ශිර්ක් විමසුමක් – ඒ්කදේව සංකල්පය හා කිතුණු සමාජය

ඉස්ලාමීය ඉගෙන්වීම අනුව ‘ශිර්ක්’ යන්න මහා පාපයකි. ශිර්ක් යනු අල්ලාහ් (දෙවි)ට කිසිවක් හෝ කිසිවෙක් සම කිරීමයි. ඉස්ලාම් පවසන දෙවියන් සර්ව බලධාරී වන අතර ඔහු ඉක්ම වූ කිසිවක් හෝ කිසිවෙක් නැත. මේ විෂය පිලිබදව විවිධ දෘෂ්ඨි කෝණවලින් මෙම අඩවිය තුල කරුණු සාකච්චා කොට ඇති අතර එවැනි ලිපි ‘දේව විශ්වාසය’ යන ගොනුව තුල කියවීමට පුළුවන. මේ අනුව ශිර්ක් යන්නට දියහැකි සරල විග්‍රහය ‘සකල විශ්වයම මාව, සංරක්ෂනය කර, පරිපාලනය කරන්නා වු එකම එක දෙවි අල්ලාහ් යන්න ප්‍රතික්ෂේප කිරීමත්, දෙවියන් සතු ගුණාංග එකක් හෝ කිහිපයක් වෙනත් කිසිවකුට හෝ කිසිවකුට ආරූඬ කිරීමත්, බොහෝ දෙවිවරු ඇතැයි විශ්වාස කිරීමත්, එකම දෙවි වන අල්ලාහ්ගේ ගුණාංගයන් හා හැකියාවන් ඔහුට ඇතිවා සේම වෙන කිසිවෙකුට හෝ ඇතැයි විශ්වාස කිරීමත්, අල්ලාහ්ට කළයුතු නැමදුම් වලින් කුමක් හෝ එකක් වෙනත් කෙනෙකු හට ඉටු කිරීමත් ‘ශිර්ක්’  නම් වේ.

මේ මහා පාපය සම්බන්ධයෙන් අල්ලාහ් (දෙවි) අවවාද නඟද්දී ශුද්ධ වූ කුර්ආනයේ මෙසේ පවසයි.

සමාව නොලැබෙන පාපයක්

අල්ලාහ් තමාට සමාන (යැයි උපකල්පනය) කිරීමට සමාව නොදෙන්නේය. ඒ හැර (පාපවලින් අනිකුත්) දෑ සඳහා තමා කැමති අය හට සමාව දෙන දෙන්නේය. අල්ලාහ්ට සමාන (යැයි උපකල්පනය) කරන්නා මහා පාපයක් කලේය.

ශිර්ක් මහා පාපයකි

යේසුස් වහන්සේ

අල්කුර්ආන්  4:48

සදාකල් නිරය

අල්ලාහ්ට සමාන (යැයි උපකල්පනය) කරන්නන් හට අල්ලාහ් ස්වර්ගය තහනම් කළේය. ඔවුන්ගේ නවාතැන නිරය යි. අපරාධකරුවන්ට කිසිඳු සහායකයෙක් නොමැත.

අල්කුර්ආන්  5:72

අල්ලාහ්ට කිසිවක් හෝ කිසිවෙක් සමාන(යැයි උපකල්පනය) කළහොත්  කුසල් සියල්ල විනාශ වනු ඇත.

