කරුණාවන්ත මුහම්මද් නබිතුමාණන්

යහමග

ඉස්ලාමි

ලෝක ඉතිහාසය තුල නොමැකෙන චරිතයක් පිලිබදව අද පටන් යහමඟ අඩවිය තුල සාක්ච්චා කිරීමට අදහස් කරමි. ඒ මීට සියවස් 14 කට පෙර විසූ ‘මුහම්මද් (සල්)’ නම් චරිතය පිලිබදවයි. වර්ථමානයේ ‘මුහම්මද්’ යන නම ඇසූ පමණින් මුස්ලීම් නොවන බොහෝ පිරිසකගේ සිතු තුල මැවෙන්නේ කෲර, සටන්කාමී, කාන්තා හිංසක, අධම… පාලකයෙකු යන අදහසයි. මෙය බටහිර ඉස්ලාමී විරෝධීන් විසින් හුදෙක් කාටූන් චිත්‍ර කිහිපයක් නොඑසේ නම් වැරදි ඉතිහාසයක් එසෙක් නැත්නම් ආගමික ඉගෙන්වීමක් විකෘති කොට වර්ථමාන සමාජය මත බලෙන් පටවන ලද පදනම් විරහිත ප්‍රතිරූපයක් පමණක් වන අතර ඔවුන්ගේ මතවාදය තහවුරු කලහැකි කිසිදු සාක්ෂියක් ඔවුන් සතුව නැත. අවාසනාවකට කවදත් බටහිර මතවාදයට කඩේ යන අප රටේ ඉස්ලාම් විරෝධී ඔස්තාර්ලා ද එම මතවාදයන් කරපින්නා ගෙන නොයෙක් ප්‍රකාශ සිදුකිරීම මෑත කාලයේ අප රටේ සුලභ දසුනකි. එවන් වූ පිරිසගේ බුද්ධිමත් අවධානයට මෙම ලිපිය ඉදිරිපත් කිරීම තුලින් අපේක්ෂා කරන්නේ දැන්වත් අවංක හා විධිමත් වූ ගවේෂණ එතුමාණන් සම්බන්ධයෙන් මෙම පිරිස් සිදු කලයුතු යන්නයි. වර්ථමාන දාර්ශනිකයන් හා ශාස්තෘවරුන් පුලපුලා පවසන කාරණයක් ඇත. ඒ ‘තම ශෘස්තෘවරයා එසේත් නැත්නම් දර්ශනිකයා පැවසූ දර්ශනය තරම් ප්‍රායෝගික දර්ශනයක් තවත් නැත’ යන්නයි. මෙම වාදය ලොව සෑම සමාජයක්ම නිරන්තරයෙන් ඉදිරිපත් කරන පොදු වාදයක් වන අතර මුස්ලීම්වරුන් ද නබිතුමාණන් සම්බන්ධයෙන් එලෙසම ප්‍රකාශ කරනවා යන්න අවිවාදාත්මක සත්යමයකි. එසේම යහමඟ අඩවිය ද බොහෝ අවස්ථාවල එම ප්‍රකාශය මෙම අඩවිය තුල ඉදිරිපත් කලා යන්න ද සත්‍යයකි.

