නව වසරක උදාව හා ඉස්ලාමීය දින දර්ශනය New Year’s in the eyes of Islam

මුහර්රම්

මුහර්රම්

වසරක් ගෙවී ගොස් නව වසරක උදාවෙහි සිටින මේ මොහොතේ කවදත් කාලීන මාතෘකාවන් කථා කරන යහමඟ වෙබ් අඩවිය අද “ඉස්ලාමීය දින දර්ශනය හා නව වසරක උදාව” යන මාතෘකා ඔස්සේ කරැණු කිහිපයක් සාකච්චා අදහස් කරමි. ඒ අනුව ඉස්ලාමීය නව වසර යනු කුමක්ද? යන්නත්, එහි උදාව සිදුවන්නේ කෙසේද? යන්නත්, එයට පදනම් වී ඇත්තේ කුමක්ද? යන්නත්, එය නිර්ණය කරන්නේ කෙසේද? යන්නත් තරමක ගැඹුරින් මෙහිදී සාක්ච්චා කිරීමට අදහස් කරමි. වර්ථමානයේ ලොව පවතින (ක්‍රිස්තු වර්ෂ) දින දර්ශනය ලොව ආරම්භයේ සිට එසේත් නැත්නම් ආදිතම මිනිසාගේ පටන් පැවත එන්නාක් නොවේ. එසේම එය සමස්ථ මිනිස් වර්ගයාම ඒකමතිකව පිලිගත් දින දර්ශකයක් ද නොවේ. වර්ථමාන දින දර්ශනය ක්‍රිස්තුස් වහන්සේගේ උපත පදනම් කරගෙන නිර්මාණය වී ඇති වර්ථමාන තාක්ෂණ දියුණුවත්, මුළු ලොවම විශ්ව ගම්මානයක් වීම තුලත්, ඒ තුල දින ගනනය කිරීම සදහා කැමැත්තෙන් හෝ අකැමත්තෙන් ජනතාවට පොදු එකඟතාවයක් ඇතිකර ගැනීමට සිදුවිය. ඒ අනුව ලොව බහුතර පිරිසක් වන කිතුණුවන්ගේ තීරණයකට අනුව “ක්‍රිස්තු වර්ෂය” නම් වූ ගනනය කිරීම ලොව ඇරඹීය. ඒ අනුව යේසුස් තුමාගේ උපතේ සිට මේ දක්වා කාලය ක්‍රිස්තු වර්ෂ (ක්‍රි ව) යනුවෙන්ද, එතුමාගේ උපතට පෙර කාලය ක්‍රිස්තු පූර්ව (ක්‍රි පූ) යනුවෙන්ද භාවිතයට ගැනුණි. මෙලෙස ආරම්භ වූ දින දර්ශනය නිර්මාණය කිරීමේ දී එහි කාලය එනම් දින, සති, මාස හා වර්ෂ යනාදිය නිර්ණය කිරීම සදහා සම්මත ක්‍රිමයන් භාවිතා විය. එනම් සූර්යයාට සාපේක්ෂව පෘථිවි චලිතය පදනම් කරගෙන දින දර්ශනය නිර්මාණය කර විය. එනම් පෘථිවි පරිභ්‍රමණය අනුව දිනයත් එවැනි දින හතක් සතිය ලෙසත් ඉන්පසු දින 28, 29, 30 හෝ 31 මාසය ලෙසත්, පෘථිවිය සුර්‍යයා වටා එක් වටයක් ගමන් කිරීමට ගතවන කාලය (ආසන්න වශයෙන් දින 365) වර්ෂයක් ලෙසත් එම වර්ෂයකට මාස 12ක් ලෙසත් නිර්මාණය කරන ලදී. මේ ආකාරයට නිර්මාණය කල දින දර්ශනය තමා අද ජාත්‍යන්තර දින දර්ශනය ලෙස භාවිතා වන්නේ. ජාත්‍යන්තර දින දර්ශනය ඒ ආකාරයට පැවතුණද ඉස්ලාම් ලොවට හදුන්වාදෙන දින දර්ශනය ඊට වඩා තරමක වෙනස් ආකාරයෙන් පවතී. එහි වර්ථමාන දින දර්ශනයට සමානකම් ඇති දෑ මෙන්ම අසමානකම්ද පවතී. ඒ පිලිබදව දැන් කෙටියෙන් විමසා බලමු. මෙම කාරණය පිලිබදව තරමක් පුළුල් ලෙස කථා කිරීමේ දී