රෝමානු කතෝලික බයිබලය (Roman Catholic Version)

රෝමානු කතෝලික බයිබලය (Roman Catholic Version)

රෝමානු කතෝලිකයින් විසින් භාවිතා කරනු ලබන බයිබලය 1582 වසරේ දී ලතින් වල්ගේට් භාෂාවෙන් ඉංග‍්‍රීසියට පරිවර්ථනය කරනු ලැබ රේම් නගරයේ ප‍්‍රකාශයට පත්කෙරුණු බයිබලය යි. මෙය ඉතා පැරණි පරිවර්ථනයකි.16 වන සියවසේදී ප‍්‍රකාශයට පත්කෙරුණු ඉතා පැරණි පරිවර්ථනයක් යන විරුද්ධාවලිය මෙම අනුවාදයට හිමි වුවද, මෙම අනුවාදය ප්‍රොතෙස්තන්ත නිකායට අයත් කිතුනුවන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය. ඊට හේතුව වූයේ මෙම අනුවාදයට දෙවියන් වහන්සේගේ වදන් දැයි සැක උපද වන පොත් 7ක් අන්තර්ගත වීමයි. එම නිසා ප්‍රොතෙස්තන්ත බයිබලයට මෙම පොත් හත අන්තර්ගත වී නැත.  එම පොත් හත නම්

  1. තෝබිත්
  2. ජූදිත්
  3. සලමොන්ගේ ප‍්‍රඥාව
  4. සිරාක්
  5. බාරුක්
  6. මක්බිවරුන්ගේ පළමු පොත
  7. මක්බිවරුන්ගේ දෙවන පොත

යන පොත් හතයි. එසේම රෝමානු කතෝලික හා ප්‍රොතෙස්තන්ත යන දෙපාර්ශවයේ බයිබල්වලම දානියෙල් නමින් පොතක් ඇත. රෝමානු කතෝලික බයිබලයේ එම දානියෙල් පොතට පරිච්චේද 14ක් අන්තර්ගත වන අතර ප්‍රොතෙස්තන්ත බයිබලයේ එම පොත පරිච්චේද 12න් අවසන් වේ. එසේම මෙම දානියෙල් නැමැති පොතේ තුන් වන පරිච්චේදයට රෝමානු කතෝලික බයිබලයේ වාක්‍යයන් 97 අන්තර්ගත වන අතර ප්‍රොතෙස්තන්ත බයිබලයේ මෙම පරිච්චේදය වාක්‍ය 30න් අවසන් වේ.

කතෝලි බයිබලය

කතෝලි බයිබලය

එස්තර් නමින් පොතක් මෙම දෙපාර්ශවයේ බයිබල් වලටම අන්තර්ගත වී ඇත. රෝමානු කතතෝලික බයිබලයේ මෙම පොතට ද පරිච්චේද 16ක් ඇතුලත් වන නමුත් ප්‍රොතෙස්තන්ත බයිබලයේ මෙම පොත පරිච්චේද 10න් අවසන් වේ. එසේම මෙම එස්තර් පොතේම 10 වන පරිච්චේදයට රෝමානු කතෝලික බයිබලයේ වාක්‍ය 13 ක් අන්තර්ගත වන අතර ප්‍රොතෙස්තන්ත බයිබලයේ මෙම පරිච්චේදය වාක්‍ය 3න් අවසන් වේ.

මෙහිදී වැදගත් කරුණක් දෙස අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. යම් ග‍්‍රන්ථයක් දේව භාෂිතයක් ලෙස පිළිගැනීමට නම් එය දේව භාෂිතයක් ලෙස විශ්වාස කරන සියළු දෙනාටම පොදු එකක් විය යුතුයි. එසේම එය මිනිසා අතින් සංශෝධනයන්ට ලක් නොවිය යුතුයි. මෙම සුදුසුකම දේව භාෂිතයක් සපුරා තිබිය යුතු බව බයිබලය ද තහවුරු කරයි. බයිබලයේ මෙසේ සඳහන් වේ.

මා ඔබට අණ කරන වචනයට යමක් එකතු නොකරන්න; එයින් යමක් අඩු නොකරන්න

(ද්විතීය නීති සංග‍්‍රහය 4:2)

මා විසින් අණ කරන සියල්ල පවත්වන්නට බලාගන්න. ඊට යමක් එකතු නොකරන්න; එයින් යමක් අඩු නොකරන්න.”(ද්විතීය නීති සංග‍්‍රහය 12:32)

එතුමන්ගේ වචනවලට කිසිවක් එක් නොකරන්න. එසේ කළොත්, එතුමන් ඔබට තර්ජනය කරනු ඇත. ඔබ බොරුකාරයෙකු බව පෙන්වනු ඇත”(හිතෝපදේශ 30:6)

යමෙක් මේ පොතේ දිවැස්වැකිවලින් යමක් අහක් කරන්නේ නම්, මේ පොතේ සඳහන් ජීවන වෘක්ෂයේ ද ශුද්ධ නුවරේ ද පංගුකාරකමින් දෙවියන් වහන්සේ ඔහු පහ කරන සේක.”(එළිදරව්ව 22:19)

දේව භාෂිතයක් නම් එය මිනිසා විසින් සංශෝධනයන්ට ලක් නොවිය යුතු යැයි ඉහත සඳහන් කළ බයිබල් වැකි වලින් ඔප්පු වේ.දෙවි විසින් අනාවරණය කරනු ලැබූ පුස්තකයක් සතු විය යුතු යැයි බයිබලයම නිර්ණය කරන මෙම සුදුසුකම බයිබලයට තිබේ දැයි පරීක්‍ෂා කළහොත් නියතවශයෙන්ම නැත යැයි කිව හැකිය. දේව භාෂිතය කුමක් ද යන කරුණෙහි කිතුනු ලොව දැඩි අර්බුදයකට මුහුණදී තිබීම ඊට හේතුවයි.

