වත්මන් බයිබලය දේව හෙලිදරව්වක් ද?

වත්මන් බයිබලය දේව හෙලිදරව්වක් ද?

යේසුස්(ඊසා අලෛ) වහන්සේ තුමාණන්ට ඉන්ජීල් (ස්වර්ග රාජ්‍යයේ ශුභාරංචිය) නැමැති පුස්තකය ලබාදුන් බවත් එය අල්කුර්ආනයද සත්‍ය කරන බවත් සර්වබලධාරී අල්ලාහ් අල්කුර්ආනයේ බොහෝ තැන්වල සඳහන් කර ඇති අතර එය විශ්වාස කරන මෙන් අණ කර ඇත. මෙම ඉන්ජීල් නම් දේව පුස්තකය බයිබලය බව කිතුනුවෝ පවසති. ලෝක ජනගහනයෙන් බහුතරයක්ම බයිබලය දේව පුස්තකය ලෙස පිළිගන්නා කිතුනුවෝ වෙති. මෙම බයිබලය දේව පුස්තකය බවට ප‍්‍රචාරය කරන සංවිධාන ගනනය කළ නොහැකි තරම් විශාල සංඛ්‍යාවක් ලොව පුරා ක‍්‍රියාත්මක වේ. මෙම ලිපියේ අරමුණද බයිබලයේ දිව්‍යම භාවය ගැනත් කිතුනු ප‍්‍රතිපත්තීන් හා යේසුස් වහන්සේ අතර ඇති සම්බන්ධතාවයන් ගැනත් ගවේෂණයක් කිරීම යි.

වත්මන් බයිබලය

මොවුන්ට සත්‍ය වටහා දීමේ යුතුකමක් අප සතුව ඇති බැවින් මේ විෂය යටතේ ලිපි මාලාවක්  සම්පාදනය කිරීමට අදහස් කළෙමු. එම උත්සාහයේ පරමාර්ථය කිතුනුවන්ගේ සිත රිදවීම නොව ඔවුන්ට යථාර්තය වටහා දීම වේ. ඒ අනුව පහත මාතෘකාවන් ඔස්සේ කරනු ලැබේ.

බයිබලය ගැන හැඳින්වීමක්

බයිබලය නැමැති ග්‍රන්ථය කොටස් දෙකකින් සමන්විත වේ. එයින් පළමු කොටස පැරණි ගිවිසුම(පැරණි තෙස්තමේන්තුව) ලෙසද දෙවන කොටස අලූත් ගිවිසුම(අලූත් තෙස්තමේන්තුව) ලෙසද හඳුන්වනු ලැබේ. පැරණි ගිවිසුමට පොත් 39ක් (රෝමානු කතෝලික විශ්වාසයට අනුව පොත් 46ක්) අන්තර්ගත වන අතර අලූත් ගිවිසුමට පොත් 27ක් අන්තර්ගත වේ.

ක‍්‍රිස්තියාණි විශ්වාසයට අනුව පැරණි ගිවිසුම යනු යේසුස් වහන්සේට පෙර ජීවත් වූ අනාගත වක්තෘවරුන්ගේ පුස්තකයන් වේ. එනම් පැරණි ගිවිසුම යනු පුස්තක ගනනාවක එකතුවකි. උදාහරණයක් ලෙස පැරණි ගිවිසුමේ පොත් 39න් පළමු පොත් පහ වන උප්පත්තිය,නික්මයාම,ලෙවී කතාව,ගණන් කතාව,ද්විතීය කතාව යන පොත් මෝසෙස් නම් අනාගත වක්තෘවරයාගේ පොත් ලෙස කිතුනුවෝ විශ්වාස කරති. හය වන පොත වූ යෝෂුවා යෝෂුවා නැමැති අනාගත වක්තෘවරයාගේ පොත වන බවයි කිතුනුවන් ප‍්‍රකාශ කරන්නේ. මේ ආකාරයට සාමුවෙල් 1 හා 2 යනුවෙන් ඇති පොත් දෙක සාමුවෙල් නම් අනාගත වක්තෘවරයාගේ පොත වේ. කිතුනු විශ්වාසයට අනුව මෙසේ අනාගත වක්තෘවරන් ගනනාවක් හටම දෙවි විසින් ලබාදෙන ලද පොත්වල එකතුවකි පැරණි ගිවිසුම.