ඔබ සමාන(යැයි උපකල්පනය) කරන්නෙහි නම් ඔබගේ කුසල් (සියල්ල) විනාශ වනු ඇත

අල්කුර්ආන්  39:65

මේ ආකාරයට ශිර්ක් පිලිබදව ඉස්ලාම් දහම මිනිස් සමාජයට අවවාද නඟන්නේ අද ඊයේ සිට හෝ මීට වසර 1400 කට පෙර විසූ දේව වක්තෘ මුහම්මද් (සල්) තුමාණන්ගේ කාලයේ පටන් නම් නොවේ. මෙලොව මුල්ම මිනිසා මෙන්ම දේව වක්තෘවරයාණන් වන ආදම් (‍අ‍ලෛ) තුමා පටන් මෙලොව පහල වූ සෑම දේව වක්තෘවරයෙකුම තම සමාජයට ඒකදේව සංකල්පය හා ශිර්ක් පිලිබදව අවවාද නඟා ඇත. ඒ වක්තෘ දම්වැල හි මුස්ලීම්වරුන්ට සුවිශේෂි එසේම වර්ථමාන ලෝකයේ කාලීනව සුවිශේෂි දේව වක්තෘවරයෙකු සිටී. ඒ මරියම්ගේ පුත් ඊසා (අලෛ) තුමා හෙවත් යේසුස් තුමාණන්ය. දෙවියන් හමුවේ තවම ජීවමානව සිටින ලෝක විනාශයේ සලකුණක් ලෙස කවදා හෝ යලිත් මෙලොවට පහල වන එතුමාණන් මුස්ලීම් සමාජයට සුවිශේෂි අනාවැකි සලකුණකි. එසේම එතුමාගේ උපත මූලික කරගෙන නත්තල සමරණ කිතුණු ලෝකයට ද එතුමා කාලීන වශයෙන් සුවිශේෂි මාතෘකාවකි. මෙලෙස ඉස්ලාමීය ලෝකයටත් කිතුණූ ලෝකයටත් එකසේ සුවිශේෂී වූ ඊසා (අලෛ) තුමාණන්ගේ ඉගෙන්වීමන් අතර මූලික ඉගෙන්වීම වන දෙවියන් පිලිබදව වූ ඉගෙන්වීම ඉතා වැදගත් ස්ථානයක් ගනී. මේ පිලිබදව ශුද්ධ වූ කුර්ආනය දීර්ඝ ලෙස කථා කරන අතර ඒ පිලිබදව අවදානය යොමු කිරීමට මත්තෙන් එතුමා පැවසුවා යයි පවසන වදන් දෙකක් කිතුණුවන්ගේ බයිබලයෙන් උපුටා දක්වන්නේ නම්,

  • සකල ලෝ මැවූ පොළොව නිර්මාණය කොට එය නිම කල පාළු ඉඩමක් ලෙස නොව විසුමට පුළුවන් තැනක් ලෙස පොළොව මැවූ එකම දෙවි වන සමිදාණෝ මෙලෙස වදාරණ සේක, ‘මම සමිඳුන් වෙමි හුදෙක් මා හැර අන් දෙවි කෙනෙක් නැත’

යෙසායා 45-18

  • මා පමණක් දෙවිඳාණන් බව, මා හා සමාන අන් කිසිවකු නැති බව පිලිගන්න

යෙසායා 46-9

ඉහත බයිබල් වාක්‍යයට අනුව යේසූස් වහන්සේ ඒකදේව සංකල්පය පැහැදිලිව කිතුණූවන්ට දේශනා කොට ඇති බව පැහැදිලිය. මෙය ශුද්ධ වූ කුර්ආනය ද තහවුරු කරන අතර තවත් බොහෝ බයිබල් වාක්‍යයන් තුලින් ද මෙය තහවුරු කල හැක. මා මෙසේ පවසන විට ඔබට කුතුහලයක් මතුවෙනු ඇත. ඒ එසේනම්, වර්ථමාන කිතුණු සමාජය තුල එම ඉගෙන්වීමන් දක්නට නොලැබෙන්නේ ඇයිද? යන්නයි. මෙය කිතුණු දහමට පමණක් අත් වූ අවාසනාවන්ත ඉරණමක් නොවේ. ලොව සෑම දහමකටම වාගේ අත් වූ ඛේදවාචකයකි. ශාස්තෘවරුන්, වක්තෘවරුන් සමාජයෙන් නික්මයාමත් සමඟ එම දහම විකෘති වීම සියළු දහමන් හි දක්නට ලැබෙන පොදු ඉරණමකි. මෙය පහත ශුද්ධ වූ නබිවදන් දෙක තුලින් ද හොදින් වටහාගත හැක. එනම්,

නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ කළහ : අල්ලාහ් යුදෙව්වන්ට හා ක‍්‍රිස්තියාණියින්ට ශාප කළේය. (මක්නිසාද යත්) ඔවුහු තම නබිවරුන්ගේ කබ්ර්යන් (මිනී වළවල්) නැමදුම් කරන ස්ථාන බවට පත්කර ගත්හ.

මූලාශ්‍ර ග‍්‍රන්ථය බුහාරී

නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ කළහ : ඔබලාට පෙර ජීවත් වූ අය තම නබිවරුන්ගේ හා සැදැහැවතුන්ගේ සොහොන් නැමදුම් කරන ස්ථාන බවට පත්කරගත්හ. මම ඔබලාව එයින් වළක්වමි.