එක් ක‍්‍රිස්තියාණි නිකායක් දේව භාෂිතය යැයි විශ්වාස කරන බොහෝ වාක්‍ය තවත් ක‍්‍රිස්තියාණි නිකායක් විසින් දේව භාෂිතය නොවේ යැයි ප‍්‍රතික්ෂේප කර ඇත. ඉහත සඳහන් කළ රෝමානු කතෝලිකයින් විසින් දේව භාෂිතයයි පළිගනු ලබන, එසේම ප්‍රොතෙස්තන්ත නිකාය විසින් දේව භාෂිතය නොවේ යැයි ප‍්‍රතික්ෂේප කරනු ලබන පොත් හතට අන්තර්ගත වන වාක්‍ය සංඛ්‍යාව 4370කි. එසේම දානියෙල් නම් පොතෙහි ප්‍රොතෙස්තන්ත නිකාය පිළිනොගන්නා වාක්‍ය 174 අන්තර් ගත වේ. එස්තර් පොතෙහි එම නිකාය පිළිනොගන්නා වාක්‍ය ගනන 108. සියළු වාක්‍ය වල එකතුව 4652කි. එනම් වක්‍ය 4652 ක් දේව භාෂිතයද නොවේද යන්න පිළිබඳ කිතුනු සමාජය තුලම මතභේද පවතී.

මෙම වාක්‍ය 4652ම දේව පුස්තකය වූ බයිබලයට අන්තර්ගත විය යුතු ඒවා බවත්, ප්‍රොතෙස්තන්ත නිකායිකයින් විසින් ඒවා ඉවත් කර ඇති බවටත් රෝමානු කතෝලිකයෝ චෝදනා කරති. මෙම වාක්‍ය 4652 දේව භාෂිතය නොවන බවත්, ඒවා කතෝලික පූජකවරුන්ගේ ස්ව අදහස් බවත් ප්‍රොතෙස්තන්ත නිකායිකයින් චෝදනා කරති. රෝමානු කතොලිකයින්ගේ චෝදනාව නිවැරදි නම් දේව භාෂිතයක්(?) වූ බයිබලයෙන් දෙවියන් වහන්සේගේ වදන් සාමාන්‍ය මිනිසුන් විසින් ඉවත් කිරීමට තරම් දුර්වල තත්වයකට පත්ව ඇත යන්න තහවුරු වේ. ප්‍රොතෙස්තන්ත නිකායිකයින්ගේ තර්කය සත්‍ය නම් දේව භාෂිතයක්(?) වූ බයිබලයට අලූතින් මිනිසුන්ගේ අදහස් ඇතුළු කිරීමට තරම් අසරණ මෙන්ම දුර්වල තත්වයකට පත් වී ඇත යන්න තහවුරු වේ. මෙම චෝදනා දෙකෙන් එකක් අනිවාර්යෙන්ම සත්‍ය විය යුතුයි. මේ අනුව බයිබලය සංශෝධන වලට ලක් වී මිනිසුන් අතින් දූෂණය වි ඇත බව තහවුරු වේ.

මෙහිදී ඉතා වැදගත් කරුණක් දෙස අවධානය යොමු කරමු. එනම් රෝමානු කතෝලික හා ප්‍රොතෙස්තන්ත යන මෙම නිකායන් දෙක අතුරින් පැරණිම නිකාය වන්නේ රෝමානු කතෝලික නිකාය යි.ප්‍රොතෙස්තන්ත නිකාය බිහි වූයේ රෝමානු කතෝලික නිකාය බිහි වී බොහෝ කලකට පසුවයි. ප්‍රොතෙස්තන්ත නිකායේ නිර්මාතෘවරයා වූ මාටින් ලූතර් ද මුලදී රෝමානු කතෝලික පූජක සභාවේ සාමාජිකයෙක් විය. ඔහු එයින් ඉවත් වී ප්‍රොතෙස්තන්ත නිකාය පිහිටෙව්වේ 16 වන සිය වසේදීය. එනම් ප්‍රොතෙස්තන්ත නිකාය බිහි වූයේ යේසුස් වහන්සේට අවුරුදු 1600කට පසුවයි.යේසුස් වහන්සේට සියවස් 16කට පසු බිහි වූ නිකායක් බයිබලයේ වාක්‍ය 4652ක් දේව වාක්‍ය නොවේ යැයි තර්ක කරයි නම් පහත අපි ඉදිරිපත් කරන ප‍්‍රශ්ණ වලට කිතුනු ලොව පිළිතුරු සෙවිය යුතුයි.