නමුත් එවැනි ප්‍රකාශයක් කල පමණින් එය සත්‍යයක් එසෙත් නැත්නම් අසත්‍යයක් යයි තීන්දු කල හැකි කාරණයක් නොවේ. එය තහවුරු කිරීමට ප්‍රමාණවත් සාධක හා සාක්ෂී අවශ්‍ය වේ. වර්ථමානයේ මුහම්මද් (සල්) තුමාණන් පිලිබදව වර්ථමාන විද්වත් මතවාද අධ්‍යනය කලේනම් එතුමාණන්ගේ ශ්‍රේෂ්ඨත්වය එම විද්වත් මතවාදය මනාව පිලිඹිබු වේ. නූගත් සමාජයක් මධ්‍යයයේ සාක්ෂර ඥානය පවා නොමැති නූගත් පුද්ගලයෙකුව හිඳ අපේ භාෂාවෙන් පවසනවා නම් ‘වැස්සකටවත් ඉස්කෝල නොගිය’ එතුමාණන් මිනිස් සමාජයට කල දේශන හා ඒ තුලින් ලබාදුන් ආදර්ශ විශ්මිතය. විශේෂයෙන් ‘ජාහිලියා’ හෙවත් අඳුරු යුගයක් පසුකරමින් පැවතී මිනිස් සමාජයක් මධ්‍යයයේ උතුම් වූ පරමාර්ථයක්, එය සපුරාලීම පිණිස පහසු මාර්ගයක්, ඒ තුලින් විශ්මිත ප්‍රතිපලය ඔප්පුකොට පෙන්වූ එම මෙහෙවර විශ්මය ජනකය. එම විශ්මිත ආදර්ශයන් අද ලෝකයා හමුවේ ගැඹූරු විෂයන් බවට පත්ව ඇත. නූගත මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශය අද විශ්ව විද්‍යාල අධ්‍යාපනය තුල පොත්පත් සරසන විශීෂ්ඨ ඉතිහාසයන් බවට පෙරලී ඇත. එපමණක් නොව විද්වත් ගවේෂකයන්ගේ ප්‍රධාන පෙලේ ගවේෂණ කෘතිවලට මාතෘකාවන් බවටත් පත්ව ඇත. ඉස්ලාම් නම් දහම මිනිස් සමාජයට දායාද කරමින් ලෝකයා හමුවේ නොමැකෙන සලකුණක් තැබූ මුහම්මද් (සල්) තුමාණන්ගේ මහිමය හා ශ්‍රේෂ්ඨත්වය වර්ථමාන විද්වත් අදහස් තුලින් පිටුගණන් වුවද සැරසිය හැක. නමුත් සැබැවින්ම එතුමාණන් මිනිස් සමාජයට ලබාදුන් ආදර්ශ කුමක්ද? යන්න අවබෝධ කර ගැනීම තමා සැබැවින්ම මෙහිදී වැදගත් වන්නේ. ඒ අනුව මෙතැන් පටන් එතුමාණන් මිනිස් සමාජයට දායාද කල අසමසම ආදර්ශ එසේත් නැත්නම් ‘හදීස්’ බිදක් පහතින් ඔබගේ බුද්ධිමත් විමසුමට ඉදිරිපත් කරමි. ඔබ කුමණ ආගමික මතවාදය දැරුවද එම මතවාදය තුල හිද මුහම්මද් (සල්) තුමාණන් මිනිස් සමාජයට පෙන්වාදෙන ආදර්ශය ලොව අනිකුත් මතවාද හා දර්ශන සමඟ අවංකව හා උනන්දුවෙන් විශේෂයෙන් සංසන්ධනාත්මක ලෙස විශ්ලේෂණය කරන්න. එවිට සැබෑ මුහම්මද් (සල්) තුමාණන් ව ඔබට නිවරුදි ලෙස හදුනාගත හැකිවනු ඇත. ඒ සදහා ඉස්ලාමීය මූලාශ්‍රයෙන් ආදර්ශ බිඳක්…

01 – ආදර්ශය නබිතුමාණන් දිනක් ‘ඉස්ලාම් යනු යහපත අපේක්ෂා කිරීමයි’ යනුවෙන් පවසන ලදී.එයට තම අනුගාමික (සහාභිවර)යෙකු ‘දේව දූතයාණනි!, කව්රුන් හට යහපත අපේක්ෂා කිරීමද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘අල්ලාහ් (දෙවි)ටත්, ඔහුගේ දහමටත්, ඔහුගේ දූතයාණන්ටත්, (අප අතර) නායකයන්ටත්, පොදු ජනතාවටත් යහපත අපේක්ෂා කිරීම’ යනුවෙන් පවසන ලදී. මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

02 – ආදර්ශය දිනක් එක්තරා මිනිසෙකු නබිතුමාණන් හමුවට පැමිණ ‘දේව දූතයාණනි!, මාහට කෙටි නමුත් වටිනා අවවාදයක් කරන්න’ යනුවෙන් විමසා සිටින ලදී. එයට නබිතුමාණන් ‘නුඹලා වන්දනය සදහා සැරසුනේ නම් මෙලොව අතහැර යන තැනැත්තෙකු ලෙස හිද එය ඉටුකරන්න. හෙට දිනයේ කණගාටුව ප්‍රකාශ කරන්න සිදුවන ආකාරයේ කිසිවක් කථා නොකරන්න. තවද අන් මිනිසුන් හමුවේ ඇති සම්පත් කෙරෙහි ආසාවන් ඇති තැනැත්තෙකු ලෙස ජීවත් නොවන්න’ යනුවෙන් පවසන ලදී. මූලාශ්‍ර ග්‍රන්ථය – මිෂ්කාත්

