙන්වාදෙන කාරණයකි. මනුෂ්‍යාගේ සිතෙහි පාලනය මනුෂ්‍යාගෙන් මිදී පැවතීම තමා අද ලොව බොහෝ විනාශයන් අපරාධයන් සිදුවීමට මූලික හේතුව. තමන්ට කිසිසේත් වැලකිය නොහැකි යයි පවසන දෛනික අවශ්‍යතාවයන් වන ආහාර පාන හා ලිංගික අවශ්‍යතාවයන් තමා පිලිගෙන සිටින දෙවියන් වෙනුවෙන් වැලකී එය සතුටින් භාරගනී. තම සිතට වහල් ‍ෙවනවා වෙනුවට සිත වහල්කරගනී. මේ නිසා යහපත් අයහපත් කරුණු බුද්ධිමත් ලෙස තෝරා බේරාගෙන තම ජීවිතය යහපත් ආකාරයට සකස් කිරීමට හැකියාව ලැබේ. සිත යනු සෑම විටම මනුෂ්‍යාට වඩා පියවරක් ඉදිරියෙන් සිටින දෙයකි. නමුත් මේ මනස උපවාසය තුලින් පහසුවෙන් ජයගැනීමටත් එය වහල්කර ගැනීමටත් මුස්ලිම්වරයෙකු හට හැකිවේ. මෙය මනුෂ්‍යයෙකු වශයෙන් ලබන ලොකුම ජයග්‍රහණයකි.

උපවාසය කියාදෙන පාඩම – 06

උපවාසය තුලින් මනුෂ්‍යාහට හිමිවන තවත් භාග්‍යයක් වන්නේ ඔහුගේ හැඟීම් පහසුවෙන් පාලනය කැරීමට හැකියාව ඔහුතුල නිර්මාණය වීම. මනුෂ්‍යයෙකු හට කුසපිරෙන් ආහාර පාන හා කම්සැප නොඅඩුවකින් ලබන විට ඔහු තුල කිසියම් ආඩම්භරභාවයක් නිර්මාණය වේ. එසේම ඔහුගේ ජීවිතය තුල කිසියම් ආකාරයක ආවේගකාරී ස්වභාවයක් දක්නට ලැබේ. නමුත් උපවාසය හේතුකොටගෙන ඔහු ජීවිතය යතාර්ථවාදීව දකින්නට පෙළඹේ. එහි දී සත්‍ය වෙනුවෙන් නැඹුරුව, යටහත්ව හා ජනයා ඉදිරියේ නිහතමානිව ක්‍රියා කිරීමේ යහපත් චින්තනයක් ජීවිතය තුල නිර්මාණය වේ.

එපමණක් නොව මනුෂ්‍ය ස්වභාවයෙන්ම මිනිසාට ආහාර පාන හැරුණූ කොට කායිකව ඇතිවන ප්‍රධාන අවශ්‍යතාවයක් තමා ලිංගික අවශ්‍යතාවය මෙය කිසියම් ආකාරයක පලනයක් කරගැනීම සදහා හොද ප්‍රතිකර්මයක් ලෙස ඉස්ලාම් උපවාසය හදුන්වා දේ. මේ පිලිබදව අල්ලාහ් (දෙවියන්)ගේ දූතායාණන් වන මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පවසන ලදී.

“ඕ තරුණයෙනි!, නුඹලාගෙන් කවරෙකු විවාහයක් අවශ්‍යතාවයෙන් පෙලෙන්නේද? ඔවුන් විවාහ කරගනිත්වා!, මන්ද විවාහය (නුඹලාගේ) බැල්ම පහත හෙලන්නටත්, (නුඹලාගේ) ලිංගික අවයවයන් (දුරාචාරයෙන්) ආරක්ෂා කරන්නටත් සමත්ය. කව්රුන් එයට (විවාහයට) ශක්තිවන්ත නොවේද? ඔවුන් උපවාසය රකිත්වා නියතවම එය ඔහුව ආරක්ෂා කිරීමට සමත්ය.”

(ග්‍රන්ථය – බුහාරි, මුස්ලීම්)

ඉහත නබිවදනට අනුව අනුව මනුෂ්‍යගේ ලිංගික හැඟීමන් පාලනයට උපවාසය වඩාත් හොද පිලියමක් බව ඉස්ලාම් පවසයි. ශරීරයට අවශ්‍ය ආහාර හා ජලය නිසි ලෙස නොලැබෙන විට ඔහු මානසික හැඟීමන්ට වහල් නොවී බුද්ධිමත් ලෙස ජීවිතය දකින්නට පෙළඹේ ඒ හේතුවෙන් ඔහු ලිංගික හැඟීමන්ට වහල් වූ ජීවිතයෙන් මිදේ.