  • මෙතරම් විශලා වාක්‍ය ගනනක් බයිබලයෙන් ඉවත් කළ හැකි වූයේ කෙසේ ද?
  • මෙතරම් විශලා වාක්‍ය ගනනක් බයිබලයට අයත් නොවේ යැයි පවසන විට එවකට ජීවත් වූ කිතුනුවන් නිශ්ශබ්දව සිටියේ කෙසේ ද?
  • මෙයට විරුද්ධව කතෝලික සභාවට කිසිවක් කළ නොහැකි වූයේ මන්ද?

මෙම ප‍්‍රශ්ණ වලට දිය හැකි එකම පිළිවතුර වන්නේ “මෙම නිකාය බිහිවීමට කලින් සිටම බයිබලට අලූතින් කරුණු එකතු කිරීමත් තිබෙන කරුණු ඉවත් කිරීමත් සාමාන්‍ය දෙයක් විය. කතෝලික සභාව ද බයිබලය තුල තම සෙල්ලම් පෙන්වමින් සිටියහ.එම නිසා මෙම නිකාය බයිබලය සංශෝධනයට ලක් කරන විට කතෝලික සභාව ඊට විරුද්ධව නැගී සිටීය ද එයින් පලක් නොවිය.” යන්න යි.

මෙම වාක්‍යයන් ඉවත් කිරීමට ප්‍රොතෙස්තන්ත නිකායිකයින්ට අවශ්‍ය වූයේ කුමක් නිසා දැයි මදක් විමසා බලමු.ප්‍රොතෙස්තන්ත නිකායිකයින් විසින් දේව වාක්‍ය නොවේ යැයි ප‍්‍රතික්ෂේප කරන ලද පොත් වල පාවුල් විසින් හඳුන්වා දෙන ලද ක‍්‍රිස්තියාණි ප‍්‍රතිපත්තිවලට අභියෝග කරන, ඒවා වැරදි යැයි තහවුරු කරන වදන් අන්තර්ගත විය.

යේසුස් වහන්සේ කුර්සයේ(හෝ වධ කනුවක) තියා ඇණ ගසනු ලැබූ බවත් මරණයට පත් වීමෙන් පසු යළිත් පණ ලබා නැගිටුනු බවත් කිතුනුවෝ විශ්වාස කරති.මෙම විශ්වාසය කි‍්‍රස්තියාණි දහමේ මූලික විශ්වාසයක් වන අතර සියළු නිකායන්ට අයත් කුතුනුවෝ මෙය විශ්වාස කරති. නමුත් ප්‍රොතෙස්තන්ත නිකායිකයින් විසින් ප‍්‍රතික්ෂේප කර ඇත පොත් වල මෙම ප‍්‍රතිපත්තිය වැරදි බව ඔප්පු කිරීමට ප‍්‍රමාණවත් වදන් අන්තර්ගත වේ. උදාහරණයකට මොවුන් විසින් බයිබලයෙන් ඉවත් කරන ලද පොත් වලින් එකකි, සලමොනගේ ප‍්‍රඥාව නම් පොත. මෙම පොතේ 2:5 වාක්‍ය පහත සඳහන් වේ.

“එසේය, අපේ ජීවිත කාලය සෙවනැල්ලක් මෙන් පහ වී යනු ඇත. මරණින් පසු ආපසු හැරී ඒමක් නැත.” (සලමොන්ගේ ප‍්‍රඥාව 2:5)

මෙම වාක්‍යයෙන් පැහැදිලිවන්නේ කුමක් ද? මරණින් පසු හැරී ඒමක් කිසිවෙකුටත් නොමැති බවයි. මෙය පිළිගතහොත් යේසුස් වහන්සේ මරණයෙන් පසු නැගිටුණු බව විශ්වාස කරන ප‍්‍රතිපත්තියට මෙය පටහැනි වේ.

ආදම් නැමැති පළමු මිනිසා පාපයක් කළ බවත් මෙම පාපයට දෙවියන් වහන්සේ සමාව නොදුන් බවත් එම නිසා ඉපදෙන සියළු දෙනා පාපයෙන්ම උපත ලබන බවත් යේසුස් වහන්සේ සියළු දෙනාගේ පාප සඳහා සිය ජීවිතය පූජා කළ බවත් විශ්වාස කිරීම කිතුනුවන්ගේ තවත් ප‍්‍රධාන ප‍්‍රතිපත්තියකි. මෙම ප‍්‍රතිපත්තියට දරුණු ප‍්‍රහාර එල්ල වන, මෙය වැරදි විශ්වාසයක් බව ඔප්පු කිරීමට ප‍්‍රමාණවත් වදන් ප්‍රොතෙස්තන්ත නිකායිකයන් විසින් ප‍්‍රතික්ෂේප කර ඇති සලමොන්ගේ ප‍්‍රඥාව හා සිරාක් යන පොත්වල අන්තර්ගත වේ.