අලූත් ගිවිසුම යනු යේසුස් වහන්සේට පසු ජීවත් වූ අය ශුද්ධාත්මයේ ආනුභාවයෙන් ලියන ලද පොත් බවට කිතුනුවෝ විශ්වාස කරති. මේ ආකාරයට විවිධ කතුවරුන් විසින් ලියල ලද පොත් 27ක එකතුවකි අලූත් ගිවිසුම. උදාහරණයක් ලෙස අලූත් ගිවිසුමේ එක් පොතකි මතෙව්. මෙය මතෙව් නැමැති කතුවරයා විසින් ලියන ලද ශුභාරංචිය යි. එසේම මාක් නැමැති ශුභාරංචි පොත මාක් නැමැති කතුවරයා විසින් ලියන ලදී.

බයිබලයේ මුල් බස කුමක්ද?

යම් ග‍්‍රන්ථයක් එය දෙවි විසින් අනාවරණය කරනු ලැබූ දේව හෙලිදරව්වක් යැයි පවසනවා නම් අනිවාර්යෙන්ම එය දෙවි විසින් අනාවරණය කරනු ලැබූ මුල් බසින්ම ආරක්‍ෂා විය යුතු යි. දේව හෙලිදරව්වට වෙනත් භාෂාවලින් පරිවර්ථනයන් ලබා දිය යුතු නොවේ යන්න මෙහි අර්ථය නොවේ. අනිවාර්යෙන්ම ලොව සිටින සියළු දෙනාගේ ප‍්‍රයෝජනය තකා සියළු භාෂාවලට පර්වර්ථනය කළ යුතුය. නමුත් දෙවි විසින් අනාවරණය කරන ලද මුල් බසින් ද එය පැවතිය යුතු අතර එය වෙනත් භාෂාවකට පරිවර්ථනය කරන්නා එම මුල් බස සහ එය පරිවර්ථනය කරනු ලබන බස හොදින්ම දන්නා පුද්ගලයෙක් විය යුතුයි.

සිංහල දෙමළ ඉංග‍්‍රීසි ආදී සියළු බයිබල් පරිවර්ථනවල පැරණි ගිවිසුමේ සඳහන් කර ඇත්තේ හෙබ්‍රෙව් සහ අරාමීය භාෂා මුල් පිටපතින් පරිවර්ථනය කර ඇති බවයි. මෙම හෙබ්‍රෙව් හා අරාමීය මුල් පිටපත් ඇත්තේ කොහිද? මෙය කිතුනුවන් කල්පනා කළ යුතු ප‍්‍රශ්නයකි. උදාහරණයක් ලෙස සිංහල භාෂාවට බයිබලය පරිවර්ථනය කරන්නේ නම් පරිවර්ථකයා අනිවාර්යෙන්ම සිංහල හා හෙබ‍්‍රව් සහ අරාමීය යන භාෂාවන් හොඳන් දන්නා පුද්ගලයෙක් විය යුතුයි. එසේ ලංකාවේ හෙබ්‍රෙව් භාෂා දන්නා පුද්ගලයා කවුද?

ලංකාවේ ඇති අනිකුත් ආගම් ගැන සලකා බැලීමේදී ඒවායේ ආගමික ග‍්‍රන්ථ ලියවී ඇති මුල් භාෂාව අදාල ආගමේ පූජක පක්‍ෂය හා බොහෝ විද්වතු හොඳන්ම දනිති. උදාහරණයකට ලංකාවේ බහුතරයක් විසින් පිළිබඳිනු ලබන බුදු දහමේ මූලාශ‍්‍රයන් ලියවී ඇති පාලි භාෂාව ව්‍යවහාරයේ නොමැති මළ භාෂාවක් වුවද, එම ආගමික පූජකවරුන් හා විද්වතුන් හොඳින්ම දන්නා අතර බෞද්ධ පාඨශාලා වල එම භාෂාව අදටත් උගන්වනු ලැබේ. එසේම එම පූජකවරුන් එම මූලාශ‍්‍රවලින් කරුණක් හෝ ස්ලෝකයක් උපුට දක්වන විට එම මුල් බසින්ද එය කියා පරිවර්ථනය කරති. මේ ආකාරයට ලංකාවේ කුමන හෝ ක‍්‍රිස්තියාණි පාඨශාලාවක හෙබ්‍රෙව් භාෂාව උගන්වනු ලබනවා ද? ක‍්‍රිස්තියාණි පූජකවරුන් මෙසේ බයිබලයෙන් කරුණක් උපුටා දක්වන විට එම මුල් බසින් එය ප‍්‍රකාශ නොකරන්නේ මන්ද? මෙය කිතුනුවන් කල්පනා කළ යුතු ප‍්‍රශ්නයකි.

