“ෂරිආ” යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? (1)

ස්තූතියි යහමග වෙබි අඩවියට ඒයින් උපුටා ගැනීමකි.

කතෘ  -ඉබ්නු මන්සූර්

sharia-law-quranසෞදි අරාබියේ ගෘහ සේවිකා රැකියාවට ගිය ශ්‍රී ලාංකේය සහෝදරියක් මුහුණපා ඇති අධිකරණ තීන්දුවක් හේතුවෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වී ඇත. එම අධිකරණ තීන්දුවට පාදක වූයේ ෂරිආ නීතිය බවද සඳහන් වී තිබුණි. ඒ පිළිබඳ විමසුමක් මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන්නෙමු.

ෂරිආයනුවෙන් අදහස් වන්නේ කුමක්ද?

මෙහි පදගතාර්ථය නම් ‘දිය ඇලක් වෙත යොමු වී ඇති ජල මාර්ගයක්, දිය බොන ස්ථානයක්, මාවතක් හෝ නිවැරදිමඟ’ යන්නය. මෙම අර්ථයන් ගෙන් අපේක්ෂිත තැනකට හෝ නිශ්චිත ඉලක්කයක් කරා යොමු වූ මාවතක් හෝ මඟක් යන අර්ථය ගෙන දීමට ෂරිආ යන පදය යොදා ගනු ලැබිණ. අල් කුර්ආනයේ ෂරිආ යන පදය හා එහි විවිධ අනු ප්‍රභේද පිළිබඳව ස්ථාන පහක සඳහන් වී ඇති නමුත් එහි විස්තීර්ණ භාවිතය පසු කාලීනව සිදු වුවකි. ඉස්ලාමයේ ආරම්භක කාල වකවානුවේ ‘ඉස්ලාම්’ ‘දීන්’ යන පදයන් මේ වෙනුවට උපයෝගී කර ගන්නා ලදී.

මුස්ලිම් වරුන්ගේ ජීවිත හසුරුවන නීති මාලාවන්, නියාමනයන්, ඉගැන්වීම්, හා අගයන් හුවා දැක්වීමට සංකල්පාත්මකව ෂරිආ යන පදය උපයෝගී කර ගනු ලැබේ. මෙය මුස්ලිම් වරයෙකුගේ පරිපුර්ණ ජීවන සැලැස්ම අඩංගු වූ ඉතා පළල් සංකල්පයකි. නැමදුම, සදාචාරය, පුද්ගල ආකල්ප හා කල් ක්‍රියාව මෙන්ම දේශපාලන ආර්ථික, සමාජීය, සමාජ සත්කාර ක්‍ෂේත්‍රයන් ද අපරාධ හා සිවිල් අංශයන් ද තනි පුද්ගල අයිතිවාසිකම් හා සමාජීය අයිතිවාසිකම් ද මෙයට අන්තර්ගත වෙයි.

එහෙයින් ෂරිආ යනු දෙවිඳුන් ව විශ්වාස කර පිළිගන්නා ජනයාට මෙලොව හා මතුලොව ජය අත් පත් කර ගැනීම උදෙසා අනුගමනය කිරීමට දෙවිඳුන් විසින් සකස් කර දී ඇති මාවතක් ලෙස විග්‍රහ කිරීම වඩාත් සුදුසු වෙයි.

ෂරිආ පිළිවෙතේ මුලික අරමුණු

ඉස්ලාමීය නීතියේ මුලික අරමුණ වන්නේ ප්‍රතිපත්තියක් වශයෙන්ම මිනිසුන් මුහුණපාන දුෂ්කරතාවන් ඉවත් කොට ඔවුන්ගේ ප්‍රශ්න හා ගැටලු වලට යහ විසඳුම් ලබා දීමය. පොදු වශයෙන් ‘ෂරිආ’ පිළිවෙත මගින් පුද්ගලයින් හා සමාජයට දැහැමි වීම සඳහා දිරි ගන්වන අතර දෙවිඳුන්ට සමීපතාවක් ගොඩ නගා ගන්නට මඟ පෙන්වයි. සැවොම එකිනෙකාට උපකාර කර ගනිමින් යහකම දිරිගන්වමින් හා දෙවිඳුන් හට අප්‍රිය වූ අයහකමින් එකිනෙකා වළකමින් කටයුතු කිරීම මිනිස් සමාජයේ යහ පැවැත්මට අත්‍යවශ්‍ය කරුණකි. පහත සඳහන් කරුණු ෂරියා පිළිවෙතේ මුලික අංග ලෙස දැක්විය හැක.