”මිනිස් වර්ගයාගේ පියා වූ මවනු ලැබූ පළමු මිනිසා තනි ව මවන ලදී. ඔහුගේ රැකවල්කරු ප‍්‍රඥාව වූවා ය. ඈ ඔහු පවින් මුදාගත්තා ය.”(සලමොන්ගේ ප‍්‍රඥාව 10:1)

ඉහත වාක්‍යයෙන් ආදම්ගේ පවට ක්‍ෂමාව ලැබූ බව වටහාගත හැකිය. ආදම්ගේ පාපයට සමාව ලැබුනු බව තහවුරු වන විට, යේසුස් වහන්සේ සියළු දෙනාගේ පාප වලට සිය ජීවිතය පූජාකළේය යන ප‍්‍රතිපත්තිය වැරදි ප‍්‍රතිපත්තියක් බව සනාථ වේ. මේ ආකාරයට අපි ඉහත සඳහන් කළ වාක්‍ය මගින් කිතුනු ප‍්‍රතිපත්තීන් අභියෝගයට ලක් වන නිසා ප්‍රොතෙස්තන්ත නිකායිකයින් මෙවැනි පොත් බයිබලයෙන් ඉවත් කර ඇත.

මෙහිදී ඇතැමුන්ට ප‍්‍රශ්ණයක් මතුවිය හැකිය. එනම් ඉහත සඳහන් කළ කිතුනු ප‍්‍රතිපත්ති සියල්ල රෝමානු කතෝලිකයින්ද විශ්වාස කරන විට ඔවුන් මෙසේ කිතුනු ප‍්‍රතිපත්තිවලට පටහැනි වූ වාක්‍ය අන්තර්ගත පොත් බයිබලයෙන් ඉවත් නොකළේ කුමක් නිසාද?

මෙහිදී එක් කරුණක් වටහාගත යුතු වේ. එනම් රෝමානු කතෝලිකයෝ තම ආගම අන්න්‍යයන්ට ප‍්‍රචාරය කිරීමට දැඩි උත්සාහයක් නොදරති. අන්න්‍ය ආගමිකයින් සමග සංවාද වලට ඉදිරිපත් නොවෙති. එමනිසා ඔවුන්ට අන්න්‍ය ආගමිකයින්ගේ ප‍්‍රශ්ණවලට මුහුණ දීමට සිදු නොවේ.

නමුත් ප්‍රොතෙස්තන්ත නිකායිකයින්ගේ තත්වය මීට වඩා වෙනස් වේ. ඔවුන් තම ආගම අන්‍ය ආගමිකයින් හට ප‍්‍රචාරය කිරීමටත් ඔවුන්ව ක‍්‍රිස්තියාණකරණය කිරීමටත් දැඩි උත්සාහයක් දරණ පිරිසක් වෙති. අන්‍ය ආගමිකයින්ගේ ප‍්‍රතිපත්තිවලට චෝදනා එල්ල කරමින් ඔවුන්ව තම ආගමට හරවා ගැනීම සඳහා සැලසුම් සහගතව ක‍්‍රියාත්මක වන්නන් වෙති. එම නිසා මොවුන්ට අන්‍ය ආගමිකයින්ගේ ප‍්‍රශ්ණවලට මුහුණ දීමට සිදුවන අවස්ථාද ඇත. එවැනි අවස්ථාවක ඉහත අප සඳහන් කළ වාක්‍යයක් ඉදිරිපත් කර පිළිතුරු සපයන මෙන් යම් කෙනෙක් ඉල්ලා සිටී විටක ඔවුන්ට එම ප‍්‍රශ්ණයෙන් පැන යා නොහැකි තත්වයක් උදාවනු ඇත. එම නිසා මෙවැනි පොත් බයිබලයෙන් ඉවත් කිරීම හැර ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැති විය.

ප්‍රොතෙස්තන්ත යන නමින් බෙදී වෙන් වී යෑමට පෙර රෝමානු කතෝලිකයින් සමග එක්ව එකම පාර්ශවයක් ලෙස සිටින විට දෙපාර්ශවයම එකතු වී බොහෝ වාක්‍ය හා පොත් ඉවත් කර ඇති නිසාත්, සඟවා ඇති නිසාත් මෙසේ ප්‍රොතෙස්තන්ත නිකායිකයින් ඒවා ඉවත් කරන විට රෝමානු කතෝලිකයින්ට ඒවාට විරුද්ධව නැගී සිටීමට නොහැකි විය. රෝමානු කතෝලිකයින්ද (ප්‍රොතෙස්තන්ත නිකායිකයින් වෙන්වී යෑමට පෙර) බයිබලයෙන් බොහෝ පොත් ඉවත් කර ඇතැයි අප ප‍්‍රකාශ කරන්නේ බයිබලයේම සාක්‍ෂි පදනම් කරගෙන යි.

බයිබලය යනු අනාගත වක්තෘවරු බොහෝ දෙනෙකුගේ පුස්තක වල එකතුවක් බව අපි කලින් ද සඳහන් කළෙමු. බයිබලයේ බොහෝ තැන්වල තවත් අනාගත වක්තෘවරුන්ගේ පොත් ගැන සඳහන් වේ. නමුත් එවැනි පොත් බයිබලය තුල නොමැත. ඒ අනුව පැහැදිලි වන්නේ ඒවා ඉවත් කර ඇති බවයි. උදාහරණයකට පහත සඳහන් බයිබල් වාක්‍ය දෙස අවධානය යොමු කරමු.

