New Muslims APP

ඉස්ලාමීය නීතිය ෂරිආ යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? (2)

කැපවීම තුලින් ස්වර්ගය

ස්වර්ගය හා නිරය

ස්තූතියි යහමග වෙබි අඩවියට ඒයින් උපුටා ගැනීමකි.

කතෘ  -ඉබ්නු මන්සූර්

කාමයෙහි වරදවා හැසිරීම ඔප්පු කිරීම පිණිස පහත සඳහන් නිර්ණායකයන් ඉස්ලාමීය නීතිය ඉදිරිපත් කරයි.

  1. නීත්‍යානුකුල ලෙස විවාහ නොවූ ස්ත්‍රියක් හා පුරුෂයෙක් අතර සිදුවන ලිංගික ක්‍රියාව සෘජුව දුටු හතර දෙනෙකුගේ සාක්ෂි. මෙම හතරදෙනාම පුරුෂයාගේ ශිෂ්ණය ස්ත්‍රියගේ යෝනියට ඇතුලත් කිරීම පැහැදිළි ව හා සෘජුව දැක තිබිය යුතුය.
  2. මෙම සාක්ෂිකරුවන් හතරදෙනාම කිසිදු චෝදනාවකට ලක් නොවූ සැදැහැවත් ඉස්ලාමිකයින් විය යුතුය.
  3. යම් හෙයකින් එක සාක්ෂිකරුවෙකු තම සාක්ෂිය ඉල්ලා අස්කරගතහොත් දඬුවම් දිය නොහැක.
  4. හතරදෙනෙකුගේ සෘජු සාක්ෂි නොමැතිව ස්ත්‍රියකගේ චරිතයට නින්දාවක් ඇතිවන අයුරින් අපවාද නගන්නන් සඳහා කසපහර 80ක් දීමට නියම කරනු ලැබේ.
  5. මෙම අධිකරණමය කටයුත්ත සිදුකළ හැක්කේ ඉස්ලාමීය රාජ්‍යයක් තුළ ස්ථාපිත කොට ඇති ඉස්ලාමිය නීතිය ක්‍රියාත්මක අධිකරණයක් මගින් පමණි.
  6. තමන් විසින් අධිකරණය ඉදිරියේ කිසිදු බලපෑමකින් තොරව වරද පිළිගත් අවස්ථාවන් හි අධිකරණයට දඬුවම් දීමේ හැකියාව ඇත. වරද පිළිගැනීමෙන් පසුව අධිකරණය ඉදිරියේ තම දෝෂෝච්චාරණය ඉල්ලා අස්කර ගතහොත් එවන් තත්ත්වයකදී ද දඬුවම් ලබාදිය නොහැක.
  7. විවාහකයෙකු වූ මායිස් ඉබ්නු මාලික් නැමැත්තා කාමයේ වරදවා හැසිරීමේ දෝෂෝච්චාරණය මුහම්මද් තුමාණන් ඉදිරියේ කළවිට ඔහුව තුන් වාරයක් ආපසු හරවා එවූ අතර හතරවන වාරයේදීත් එම ප්‍රකාශනයම කොට දඬුවම් ඉල්ලා සිටි විට ඔහුට දඬුවම් දෙන ලදී. ඉහත තුන් වාරයේදීම විවිධ හේතු සඳහන් කරමින් තමන් කළ වරද පිළිබඳ පශ්චාත්තාප වී දෙවිඳුන්ගෙන් සමාව ඇයද මෙවන් ක්‍රියාවන්ගෙන් වැළකී ජීවත්වීමට ඉල්ලා සිටිය ද ඔහු විසින් හතරවන වතාවටත් පැමිණ දඬුවම් ඉල්ලා සිටින ලදී.
  8. තවත් එක් විවාහක කාන්තාවක් කාමයේ වරදවා හැසිර මුහම්මද් තුමාණන් වෙත පැමිණ දෝෂෝච්චාරණය කොට දඬුවම් ඉල්ලා සිටි විට ඇයට ද තමන් කළ වරද පිළිබඳ පශ්චාත්තාප වී දෙවිඳුන්ගෙන් සමාව ඇයද මෙවන් ක්‍රියාවන්ගෙන් වැළකී ජීවත්වීමට ඉල්ලා සිටිය ද ඇය විසින් දඬුවම් ඉල්ලා සිටින ලදී.
  9. ඉහත සඳහන් ආකාරයේ සාක්ෂි හතරක අවශ්‍යතාව මත ඉස්ලාමීය ඉතිහාසයේ මෙතෙක් සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් වරද ඔප්පු කොට දඬුවම් දීමේ සිද්ධියක් වාර්තා වී නොමැත. සදාචාර පිරිහීම සිදුවන වේගය දෙස අවධානය යොමු කරන විට ඇතැම් විට මෙවන් සාක්ෂි ඉදිරිපත් කොට වරද ඔප්පු කිරීමේ කාලයක් අනාගතයේ දී ඇතිවිය හැක.
  10. තමන් කළ වරද පිළිබඳ දෝෂෝච්චාරණය දඬුවමේ අති භයානකකම පවා නොතකා දඬුවම් ඉල්ලා සිටීමේ තත්ත්වයක් එම සමාජයන් තුළ පැවතියේ ඔවුන් නිවැරදි අයුරින් ඉස්ලාමීය පිළිවෙත් අනුගමනය කරන්නන් ලෙස සිටි හෙයින් බව ඕනෑම අයෙකුට අවබෝධ වන කරුණකි. ලොව අන් කිසිදු සමාජයක මෙවැන්නක් සිදුවිය හැකි තත්ත්වයක් නොමැත. මෙයින් හෙළිදරවු වන්නේ ඉස්ලාමය විසින් ඔවුන්හට ලබා දී තිබු උත්තරීතර ශික්ෂණයයි. මිනිසා කෙතරම් යහපත් කෙනෙක් වූවත් ඔහුගේ චෛතසිකයේ දුර්වලතාවන් ඇතිවන අවස්ථා ඇත. එම දුර්වලතා ජයගැනීම අපේක්ෂිතයි. නමුත් ඇතැම් අවස්ථාවන් හි එම දුර්වලතාවේ වහල් භාවයට පත්වන අවස්ථා ඇත.