  • දහම සුරක්ෂිත කිරීම ෂරිආ හි අරමුණු අතරින් වැදගත් ස්ථානයක් ගනියි. මිනිස් ජීවිතයේ හරය හා සාරය ලෙස ගැනෙන්නේ දහමය. මිනිසාගේ මෙලොව හා මතුලොව ජය රැඳී ඇත්තේ දහමේ නිවැරදි මග පෙන්වීම් අනුගමනය කිරීම මතය.
  • ජීවිත ආරක්ෂණය ෂරිආ හි තවත් වැදගත් අරමුණක් වෙයි. කිසිදු ජීවියෙකුට හිරිහැර කිරීමට හෝ අන් අයගේ ජීවිත හානි කිරීමට හෝ අයිතියක් කිසිවෙකුට නොමැත. අන් අයගේ ජීවිත අනුල්ලංඝනීය බව ඉස්ලාමය උගන්වන අතර අහිංසක ජීවිත වලට හානි සිදු කිරීම මහා පාපයක් ලෙස ද සලකයි.
  • බුද්ධිය ආරක්ෂා කිරීමද ෂරිආ හි තවත් වැදගත් අරමුණක් වෙයි. මුස්ලිම් වරයෙකු සෑම විටම සන්සුන් හා තැන්පත් කමකින් යුක්ත විය යුතුය. මත් පැන් මත් කුඩු හා අනෙකුත් සියලුම මත් ද්‍රව්‍යයන්ගෙන් වැළකී සිටීම අත්‍යාවශ්‍ය වෙයි. බුද්ධිය හා මනස ව්‍යාකුලත්වයට පත් කරන්නා වූ මත්ද්‍රව්‍ය හා අනෙකුත් දෑ පුද්ගලයාට හා සමාජයට අති හානිකරය.
  • දේපළ හා ධනය ආරක්ෂා කිරීම ෂරිආ පිළිවෙතේ ඉතා වැදගත් තැනක් ගනී. පුද්ගල ආරක්ෂණය පිළිබඳ හැඟීම පරිපුර්ණ වීමට නම් තම ශ්‍රමයේ ඵලය ලෙස සැලකෙන දේපළ හා ධනය සුරක්ෂිත විය යුතුය. සොරකමින් හා බලහත්කාරකමින් හානියක් නොවන පරිදි තම වස්තුව රැක ගැනීමේ සහතිකයක් තිබීම පුද්ගල ආරක්ෂණයේ වැදගත් ස්ථානයක් ගනී.
  • පරපුර පිරිසිදුව හා නිවැරදිව පවත්වා ගෙන යෑම ෂරිආ පිළිවෙතේ ඉතා වැදගත් අංගයක් වෙයි. විවාහයට පුර්ව හා විවාහයෙන් පසු ඉන් බාහිර සියලුම ලිංගික සම්බන්ධතාවන් තහනම් වන අතර ඒවා දඬුවම් ලැබීමට හේතු වන කරුණු ලෙස සලකයි. මිනිස් සමාජයේ මුලික ඒකකය පවුලයි. පවුල් සංස්ථාව බිඳ දමා සමාජයේ බරපතල ආකාරයේ අස්ථාවරත්වයක් ඇති කිරීමට සෘජුවම බලපාන සාධකය වන්නේ කාමයෙහි වරදවා හැසිරීමයි.

ලිංගික ක්‍රියාව හා ප්‍රජනනය සත්ව ලෝකයේ සාමාජිකයින්ට මෙන්ම මිනිසාට ද පොදුවූ යථාර්ථයකි. නමුත් තිරිසන් ලෝකය හා මිනිසා අතර ප්‍රධාන වෙනස වන්නේ මිනිසා විසින් ලිංගික ක්‍රියාව පවුල් සංස්ථාවට සීමාකොට එමගින් තම පරපුරේ පාරිශුද්ධිය ආරක්ෂා කොට ඔවුන් පිළිබඳ වගකීමකින් යුක්තව හා ඥාතිත්වය රැකෙන පරිදි කටයුතු කිරීමයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් මෙම උත්තරීතර බැඳියාවන් සියල්ල බිඳ වැටී මිනිසා හා තිරිසනා අතර කිසිදු වෙනස්කමක් නොමැති තත්ත්වයක් ඇතිවීමේ දොරටු විවෘත කොට දෙයි.

එහෙයින් අවිවාහක මෛථුනය, විවාහකයින් සිදු කරනු ලබන කාමයේ වරදවා හැසිරීම්, අනාචාරය, ලිංගික අපචාරය, ගණිකා වෘත්තිය ආදී සියලුම ආකාරයේ ලිංගික වැරදි මෙන්ම එම වැරදි කරා යොමු කරවන සියලු සාධක පිළිබඳව ෂරිආ පිළිවෙත දැඩි විරුද්ධ ස්ථාවරයක සිටී. පහතින් දක්වා ඇති අයුරු කාමයේ වරදවා හැසිරීමේ චෝදනා පිළිබඳ ව අධිකරණයක් ඉදිරියේ ඔප්පු කිරීමට හැකි වුවහොත් විවාහකයින්ට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ගල්ගසා මරණයට පත්කිරීමත්, අවිවාහකයින් සඳහා මෙම චෝදනාව සඳහා කසපහර 100ක් ලබා දීමත් කළ යුතුය. මෙම චෝදනා ඔප්පු කිරීමේ නිර්ණායකයන් දෙස විමසිලිමත් අයුරින් අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටින්නෙමු.

 

 

 

Related Post