”…දේශවල සියලූ රාජ්‍යවලටත් සිදු වූ කාරණා ද යන සියල්ල දිවැසිවර සාමුවෙල්ගේ ද දිවැසිවර නාතාන්ගේ ද දිවැසිවර ගාද්ගේ ද පුරාවෘත්ත ග‍්‍රන්ථවල ලියා තිබේ”

(1 වංශාවලිය 29:30)

මෙම බයිබල් වාක්‍යය පොත් තුනක් ගැන සඳූහන් කරයි. එනම් සාමුවෙල්ගේ පොත, නාතන්ගේ පොත හා ගාද්ගේ පොත යි. මෙම පොත් තුනෙන් සාමුවෙල්ගේ පොත අදටත් බයිබලයේ ඇත. නමුත් අනාගත වක්තෘ නාතන්ගේ පොතත් අනාගත වක්තෘ ගාද්ගේ පොතත් බයිබලයේ නොමැත. මෙම පොත් දෙකට සිදු වූයේ කුමක් ද? මේ දෙක පමණක් නොව තවත් බොහෝ පොත් මේ ආකාරයට බයිබලයෙන් ඉවත් කර ඇත.

“එබැවින් සමිඳුන්ගේ සටන් ග‍්‍රන්ථයෙහි මෙසේ කියා තිබේ……….”

(ගණන් කථාව 21:14)

“…….මෙපවත් යාෂාර්ගේ පොතේ ලියා නැද්ද?….”(යෝෂුවා 10:13)

මෙම වාක්‍යවල සඳහන් වන දෙවියන් වහන්සේගේ සටන් ග‍්‍රන්ථය කෝ? යාෂාර්ගේ පොත කෝ? මේවා සියල්ල වසන් කර ඇත යන්න හැර වෙනත් පිළිතුරක් නොමැත.

“මුල පටන් අන්තිම දක්වා සාලමොන්ගේ අනික් ක‍්‍රියාවල් නාතාන් අනාගතවක්තෘගේ කතන්දර පොතේද ෂිලොනිය අභියාගේ අනාගතවාක්‍යයේද නෙබාත්ගේ පුත‍්‍ර වූ යෙරොබොවම් ගැන දිවස් ඇත්තා වන ඉද්දෝ ලියූ දර්ශනවලද ලියා නැද්ද?”

(2 ලේකම් 9:29)

ඉහත වාක්‍යය ගැන අවධානය යොමුකළේ නම් එහි පොත් කිහිපයක් ගැනම සඳහන් කෙරේ.අනාගතවක්තෘ නාතාන්ගේ පොතට සිදු වූයේ කුමක්ද? අභියාගේ අනාගත වාක්‍ය අද බයිබලයේ නොමැත්තේ මන්ද? ඉද්දෝ ලියූ දර්ශනයට සිදු වූයේ කුමක් ද? මේවා කිතුනු ලොව මධ්‍යස්ථව කල්පනා කළ යුතු ප‍්‍රශ්න වේ. මේ ආකාරයට මුල සිටම දේව පුස්තකයෙන් කරුණු ඉවත් කිරීම මොවුන්ට සාමයන්‍ය දෙයක් වී ඇත යන්න කිසිවෙකුටත් ප‍්‍රතික්ෂේප කළ නොහැකිය. මෙය බයිබලයේ පැරණි ගිවිසුම මුහුණපා ඇති අසරණ තත්වයයි.

මේ ආකාරයටම අලූත් ගිවිසුමද දේව පුස්තකයෙන් කරුණු ඉවත් කිරීම නැමැති රෝගයට ගොදුරු වී ඇති ආකාරය බයිබලයම පදනම් කරගෙන මදක් විමසා බලමු. අලූත් ගිවිසුම යනු යේසුස් වහන්සේට දෙවියන් වහන්සේ විසින් ලබාදෙන ලද පුස්තකය නොවේ; යේසුස් වහන්සේගේ දේශනා අන්තර්ගත පුස්තකය ද නොවේ; යේසුස් වහන්සේ ගැන විවිධ කතුවරුන් විසින් උන් වහන්සේට බොහෝ කලකට පසු ලියන ලද, උන්වහන්සේ ගැන බොරු හා සත්‍ය තොරතුරද අන්තර්ගත ග‍්‍රන්ථ වල එකතුවකි.

එසේ නම් යේසුස් වහන්සේට දෙවියන් වහන්සේ පොතක් ලබාදුන්නේ නැද්ද? ක‍්‍රිස්තියාණි විශ්වාසයට අනුව පාපයේම උපත ලද බොහෝ අනාගත වක්තෘවරුන්ට පවා දෙවියන් වහන්සේ පොත් ලබාදී ඇති විට සියළු දෙනාගේ පාප සඳහා සිය ජීවිතය පූජා කිරීමට පැමිණි ප‍්‍රධානතම අනාගත වක්තෘවරයා වන යේසුස් වහන්සේට දෙවියන් වහන්සේ පොතක් ලබා නොදුන්නේ ද?

යේසුස් වහන්සේ ද පොතක් දේශනා කළ බව අලූත් ගිවිසුමේ බොහෝ තැන්වල සඳහන් වේ.