එසේම අලූත් ගිවිසුමේ සිංහල පරිවර්ථනවල සඳහන් කර ඇත්තේ ග‍්‍රීක භාෂා ශුද්ධ ලියවිලිවලින් සිංහලට පරිවර්ථනය කළ බවයි. එහි අර්ථය නම් අලූත් ගිවිසුමේ මුල් බස ග‍්‍රීක භාෂාව බවයි. නමුත් යේසුස් වහන්සේ කථා කළ භාෂාව ග‍්‍රීක භාෂාවද? නැත,ග‍්‍රීක භාෂාව යනු බටහිර භාෂාවකි. යේසුස් වහන්සේගේ නිජ බිම වූ ආසියාතික රටක් වන පලස්තීනයේ කිසිම කළක ග‍්‍රීක භාෂාව ව්‍යවහාරයේ තිබී නොමැත. මෙය කිතුනුවන්ද පිළිගනිති. ශ‍්‍රී ලංකා බයිබල් සමාගම විසින් 1990 දී ප‍්‍රකාශිත බයිබලයේ අලූත් ගිවිසුමේ පෙරවදනෙහි ”ජේසුස් වහන්සේ කථා කළේ ද, දේශන හා ඉගෙන්වීම කළේ ද, ජුදෙව්වරුන් කථා කළ අරමීය භාෂාවෙනි. එහෙත් සමකාලීන ලෝකයෙහි පොදු භාෂාව වශයෙන් පැවතියේ ග‍්‍රීක භාෂාව බැවිනුත්, ප‍්‍රචලිත ශිෂ්ටාචාරය ග‍්‍රීක ශිෂ්ටාචාරය වූ නිසාත්, නව ගිවිසුම මුලින්ම ලියන ලද්දේ ජාත්‍යන්තර භාෂාව වූ ග‍්‍රීක භාෂාවෙනි.” යනුවෙන් සඳහන් වේ.

මෙම ප‍්‍රකාශයෙන් යේසුස් වහන්සේගේ ඉගෙන්වීම් හා දේශන උන්වහන්සේ කථා කළ භාෂාවෙන් ලියන නොලද බව පැහැදිලිවම ඔප්පු වේ. එම නිසා එහි නිරුපද්‍රිත භාවය ගැනත්, දේව භාෂිතයකට(?) මෙවැනි කනගාටුදායක තත්වයකට මුහුන දීමට සිදුවීම ගැනත් කිතුනුවන් මදක් සිතා බැලිය යුතුයි. බයිබලයේ මුල් බස ගැන පැන නැගී තිබෙන ප‍්‍රශ්ණය මෙන්ම බයිබල් අනුවාද සලකා බැලීමේදී යම් යම් ප‍්‍රශ්ණ පවතී. කිතුනු දහම තුල බොහෝ නිකායන් ඇත. එක් එක් නිකායන් වෙන වෙනම බයිබල් අනුවාදයන් භාවිතා කරති. ඒක් එක් අනුවාදයන් අතර වෙනස් කම් ද තිබේ. ඒවා අතුරින් ප‍්‍රධාන නිකායන් දෙකකි, රෝමානු කතෝලික හා ප්‍රොතෙස්තන්ත යන නිකායන් දෙක.

විවිධ බයිබල් අනුවාද ගැන………

බයිබලයේ මුල් බස ගැන පැන නැගී තිබෙන ප‍්‍රශ්ණය මෙන්ම බයිබල් අනුවාද සලකා බැලීමේදී යම් යම් ප‍්‍රශ්ණ පවතී. කිතුනු දහම තුල බොහෝ නිකායන් ඇත. එක් එක් නිකායන් වෙන වෙනම බයිබල් අනුවාදයන් භාවිතා කරති. ඒක් එක් අනුවාදයන් අතර වෙනස් කම් ද තිබේ. ඒවා අතුරින් ප‍්‍රධාන නිකායන් දෙකකි, රෝමානු කතෝලික හා ප්‍රොතෙස්තන්ත යන නිකායන් දෙක.

මෙම ලිපිය ඉදිරියට බලාපොරොත්තු වන්න…

ඉබුනු ජෙමීල්

Related Post