දඬුවම දැඩි කොට තිබීම හේතුවෙන් වරදට පෙළඹීමේ හැකියාව දුර්වල කොට සාරධර්ම සපිරි සමාජයක් ගොඩ නැගීම මෙහි මුලික අරමුණ බව පැහැදිලිව පෙනෙන්නට ඇත. මෙම චෝදනාව ඔප්පුකිරීමේ දී සඳහන් කොට ඇති ඉතා අසීරු ක්‍රමවේදයෙන් ද අදහස් වන්නේ දඬුවම් දීම කෙරෙහි අවධානය යොමු කරනවාට වඩා ජනයා එවන් දුශ්ශීල ක්‍රියාවන්ගෙන් වළකාලීම බව පැහැදිලිය. මෙම සාධකය සනාථ කරන මුහම්මද් තුමාණන්ගේ කාලයේ සිදුවීමක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

“එක් පුද්ගකයෙක් පැමිණ මුහම්මද් තුමාණන් ව හමුවී ‘අහෝ නබිතුමණි, දඬුවම් ලැබිය යුතු වරදක් මා විසින් සිදු කොට ඇත. එහෙයින් දඬුවම් දීමේ ක්‍රියාවලිය ඉටු කරන්න’ යැයි පැවසු අවස්ථාවේ මා ඒ අසල සිටියෙමි. සලාතය ඉටු කරන වෙලාව තෙම මුහම්මද් තුමාණන් එම පුද්ගලයාගෙන් කිසිවක් විමසා සිටියේ නැත. ඔහු මුහම්මද් තුමාණන් සමග සලාතය ඉටු කිරීමෙන් පසු නැවත ‘අල්ලාහ්ගේ ධර්ම දුතයාණෙනි, දඬුවම් ලැබිය යුතු වරදක් මා විසින් සිදු කොට ඇත. එහෙයින් අල්ලාහ්ගේ ග්‍රන්ථය (අල් කුර්ආනය) අනුව මාව විනිශ්චය කරන්න යැ’යි ඉල්ලා සිටියේය. එවිට මුහම්මද් තුමාණන් ‘ඔබ මාත් සමග ඉටු නොකළේ දැ’යි? විමසා සිටියේය. එයට ඔහු සලාතය ඉටු කළ බව පවසා සිටියේය. මුහම්මද් තුමාණන් ඔහු අමතමින් ‘අල්ලාහ් විසින් ඔබගේ වරදට හා දඬුවමට සමාව ලබා දී ඇතැ’යි පවසා සිටියේය”.