ඉන්පසු ඔහු(යේසුස් වහන්සේ) සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරමින්ද ජනයාට වැලඳී තිබුණු සියලූ ආකාර රෝග සහ ආබාධ සුව කරමින්ද මුළු ගලීලිය පුරාම ගියේය.”(මතෙව් 4:23)

“…යේසුස් ගලීලයට ගොස් දෙවිගේ ශුභාරංචිය දේශනා කරමින්..”(මාක් 1:14)

“……ශුභාරංවිය කෙරෙහි ඇදහිල්ල ඇතිව සිටින්න.”(මාක් 1:15)

මෙසේ මතෙව් හා මාක් යේසුස් වහන්සේ රාජ්‍යයේ ශුභාරංවිය දේශනා කළ බව සඳහන් කරති. මාක් එය දෙවියන් වහන්සේගේ ශුභාරංවිය බව පවසයි. දෙවියන් වහන්සේ විසින් ලබාදෙන ලද, යේසුස් වහන්සේ ජනයින්ට දේශනා කළ මෙම රාජ්‍යයේ ශුභාරංවිය නම් පොතට සිදු වූයේ කුමක් ද?

වෙනත් අයගේ පොත් ආගමේ නාමයෙන් ආරක්‍ෂා කරන කිතුනුවන්, යේසුස් වහන්සේට අවුරුදු දහස් ගනනකට පෙර ජීවත් වූ අනාගත වක්තෘවරුන්ගේ පොත් පවා පැරණි ගිවිසුම නමින් ආරක්‍ෂා කරන කිතුනුවන්, යේසුස් වහන්සේගේ පොත නැති කර ගත්තේ කෙසේ ද? මෙම ප‍්‍රශ්නයට දිය හැකි එකම පිළිතුර නම් යේසුස් වහන්සේට කිසිඳු සම්බන්ධතාවයක් නොමැති අලූත් ප‍්‍රතිපත්තියක පාවුල් විසින්  ඇති කරගෙන, එය යේසුස් වහන්සේගේ නාමයෙන් ජනතාව අතරට ගෙනයන විට එයට පටහැනි වූ යේසුස් වහන්සේගේ සත්‍ය දේශනය වන දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ශභාරංචිය නැමැති පොත වසන් කර ඇති බවයි.

මෙතෙක් රෝමානු කතෝලික බයිබලය ගැනත්, ප්‍රොතෙස්තන්ත නිකායිකයින් ඒ ගැන සැක පහළ කළ ආකාරයත් බයිබලය ඉතිහාසය පුරාවටම විවිධ අවස්ථාවලදී විකෘති කිරීම් වලට ලක් වූ ආකාරයත් විමසා බැලූවෙමු. රෝමානු කතෝලිකයින්ගේ බයිබලය ප‍්‍රතක්ෂේප කළ ප්‍රොතෙස්තන්ත නිකායිකයින් ද බයිබල් අනුවාදයක් ඉදිරිපත් කළහ. දැන් එම අනුවාදය ගැන මදක් විමසා බලමු.

 

  • ප්‍රොතෙස්තන්ත බයිබලය (Authorised Version)

ප්‍රොතෙස්තන්ත බයිබල් පරිවර්ථනය AV(Authorised Version) අනුමත සංස්කරණය යැයි හඳුන්වනු ලැබේ. KJV (King James Version)පළමු ජේම්ස් රජුගේ අනුවාදය යන නමින් ද මෙය හඳුන්යනු ලැබේ. එංගලන්තයේ පළමු ජේම්ස් රජුගේ උපදෙස් මත මෙම අනුවාදය ප‍්‍රකාශයට පත් කරනු ලැබීය. අදටත් එය ඔහුගේ නමින්ම හඳුන්වනු ලැබේ.

මෙම අනුවාදය ලෝකයේ බොහෝ රටවල්වල භාෂා 1500කට ආසන්න ප‍්‍රමාණයකින් ලබාගත හැකි ය. එම නිසා කතෝලිකයින් පවා (කතෝලික පරිවර්ථනය නොලැබෙන ස්ථානවල) මෙම පරිවර්ථනයම භාවිතා කරති.

මෙම අනුවාදය 1611දී ප‍්‍රකාශයට පත්කරනු ලැබීය. නැවතත් 1881දී සංශෝධනය කිරීමෙන් පසු RV (Revised Version)  සංශෝධිත සංස්කරණය යැයි හඳුන්වනු ලැබීය. 1952 දී යළිත් සංශෝධනය කරනු ලැබ, ” RSV (Revised Standard Version) සංශෝධිත උසස් තත්වයේ සංස්කරණය යැයි හඳුන්වනු ලැබීය. 1971 දී නැවතත් සංශෝධනය කරනු ලැබූ නමුත් නමෙහි වෙනසක් නොකර RSV ලෙසම හඳුන්වනු ලැබීය.