උපවාසය කියාදෙන පාඩම – 07

මා මෙම ලිපිය ආරම්භයේ සිට පැවසුවාසේ උපවාසය මනුෂ්‍යා බුද්ධිමත්ව සිතීමට පොළොඹවන එනම් මානසික නිදහස ලබාදෙන දේව සැලසුම් කරණයකි. මෙහි මානසික සුවය පමණක් නොව මෙම උපවාසය තුල කායික සුවයට ‍අවශ්‍ය බොහෝ දෑ අන්තර්ගතය. විශේෂයෙන් වර්ෂය පූරාවට අධික ලෙස ශරීරයට ආහාර ගැනීම නිසා විවිධ වූ රෝගී තත්වයන් ඇති වේ‍. එවැනි රෝගි තත්වයන් සදහා මෙම ඉස්ලාම් පවසන උපවාස ක්‍රමය වඩාත් පලදායි බව වෛද්‍යවරුන්ගේ පවා නිගමනයයි. විශේෂයෙන් මනුෂ්‍යාහට වැලදෙන බොහෝ රොගී තත්වයන්ට හේතුකාරණයක් වන ශරීරයේ අධික ලෙස මේදය තැන්පත් වීම අවම කරගැනීමට වඩාත් සාර්ථක උපක්‍රමයක් ලෙස මෙම උපවාස වෛද්‍යවරුන් පවා හදුන්වාදෙයි. වර්ෂය පුරාවටම උදේපටන් රාත්‍රි නින්දට යනතුරු අඛණ්ඩව ක්‍රියාත්මක වන මේ ශරීර කූඩුව තුල ඇති යන්ත්‍ර පද්ධතිය මාසයක කාලයක් අක්‍රයව පැවතීම සැබැවිම ඒ අභ්‍යන්තර පද්ධතියට දෙන විවේකයක් යන්න අවබෝධ කරගැනීම අපට අපහසු නොවේ.

ඉහත ආකාරයට ඉස්ලාම් උපවාසය තුලින් මිනිස් සමාජයට බොහෝ පාඩම් කියාදේ. ඒවා තුල ලෞකිකව තමන්ට මෙන්ම තම අවට සමාජයටත් බොහෝ යහපතක් ඇත්තේය. මීට පෙර අප විවිධ ආගම් විවිධ ආකාරයට උපවාසය පිලිබදව කථා කොට ඇති. උපවාසය නමින් කථා නොවුනත් ආහාර, පාන හා ලිංගික (කාමුක) හැඟීම් පාලනය පිලිබදව   ලොව සෑම ආගමක්ම පාහේ කථා කරයි. ඒ ආකාරයටම උපවාසය පවසන තවත් දහමක් ලෙස ඉස්ලාමය සදහන් කල නොහැක. ලොව බොහෝ ආගම් උපවාසය පිලිබදව පැවසුවද ඒවා,

  • දියර වර්ගවලින් පමණක් වැලකී සිටීම
  • මස් මාළුවලින් පමණක් වැලකී සිටීම
  • දියරවර්ග පමණක් ආහාරයට ගැනීම
  • පැයක් පැය කිහිපයක් පමණක් ආහාරපානවලින් වැලකී සිටීම
  • නිහඩව සිටීම පමණක් උපවාසයක් ලෙස ඉටුකිරීම
  • අඛන්ඩව දවසක් දවස් කිහිපයක් උපවාසය රැකීම
  • මාස කිහිපයක් අඛන්ඩ උපවාසයෙ නිරතවීම

යනාදී ආකාරයට වේ. මේවා සමහරක් හාස්‍ය උපදවන උපවාසයන්ය. උදාහරණයට දියර වර්ග පමණක් ආහාරයට ගැනීමේ උපවාසය සදහන් කල හැක. මේවා මඟින් මනුෂ්‍ය ජීවිතයේ කිසිදු වෙනසක් ඇති නොවේ. එසේම මනුෂ්‍ය ශක්තියෙන් ලඟාවිය නොහැකි ප්‍රායෝගික නොවන ඉලක්කයන් මනුෂ්‍යාට දේශනා කිරීම තුලින්ද මනුෂ්‍යාට යහපතක් අත් නොවේ. ඉස්ලාම් පවසන ආකාරයට මනුෂ්‍යාගේ මානසික හා කායික යහපත සදහා නම් මේ උපවාසය. ඒ තුල ඔහුට එය හිමිවිය යුතුය. ඔහුට එය ප්‍රායෝගික විය යුතුය. ඔහුව අපහසුතාවයන්ට හා සංකීර්ණ තත්වයන්ට පත්නොකල යුතුය. ඉස්ලාම් උපවාසය තුලින් මනුෂ්‍යාහට ලබාදෙන්නේ පහසුනොවන නමුත් ජයගතහැකි ඉලක්කයකි. තමන්ට කල නොහැකි බව පවසන ඉලක්කයක් අනිවාර්‍යයෙන් කරන ලෙස ඉස්ලාම් උපවාසය තුලින් අනකරයි. එහි දී ඔහුට අත්හල නොහැකි යයි පැවසූ දුම්වැටයෙන්, මත්පැන්වලින් හ‍ා වෙනත් ඇබ්බහිවීම්වලින් වැලකේ. කුසගින්න ඉවාගත නොහැකි යයි පවසන ඔහු උපවාස මාසයේ සතුටින් එය පිලිගෙන උපවාසය රකී (කුඩා දරුවන්ට මෙම උපවාසය අනිවාර්‍ය නොවුවත් ඔවුන් ඉතා සතුටින් මෙම උපවාසය රකී). මේ අනුව දෙවියන්ගේ දායාදයක් වන ඉස්ලාම් පවසන මේ උපවාසය මනුෂ්‍ය සමාජය යහමඟ ගැන්වීමටත්, සමාජය දෙස යතාර්ථවාදීව දකින්නටත් පොළොඹවයි. ඒ අනුව ඉස්ලාම් පවසන උපවාසය මිනිස් සමාජයට ආශිර්වාදයකි.

ස්තූතියි-අබූ  අර්ශද්

Related Post