(මුලාශ්‍රය: බුහාරි ග්‍රන්ථය)

නත්තෙල් අැත්ත

සත්‍ය හා අසත්‍ය

මුහම්මද් තුමාණන් ඉහත පුද්ගලයාගෙන් ඔහු විසින් කරන ලද්දේ කුමන වරදක්දැයි පවා විමසා සිටියේ නැත. තමන් කළ වරද පිළිගෙන ඒ පිළිබඳ අවංක ලෙසම පසුතැවිලි වී නිවැරදි මගට අවතීර්ණ වන්නන් සඳහා මෙම දඬුවම් පිළිවෙත සෑම විටකම බලාත්මක නොවන බව මෙමගින් පැහැදිලි ලෙසම දකින්නට ඇත. නිවැරදි මගට ඒමට කිසිසේත්ම සුදානම් නැති සමාජ පිළිලයක් ලෙස කටයුතු කරන්නන් සඳහා මෙම දරුණු දඬුවම් ක්‍රියාත්මක කිරීමෙන් මුළුමහත් සමාජයටම සාරධර්ම පිළිබඳ පණිවිඩයක් දීම මෙම පිළිවෙතේ මූලික අරමුණයි.

ඉහත සඳහන් නබිවදන පිළිබඳ විග්‍රහයක යෙදෙන අල් හාෆිස් ඉබ්නු හජර් තුමා පවසන අන්දමට

“කාමයේ වරදවා හැසිරීම පිළිබඳ දෝෂෝච්චාරණය කොට ඒ පිළිබඳ පසුතැවිලි වන්නෙකුට අල්ලාහ් වෙතින් තමන්ගේ වරද පිළිබඳ සමාව ඇයද සිට ඒ ගැන අන් කිසිවෙකුට පවසා නොසිටීම අනුමත ක්‍රියාවක් බවයි. අබුබකර් හා උමර් තුමාණන් විසින් ද මෙලෙස දෝෂෝච්චාරණය කළවුනට උපදෙස් දී ඇත. ශ්‍රේෂ්ඨ ඉමාම් වරයෙකු වූ ෂාෆි තුමාණන් පවසා සිටියේ ‘යමෙකු වරදක් සිදු කළ විට අල්ලාහ් විසින් එම වරද වසං කළේ නම්, මා කැමති වන්නේ එම වරද තැනැත්තා ද එම වරද හෙළිදරවු නොකොට තමන්ගේ වරද පිළිබඳ අල්ලාහ් වෙත පශ්චාත්තාප වී සමාව ඇයද සිටීමයි”

(මුලාශ්‍රය: ෆත්හ් අල් බාරි 12/1124, 125)

ශ්‍රී ලාංකේය ගෘහ සේවිකාවක් මෙවන් චෝදනා ලබා මරණ දඬුවමට ලක් කොට තිබීම හේතුවෙන් විවිධ ආකාරයේ මතවාදයන් ගොඩනැගෙමින් පවතී.

මෙම දඬුවම ලබා දීමට පදනම් වී ඇත්තේ විවාහක කාන්තාවක් වූ ඇය කාමයේ වරදවා හැසිරුණු බවට අධිකරණය ඉදිරියේ පිළිගැනීම බව දැනගන්නට ඇත. මෙහිදී අප විසින් පැහැදිලි කරගත යුතු කරුණු කිහිපයක් ඇත.