මෙහිදී කිතුනු ලොව මධ්‍යස්ථව සිය අවධානය යොමු කළ යුතු වන්නේ ශුද්ධ(?) දේව වාක්‍ය නැවත නැවතත් මිනිසුන් අතින් සංශෝධනයට ලක් වීමේ හාස්‍යජනක කරුණටයි. 1971 දී ප‍්‍රකාශයට පත්කරණු ලැබූ RSV අනුවාදයේ පෙරවදන කියවා බැලූවහොත් මෙම දේව හෙලිදරව්ව(?) මුහුණ දී ඇති අන්ත අසරණ තත්වය මොනවටම පැහැදිලි වේ. එහි සබැඳුම  පහත දැක්වේ.

http://www.bible-researcher.com/rsvpreface.html

මෙහිදී අප අවධානය කළ යුතු වැදගත් කරුණක් නම් අනුවාදය නිකුත් වීමෙන් පසු මුල් අත්පිටපත් සොයාගනු ලැබීමේ සිද්ධියටයි. මින් පසුත් සංශෝධන, ප‍්‍රති සංශෝධන කියා සංශෝධනවලද අවසානයක් නොමැත. අඩුපාඩු සහිත අනුවාදය පිළිපදිමින් ජීවත් වූ ජනයාගේ ඉරණම කුමක් ද? ඔවුන්ට ස්වර්ග රාජයේ ශුභාරංවිය හිමි වේ ද? නැතහොත් ඔවුන්ගේ ජීවිතයේ අවසානය විනාශය ද? මේවාට කිතුනු ලොව පිළිතුරු සැපයිය යුතුයි.

 

  • වොච්ටවර් බයිබලය (WATCHTOWER BIBLE)

වොච්ටවර් බයිබලය ගැන ද වචනයක් ඉදිරිපත් කිරීම කාලෝචිත යැයි සිතමු. මෙම බයිබලය යෙහෝවාගේ සාක්‍ෂිකරුවෝ(Jehovah’sWitnesses) නැමැති ක‍්‍රිස්ත‍්‍රියාණියින්ගේ බයිබලය යි. ඇමරිකාවේ නිව්යෝක් නගරයේ WATCHTOWER BIBLE AND TRACT SCOCIETY නැමැති ආයතය විසින් ප‍්‍රකාශිත මෙම බයිබලය සිංහල ඇතුළු භාෂා කිහිපයකින්ම ලබාගත හැකිය. මෙම බයිබලයේ අලූත් ගිවිසුම නව ලොව පරිවර්ථනය යන නමින් හඳුන්වනු ලැබේ. මෙම නව ලොව පරිවර්ථනය පළමු වරට ප‍්‍රකාශ කරන ලද්දේ 1950දී  ඉංග‍්‍රීසි බසින් බව මොවුන්ගේ සිංහල පරිවර්ථනයේ සඳහන් වේ.

මෙම යෙහෝවාගේ සාක්‍ෂිකරුවෝ නැමැති සංවිධානය දෙවියන් වහන්සේට අද්විතීය නමක් ඇති බවත් එය යෙහෝවා බවත් ප‍්‍රකාශ කරති. ත‍්‍රිත්වය තදින්ම ප‍්‍රතික්‍ෂේප කරති. එසේම කුරුසයද නො අදහති. ඔවුන් කියන්නේ යේසුස් ව කුර්සයක නොව කනුවක තියා ඇණ ගැසූ බවයි. එම කනුව වධකනුව යැයි මොවුන් හඳුන්වති. යේසුස්ගේ උපන් දිනය දැනගැනීමට තරම් තොරතුරු බයිබලයෙන් සපයා නොමැති බව පවසන මොවුන් යේසුස්ගේ උපත දෙසැම්බර් මාසයේ සිදු නොවූ බව තහවුරු කිරීමට සාක්‍ෂි බයිබලයේ ඇතැයි පවසමින් නත්තල් සැමරීම ප‍්‍රතික්‍ෂේප කරති. මේ ආකාරයට තවත් ප‍්‍රතිපත්ති කිහිපයකින් ද මොවුන් අනිකුත් කිතුනු නිකායන්ගෙන් වෙන් වෙති.

ඉහත සඳහන් කළ ප්‍රොතෙස්තන්ත බයිබලයම මොවුන්ද පිළිගන්නා නමුත් මොවුන්ගේ ප‍්‍රතිපත්තිවලට සමගාමීව එහි යම් යම් වෙනස්කම් මෙම බයිබලයේ සිදුකර ඇත. ශ‍්‍රී ලංකා බයිබල් සමාගම විසින් නිකුත් කරන ලද බයිබලයේ ”සමිඳානන්” යැයි සඳහන් වන තැන්වල මෙම බයිබලයේ යෙහෝවා යැයි සඳහන් වේ. එසේම එම බයිබලයේ ”කුරුසිය” යැයි සඳහන් වන තැන්වල මෙම බයිබලයේ වධකනුව යනුවෙන් සඳහන් වේ. මේ ආකාරයට මොවුන්ගේ බයිබලය හා අනිකුත් බයිබල් අතර සුළු වෙනස්කම් කිහිපයක් පවතී. අපි මෙම ලිපියේ දී භාෂාවේ ලිහිල්භාවය සැලකිල්ලට ගෙන බොහෝ අවස්ථාවල මොවුන්ගේ බයිබලයෙන් කරුණු උපටා ගෙන ඇති අතර, මෙම බයිබලය ශ‍්‍රී ලංකා බයිබල් සමාගම විසින් නිකුත් කරන ලද බයිබලයෙන් වෙනස් වන ස්ථාන වලදී අදාල වචනය වරහන් තුල සඳහන් කර ඇත්තෙමු. උදාහරණයකට මොවුන්ගේ බයිබලයේ යෙහෝවා යැයි සඳහන් වන ස්ථාන උපුටා දක්වන විට අපි වරහන් තුළ සමිඳානන් යැයි සඳහන් කරමු. එසේ වධකනුව යැයි සඳහන් ස්ථානයක් උපුටා දක්වන විට වරහන් තුල කුරුසය යැයි සඳහන් කරමු.