එය විවිධ කොටස්වලට බෙදා ඒ එකින් එක කථා කිරීමේ අවශ්‍යතාවයක් ඇති වේ. එසේ කථා කිරීමට මත්තෙන් ශුද්ධ වූ කුර්ආනයේ 10-5 වාක්‍යය ඔබේ අවධානයට යොමු කිරීමට අදහස් කරමි. එනම්, “ඔහු (අල්ලාහ් (දෙවියන්)) තමා ඉර ආලෝකය විහිදුවන්නක් ලෙසත් චන්ද්‍රයා ආලොකය පරාවර්ථනය කරන්නක් ලෙසත් නිර්මාණය කලේ. ඒ (නුඹලාට) වර්ෂයන් හා කාලයන් නුඹලා දැනගැනීම පිණිසය” ඉහත වාක්‍යය තුල බොහෝ විශ්මිත කාරණයන් අල්ලාහ් (දෙවියන්) අන්තර්ගත කොට ඇතත් අපගේ මාතෘකාවට අදාලව අවධානය යොමු කලේනම්, එහි එක්තරා ස්ථානයක “ඉර හා හඳ මවා ඇත්තේ කාලය හා වර්ෂය ගනනය කිරීම සදහා” යන්න අදහස් කෙරේ. ඒ අනුව ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව ඉර පමණක් හෝ චන්ද්‍රයා පමණක් පදනම් කරගෙන වර්ෂය හා කාලය ගනනය කිරීම කල නොහැකි බව පැහැදිලිය. එම කාරණය හොදින් සිහියේ තබාගෙන පහත කාරණයන් එනම් “දිනය”, “සතිය”, “මාසය” හා “වර්ෂය” යනාදීය පිලිබදව ඉස්ලාමීය විග්‍රහය කුමක්ද? යන්න දැන් විමසා බලමු. දිනය දිනය යන්න සැලකූවිට ඉස්ලාම් පවසන දිනය හා වර්ථමානයේ ජාත්‍යන්තරයේ භාවිතයේ පවතින දිනය යන දෙකෙහි කාල පරාසයේ වෙනසක් නැත. එනම් එය ආසන්න වශයෙන් පැය 24ක්ම වේ. එය ‍එසේ වීමට හේතුව ජාත්‍යන්තර කාල නිර්ණය සේම ඉස්ලාමීය ක්‍රමයට ද කාලය ගනනය කිරීම සිදුකරන්නේ (ඉහත 10-5 කුර්ආන් වාක්‍යයේ සදහන් ආකාරයට) සූර්යයාගේ චලිතය පදනම් කරගෙනය. ඒ අනුව එහි පරස්පරතාවයක් ඇති නොවේ. කාලයේ වෙනසක් ඇති නොවුවත් දවසේ ආරම්භක මොහොත පිලිබදව ඉස්ලාමීය විග්‍රහය වර්ථමාන සමාජ භාවිතයට වඩා වෙනස් ආකාරයක් ගනී. වර්ථමාන දින නිර්ණය කිරීම මනක්කල්පිත ජාත්‍යන්තර දින රේඛාවක් පදනම් කරගත් එකකි. එසේම රටක් ලෙස සැලකූවිට එය රටේ මධ්‍යම රාත්‍රියේ එනම් 12.00 ට නව දවස ආරම්භය සිදුවේ. නමුත් ඉස්ලාමීය ක්‍රමයට එය එසේ නොවේ. දවස ඇරඹෙන්නේ සනධ්‍යාවේදීය. මෙය බහුතර මුස්ලීම් ප්‍රජාව පවා නොදන්න කාරණයකි. එයට හේතුවක් ද ඇත. එනම් මේ වනවිට ඔවුන් ජාත්‍යන්තර දින දර්ශනයන්ට අනුව කටයුතු කිරීමට පුරැදු පුහුණු වී සිටීමයි. කෙසේ වෙතත් මා ඉහතින් සදහන් කාරණය තහවුරැ කිරීමේ වගකීම දැන් මට පැවරී ඇති නිසා මෙම ලිපියෙහි දීර්ඝවීම සැලකිල්ලට ගෙන ඒ සදහා ඉස්ලාමීය මූලාශ්‍රයන් තුලින් එක් සාක්ෂියක් ගෙනහැර දක්වමි. එම හදීසය මෙලෙස වේ. වරක් මුහම්මද් (සල්) තුමාණන් පැවසූ බවට අයිෂා (රලි) තුමිය