03 – ආදර්ශය නබිතුමාණන් දිනක් මෙසේ පවසන ලදී ‘මිනිසුන් ගමන් කරන මාර්ගයේ වාඩි වී සිටීම පිලිබදව මා නුඹලාට අවවාද කරමි’. එයට අනුගාමික (සහාභිවර)යෙකු ‘දේව දූතයාණෙනි!,එසේනම් අපට කථාබහේ යෙදීමට සභාවන් අවශ්‍ය වෙනවා නොවේද?’යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් නූඹලා ‘නූඹලාට අනිවාර්‍යයෙන් එලෙස කථා කිරීමට සිදුවන්නේ නම් මාර්ගයට ලබා දියයුතු යුතුකම නිසි ලෙස ඉටුකරන්න’ යනුවෙන් පවසන ලදී. එයට එම සහාභිවරයා ‘මාර්ගයට දියයුතු යුතුකම් යනු කුමක්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘කාන්තාවන් දෙස කාමුක හැඟීමන් ඇතුව නොබලා කම බැල්ම පහත හෙලාගැනීම, අන් පිරිසට හිංසා වන ආකාරයට ක්‍රියා නොකර සිටීම, සලාමය (සුභ පැතුම)ට පිලිතුරු දීම, යහපත් ක්‍රියාවන් සදහා උනන්දු කිරීමත් අයහපත් ක්‍රියාවන්වලින් (ජනයා) වැලැක්වීමත් මේවා තමා මාර්ගයකට ලබාදිය යුතු යුතුකම්.මේවා නූඹලා අනිවාර්‍යයෙන්ම අනුගමනය කලයුතු වේ’ යනුවෙන් පවසන ලදී. මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී, මුස්ලීම්

04 – ආදර්ශය නබිතුමාණමාණන් වරක් මෙසේ විමසන ලදී ‘මුසාව යනු කුමක්ද යන්න නුඹලා දන්නෙහිද?’ එයට සහාභාවරුන් අල්ලාහ් (දෙවි) සහා ඔහුගේ දූතයාණන් පමණයි එය දන්නේ‘ යනුවෙන් පවසන ලදී. එයට නබිතුමාණන් ‘නුඹලාගේ සහෝදරයෙකු තමාගේ කුමන දෑ අන් අය හමුවේ ප්‍රකාශ කිරීමට අකමැති වන්නේද එය අන් අය හමුවේ පැවසීම තමා මූසාව වන්නේ’ එයට සහාභිවරයෙකු ‘මම පවසන දුර්වලතාවය සැබැවින්ම ඔහු ලඟ තිබුණේ නම් එය මුසාවක් වන්නේද?’ යනුවෙන් විමසූ විට ‘නුඹ ඔහු ලඟ ඇති යමක් තවත් කෙනෙකුට ප්‍රකාශ කලේනම් එය තමා මුසාව වන්නේ එසේ ඔහු ලඟ නොමැති යමක් ඔහු නමින් ගොතා පවසන්නේ නම් එය කටකථා යන්න දැනගන්න!,’ යනුවෙන් නබිතුමාණන් පවසන ලදී. මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

05 – ආදර්ශය එක්තරා මිනිසෙකු නබිතුමාණන් හමුවට පැමිණ ‘නබිතුමණි!, මා හට අවවාද කරන්න’ යනුවෙන් පවසන ලදී. එයට නබිතුමාණන් ‘නුඹ තරහා (කෝපය) නැති කරගන්න’ එයට එම මිනිසා නැවත නැවතත් ඉහත පැනයම නබිතුමාණන්ගෙන් විමසූ අතර නබිතුමාණන් ද නැවත නැවත ලබා දුන්නේ ඉහත පිලිතුරම පමණි. මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

06 – ආදර්ශය වරක් නබිතුමාණන් ‘සැබෑ මුස්ලීම්වරයෙකු කිසිවිටෙක තමන්ව අපහසයට ලක්කර නොගතයුතුය’ යනුවෙන් පවසන ලදී. එයට සහාභිවරුන් ‘මුස්ලීම්වරයෙකු කෙසේද තමන්ව අපහසයට ලක්කර ගන්නේ’ යනුවෙන් විමසූ විට ‘ඉතා වෙහෙසකාරී (දරාගත නොහැකි තරම්) ක්‍රියාවන් තුල තමන්ව සම්බන්ධ කරගැනීම තුලින් ඔහු ඔහුව අපහසයට ලක්කර ගනී’ යනුවෙන් නබිතුමාණන් පවසන ලදී. මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි 07 – ආදර්ශය නබිතුමාණන් හමුවට කෙනෙකු පැමිණ ‘දේව දූතයාණනි!, මට අවවාදයක් කරන්න. මම එය පිලිපැදීම තුලින් අල්ලාහ් (දෙවි) ද මිනිසුන්ද මාව ප්‍රිය කලයුතුය’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘ලෝකය ගැන නුඹට ඇති ඇල්ම බැදීම අඩු කර ගන්න!, අල්ලාහ් (දෙවි) නුඹව ප්‍රිය කරනු ඇත. මිනිසුන් හමුවේ ඇති වස්තූන් කෙරෙහි නුඹට ඇති ඇල්ම හා බැදීම අඩු කර ගන්න!, එවිට මිනිසුන් නුඹට ආදරය කරනු ඇත’ යනුවෙන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – ඉබුනු මාජා

Related Post