මූලාශ්‍ර ග‍්‍රන්ථය මුස්ලිම්

ඉහත හදීසයන් දෙක තුලින් කලින් කලට එක් එක් දහමට අත්වූ අවාසනාවන්ත ඉරණම සරලව අවබෝධ කරගත හැක. (මේ පිලිබදව වැඩි විස්තර ශුද්ධ වූ ග්‍රන්ථ හා එහි වලංගුභාවය යන ලිපිය තුලින් කියවීමට ද පුළුවන.) එසේනම් කිතුණු දහමේ වර්ථමාන විශ්වාසයන් පිරිසිදු සැබෑ කිතුණු ඉගෙන්වීමන් නොවන බව ඔබට දැන් පැහැදිලි වියයුතුය. එය තවදුරටත් අවබෝධ කරගැනීම පිණිස යේසූස් තුමාගේ උපත මූලික කරගෙන එතුමාගේ ගුණ ගායනා කරමින්, එතුමාණන්ට ගෞරව දක්වමින් නත්තල සමරණ කිතුණු සමාජයේ බුද්ධිමත් විමසුමට ශුද්ධ වූ කුර්ආන් පාඨයන් කිහිපයක් ගෙන එන්නේ නම්,

මුස්ලීම්වරුන් මෙන්ම කිතුණුවන් ද විශ්වාස කරන මරණින් මතු උදාවන විනිශ්චය දිනයේ දෙවියන් හා යේසූස් වහන්සේ අතර සිදුවන සංවාදය ශුද්ධ වූ කුර්ආනය මෙසේ පවසයි.

දෙවියන් විමසයි:-

  • අල්ලාහ් හැර මාත් මාගේ මවත් දෙවිවරුන් දෙදෙනකු වශයෙන් සළකනුයි මර්යම්ගේ පුත් ඊසා, නුඹ ජනයාට කීවේද?

යේසූස් තුමාගේ පිලිතුර:-

  • (එවිට) ඔබ සුවිශුද්ධයි. මට අයිතියක් නැති දේ පැවසීම මට සුදුසු නොවේ. මා එවැන්නක් පැවසුවා නම් ඔබ ඒකාන්තයෙන්ම ඒ ගැන දන්නෙහිය. මා සිත්හි ඇති දෑ ඔබ දනියි. නමුත් ඔබේ සිත්හි ඇති දෑ මම නොදනිමි. ගුප්ත සියලූම දේ පිළිබඳ පූර්ණ අවබෝධය ඇත්තා ඔබ වේ යැයි පැවසුවෙමි. තවද මාගේ පරමාධිපතිද නුඹලාගේ පරමාධිපතිද වූ අල්ලාහ් (පමණක්) නමදිනුයි ඔබ මට පැවසූ දේ විනා අන් කිසිවක් මා ඔවුනට නොකීවෙමි. තවද මා ඔවුන් සමඟ සිටිනා තාක්කල් ඔවුන්(ගේ හැසිරීම)ට සාක්ෂි කරුවකු වී සිටිමි. නමුත් ඔබ මා ආපසු කැඳවාගත් විට ඔවුන් ගැන විමසිලිමත් වූයේ ඔබයි. තවද සියලූ දෙය කෙරෙහි සාක‍ෂිය ඔබමය. ඔබ ඔවුනට දඬුවම් කළා නම් ඔවුහු ඔබේම ගැත්තෝ වෙති. තවද ඔබ ඔවුනට සමාව දෙතොත් නියත වශයෙන්ම ඔබ සර්ව බලධාරි හා සර්ව ප්‍රාඥයැයිද වේ.

කියවන්න ශුද්ධ වූ කුර්ආනය  5-116  5-117   5-118

ආරම්භයේ ඉදිරිපත් කල ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් මෙන්ම බයිබල් වාක්‍යයන් ද හොදින් විමසා බලන්නේ නම් ශිර්ක් පිලිබදව කොතරම් ගැඹුරින් මේ දහමන් දෙක කථා කරනවාද? යන්න අවබෝධ කරගැනීම අපහසු නොවේ. එම කාරණය හොදින් මතකයේ රදවාගෙන මෙම ලිපිය අවසානයේ ඉදිරිපත් කල දෙවියන් හා යේසුස් තුමා අතර සිදුවන සංවාදය ද කිතුණු ලෝකය මේ නත්තල් සමයේ හොදින් විමසා බලන්නේ නම්, එය ඔවුන්ගේ පරලොව ජයග්‍රහණයට ඉමහත් පිටුවහලක් වනු ඇත යන්න ‘යහමඟ’ විශ්වාසයයි. ඒ සදහා ඔවුනට නුවණැස පෑදේවා!, ඒ තුලින් යහමඟ අවබෝධ වෙත්වා!, යන ප්‍රාර්ථනය කිතුණු ලෝකයට මේ 2013 නත්තල වෙනුවෙන් තබමින් මෙම ලිපියට ද විරාමය තබමි.

 

අබූ අර්ශද්

 

Related Post