මෙසේ පවසන ලදී. “නුඹලා සිකුරාදා රාත්‍රිය ලැබුවේ නම් ජුම්මා සලාතය ඉටු නොකොට ගමන්බිමන් නොයන්න යනුවෙන් පවසන ලදී” මූලාශ්‍ර ග්‍රන්ථය – අබී ශෙයිබා 5114 ඉහත හදීසය වෙත හොදින් අවධානය යොමු කරන්න, “ජුම්මා” සලාතය යනු සිකුරාදා දින මධ්‍යහනයේ සෑම මුස්ලීම්වරයෙකුම ඉටුකරන සමූහ සලාතයකි. එම සලාතය ඉටු කරන තුරැ සිකුරාදා රාත්‍රියෙහි ගමන් නොයන ලෙස ඉහත හදීසය පවසයි. අද සමාජ භාවිතයට අනුව දහවලින් පසුව තමා රාත්‍රිය උදාවන්නේ සරලව පවසනව‍ා නම් සිකුරාදා දහවලින් පසුව තමා සිකුරාදා රාත්‍රිය උදාවන්නේ නමුත් ඉහත හදීසයේ “නුඹලා සිකුරාදා රාත්‍රිය ලැබුවේ නම් ජුම්මා සලාතය ඉටුනොකොට ගමන් නොයන්න” යන්න පැවසීම තුල ඉස්ලාමීය ක්‍රමයට රාත්‍රියෙන් පසුව තමා දහවල හි උදා‍ව සිදුවන්නේ යන්න පැහැදිලිවේ. (මෙවැනි තවත් හදීසයන් හෙවත් නබිවදන් දක්නට ඇති අතර ඒවා හොදින් අධ්‍යනය කරන විට ඉහත තත්වය වඩාත් හොදින් පැහැදිලි වේ.) මේ අනුව ඉස්ලාමීය දිනයේ ආරම්භය දවසේ සවස් කාලයේ පවතින බව පැහැදිලිය. සතිය ඉස්ලාමීය දින දර්ශනයට අනුව සතියකට අයත් දින ගනන යන්න. වර්ථමානයේ ජාත්‍යන්තරයෙ තුල භාවිතයේ පවතින දින දර්ශනයට සෑම අතින්ම සමාන වේ. එනම් සතියකට දින 07ක් යන්නෙහි කිසිදු වෙනසක් නැත. මාසය වර්ථමාන ජාත්‍යන්තර දින දර්ශනය සුර්යයා හා පෘථිවිය පදනම් කරගෙන නිර්මාණය වී තිබුණද, ඉස්ලාමීය දින දර්ශනයට පදනම් වී ඇත්තේ පෘථිවිය හා චන්ද්‍රයාය. මේ නිසා ඉස්ලාමීය මාසය චන්ද්‍රමාසය ලෙසද ව්‍යවහාර වේ. මෙලෙස චන්ද්‍රයා පදනම් කරගෙන මාසය නිර්ණය කිරීම ඉස්ලාමීය දහමට පමණක් අවේන්ක ලක්ෂණයක් නොවන බව ද මෙහිදී අවධාරණය කලයුතුය. මන්ද ලොව බොහෝ පිරිස් මෙම ක්‍රමය අනුගමනය කර ඇති බව ඉතිහාසගත සාක්ෂි ලොවට කියාපායි. ආසන්නතම නිදසුන ලෙස ලාංකීය බෞද්ධ සමාජය හැදින්විය හැක. ඔවුන්ගේ ද මාසය නිර්ණය කිරීමේ දී එයට පදනම් කරගන්නේ චන්ද්‍රයාය. විශේෂයෙන් පෝයදින ගනනට කිරීමේදී මෙය වඩාත් හොදින් පැහැදිලි වේ. මේ අනුව සැලකුවද මෙය මුස්ලීම් ප්‍රජාවට පමණක් ආවේණික කාරණයක් නොවන බව පැහැදිලිය. ඉස්ලාමීය දින දර්ශනයට අනුව නව සඳ දැකීමෙන් මාසය ආරම්භ වී මීළඟ නව සඳ දකින තුරැ එම මාසය දීර්ඝ වේ. ඒ අනුව මාසයකට දින 29 හෝ 30 වේ. එනම් කිසිදු අවස්ථාවක මාසයට දින 28 ක් හෝ 31 ක් යන්න ඇති නොවේ. මෙහිදී සදහන් කලයුතු තවත් කාරණයක් ඇත. එනම් මාසයකට දින නිශ්චිත අගයක් එනම් 