  1. බොහෝවිට අරාබි භාෂාව හා ඉස්ලාමීය නීතිය පිළිබඳ නිවැරදි දැනුමක් නොමැති මෙම කාන්තාව තමන් විසින් පිළිගනු ලැබුවේ කුමන වරදක් ද යන්න ගැන ඇයට අවබෝධයක් තිබේ ද?
  2. භාෂා පරිවර්තකයින් විසින් ඇයට චෝදනා ව පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා දී තිබේ ද?
  3. අපගේ තානාපති කාර්යාලය මගින් මෙම කාන්තාව සඳහා නීතිඥ සහාය ලබා දීමට කටයතු කොට තිබේ ද?
  4. විදේශ රැකියා කාර්යාංශය මගින් විදේශ රැකියාව සඳහා යන ස්ත්‍රී පුරුෂ සියලු දෙනා වෙත තමන් යන රටේ නීතිරීති පිළිබඳ දැනුවත් කිරීමක් සිදුකොට තිබේ ද?
  5. සවුදි අරාබියේ ක්‍රියාත්මක වන්නේ සහමුලින්ම ඉස්ලාමීය නීතිය බව කිව නොහැක. ඉස්ලාමීය නීතිය අනුව ස්ත්‍රියකට දුරබැහැර ගමනක් යාමේදී තම පුරුෂයා හෝ තමන්ට විවාහ වීමට අනුමත නැති පියා, සහෝදරයා, පුත්‍රයා වැනි ආරක්ෂකයෙකු අනිවාර්යයෙන්ම ඇය සමග සිටිය යුතුය . මෙය ඉස්ලාමීය පිළිවෙතේ ‘මහ්රම්’ යනුවෙන් හැඳින්වේ. විදේශ රැකියා සඳහා යන කාන්තාවන් සඳහා මෙම නීතිය ක්‍රියාත්මක කිරීම සවුදි අරාබිය විසින් නොසලකා හැර ඇත. තවද විවාහක අඹුසැමියන් ව දීර්ඝ කාලයකට ඈත්කොට තැබීම ද ඉස්ලාමය අනුමත නොකරයි. මෙම වැදගත් සාධකය ද මෙහිදී නොසලකා හැර ඇත.
  6. විදේශ රැකියා සඳහා කාන්තාවන් යැවීමේ දී ඉහත සඳහන් ‘මහ්රම්’ සංකල්පය ආරක්ෂා වන පරිදි එනම් තම ස්වාමි පුරුෂයා හෝ අන් අනුමත ආරක්ෂකයෙකු සමග යැවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කළ යුතුව ඇත. සේවාදායක රටෙන් ද මෙම කොන්දේසිය අනුව කටයුතු කිරීමට වගබලා ගත යුතුව ඇත.

එහෙයින් ඉස්ලාමීය නීතිය දෝෂදර්ශනයට ලක් කිරීමට වඩා එහි හරය හා අරමුණු අවබෝධ කරගත් විට එම නීතියේ ඇති මානුෂීය හා සදාචාර සම්පන්නත්වය තේරුම් ගැනීමට හැකිවේ යැයි විශ්වාස කරන්නෙමු. මිනිස් සමාජය හා තිරිසන් ලෝකයේ ක්‍රියාකාරකම් අතර වැඩි වෙනසක් දැකිය නොහැකි ආකාරයෙන් සිදුවෙමින් පවතින භයානක සදාචාර පිරිහීම වලක්වාලීමට කටයුතු කිරීම අප සැමගේ වගකීමක් බව දකින්නෙමු. මෙම කාන්තාවගේ අධිකරණ ක්‍රියාවලිය විධිමත් අයුරින් සිදු කිරීම සඳහා වගකිවයුත්තන් ඉදිරිපත් වී කටයතු කරයි කියා අපේක්ෂා කරන්නෙමු. ඉදිරියේ දී මෙවන් සිදුවීම් වලක්වාලීම සඳහා ගතයුතු ක්‍රියා මාර්ග ගැන විදේශ රැකියා කාර්යංශය සුදුසු පියවරයන් ගනියි කියා ද බලාපොරොත්තු වන්නෙමු.

අළුත්ම ආරංචිය අනුව මෙම සහෝදරියට නියම කොට තිබූ මරණ දඬුවම අත්හිටුවා ඇයට සිර දඬුවම් නියම කොට ඇති බව දැනගන්නට ඇත.

 

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Leave a Reply


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.