මේ දැක්වෙන්නේ හිබ්බෲ භාෂාවෙන් එම වදනයි

මෙම යෙහෝවාගේ සාක්‍ෂි කරුවෝ නැමැති ක‍්‍රිස්තායාණියින්ගේ වැදගත් තර්තයක් ගැන සලකා බලමු. මොවුන් පවසන්නේ දෙවියන් වහන්සේට අද්විතීය නාමයක් ඇති බවත්, එම දිව්‍ය නාමය යෙහෝවා (නොහොත් ජෙහෝවා) බවත් ය. මුල් ග‍්‍රීක කෘතියෙහි දැනට තිබෙන අත්පිටපත්වල පමණක් නොව, පැරණි හා නූතන සංස්කරණ බොහෝමයකින් දිව්‍ය නාමය දක්නට නොතිබීම පුදුමයට කරණක් බව මොවුන් පවසති.මොවුන්ගේ මෙම තර්කය නිවැරදි නම් බයිබලය අනාවරණය කළ දෙවියන් වහන්සේගේ දිව්‍ය නාමය පවා නොදන්නා තරමට කිතුනු ලොව අසරණ වී ඇත. මෙම දිව්‍ය නාමයේ නිවැරදි උච්චාරණය අද හරියටම නොදන්නා බව මොවුන්ගේම බයිබලයේ උපග‍්‍රන්ථ 1 හි සඳහන් වන අතර හෙබ්‍රෙව් වලින් (ය්හ්ව්හ්) යන අකුරු හතරෙන් නියෝජනය කරනු ලැබූ ඒ නාමය හෙබ්‍රෙව් ශද්ධ ලියවිල්ලේ 7000 වතාවක් පමණ දක්නට ලැබූ බවත් සාමාන්‍යයෙන් මෙය ටෙට‍්‍රග‍්‍රැමටනය යනුවෙන් හඳින්වන බවත්, ඉංග‍්‍රීසීයෙන් එය YHWH (නැත්නම් JHVH) යන අකුරු වලින් දැක්වෙන බවත් සඳහන් වේ. මොවුන්ගේ මෙම ප‍්‍රකාශයෙන් පැහැදිලිවන්නේ සර්වබලධාරී දෙවියන් වහන්සේගේ නාමය නිවැරදිව උච්චාරණය කිරීමට කිසිවෙක් නොදන්නා තරමටම කිතුනු ලොව අන්ත අසරණ වී ඇති බවයි.

 

බයිබලය දේව භාෂිතයක් ද?

යම් ග‍්‍රන්ථයක් දේව භාෂිතයක් ලෙස, එනම් දෙවියන් වහන්සේ විසින් අනාවරණය කරනු ලැබූ, උන්වහන්සේගේ අදහස් පමණක් අන්තර් ගත ග‍්‍රන්ථයක් ලෙස පිළිගැනීමට නම් එය විශේෂිත ගුණාංග කිහිපයකින් සමන්විත විය යුතු වේ. ඒවා නම්

  • එම ග‍්‍රන්ථයේ අදහස් මුල සිට අග දක්වාම එකිනෙක සම්බන්ධ විය යුතු යි. එහි පරස්පර විරෝධී අදහස් එකක්වත් තිබිය නොහැක
  • එම ග‍්‍රන්ථය මගින් කෙරෙන අනාවැකි සත්‍ය විය යුතුයි. එක අනාවැකියක් හෝ අසත්‍ය වූ විට දේව භාෂිතයක් නොවේ.
  • ඓතිහාසික තොරතුරු අතින් ද එම ග‍්‍රන්ථය නිවැරදි විය යුතු යි.
  • එම ග‍්‍රන්ථය මගින් අණ කරන නීතිරීති ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කළ හැකි ඒවා විය යුතු යි.
  • දේව පුස්තකයක් යැයි ඔප්පු කිරීම සඳහා වූ සාධකයන් හා ප‍්‍රාතිහාරයන් එහි අන්තර්ගත විය යුතුයි.
  • එම පුස්තකයේ සඳහන් කරුණු ඔප්පු කරන ලද විද්‍යාත්මක න්‍යායන්ට පටහැනි නො විය යුතුයි.
  • අසභ්‍ය කරුණු එහි අන්තර්ගත නොවිය යුතුයි.

ඉහත සඳහන් කළ කරුණුවලින් එකක් හෝ යම් ග‍්‍රන්ථයක අන්තර් ගත වේ නම්

එය දේව භාෂිතයක් හැටියට පිළිගත නොහැකිය. මෙම කරුණු පදනම් කරගෙන බයිබලය මදක් විමසා බැලූවහොත් එය දේව භාෂිතයක් නොවේ යන්න පහසුවෙන්ම වටහාගත හැකිය.

අබූ අර්ෂද්

 

Related Post