29 හෝ 30 යයි තීරණය නොකොට එය ඉහත දෙකෙන් එකක් යයි පැවසීමට හේතුවක් ඇත. එය පහත හදීසය හෙවත් මුහම්මද් (සල්) තුමාණන්ගේ වදන් තුලින් පැහැදිලි වනු ඇත, “රමලාන් (උපවාසය රකින මාසය) හඳ දකින තුරැ උපවාසය නොඅරඹන්න. (ඊලඟ මාසයට අදාල) හඳ දකින තුරැ උපවාසය අත්නොහරින්න. වලාකුළු හේතුවෙන් හඳ නොපෙනුනේ නම්, එම මාසය දින 30 ලෙස සලකන්න” ඉහත හදීසයට අනුව මාසයේ 29 වන දින නවසද බැලීම සෑම මුස්ලීම්වරයෙකුටම අනිවාර්‍ය වන අතර කිසියම් (එනම් අධික වලාකුළු වැනි) හේතුවක් නිසා නවසඳ නොදුටුවේ නම් එම මාසය දින 30ක් ලෙස පුර්ණ කලයුතුයි යන්න ඉස්ලාමීය මඟපෙන්වීමයි. ඉහත නවසඳ බැලීම සමස්ථ මුස්ලීම් සමාජයටම අනිවාර්‍ය වුවත් එය කිසියම් කෙනෙකු දැක දැනුම් දුන්නේ නම් ඒ අනුව සමස්ථ මුස්ලීම් සමාජයම ක්‍රියා කිරීමද අනිවාර්‍ය වේ. මෙය මාසය නිර්ණය කිරීම සදහා ඉස්ලාම් මුස්ලීම් සමාජයට පෙන්වාදෙන ක්‍රමවේදයක් වන අතර මේ පිලිබදව නිසි අවබෝධයක් නොමැති අන්‍ය (මුස්ලීම් නොවන) සමාජයට නම් මෙය සංකීර්ණ කාරණයක් ලෙස පෙනෙනු ඇත. එනම් ඉදිරි මාස සදහා නිෂ්චිත ලෙස මාසයේ මුල්දිනය නිර්ණය කිරීම ප්‍රායෝගික නොවීම හා සමස්ථ සමාජයට නවසඳ පණිවුඩය නොලැබීම යන්න මෙම සංකීර්ණතාවයට හේතුවයි. නමුත් ආසන්න වශයෙන් නිර්මානය කල ඉස්ලාමීය දින දර්ශනයක් සමාජ භාවිතයේ පැවතීමත්, සමස්ථ මුස්ලීම් සමාජයම නවසඳ දැකීම ජීවිතයේ එක් අංගයක් කරගෙන තිබීමත්, ලොව ඕනෑම තැනක නවසඳ දුටුවත් ඊලඟ මොහොතේ දී සමස්ථ මුස්ලීම් ප්‍රජාවටම එම පණිවුඩය දැනුම්දීමේ සාර්ථක සංනිවේදන පිලිවෙලක් සකස් වී තිබීමත් නිසා මෙහි කිසිදු සංකීර්ණතාවයක් මුස්ලීම් ප්‍රජාවට ඇති නොවේ. නමුත් මේ කිසිවක් පිලිබදව අවබෝධයක් නොමැති අන්‍ය සමාජය සුපුරැදු පරිධි පුර්ව නිගමනවල හිද මෙවැනි ක්‍රියාවන් ද විවේදනය කරයි. ඔවුන් ඉදිරිපත් කරන විවේචන සමහරක් අවස්ථාවල දී හාස්‍ය උපදවන සුළුය. එයට හොද නිදසුනක් ඔබට මා පවසන්නම්. මේ පහත දැක්වෙන්නේ ශ්‍රී ලාංකීය ජනප්‍රිය පුවත්පතක් වන “දිනමිණ” පුවත්පතේ මෑතක පලවූ ලිපියක ඉහත කාරණයට අදාලව අදහස් දැක්වීමකි. “…ඉස්ලාම් දහමට අනුව හඳ උත්තරීතර වස්තුවකි, එහි දෙවියන්ගේ වාසස්ථානය ඇති බව ඔවුන්ගේ පිලිගැනීම වේ…” බලන්න ලංකාවේ ජනප්‍රිය පුවත්පතක් පවසන දෑ රටේ වගකීමක් ඇති මාධ්‍යයන් ක්‍රියා කරන ආකාරය බලන්න. මෙම ලිපිය ලියන්නා විෂය පිලිබදව අවබෝධයකින් තොරව ලිව්වත් මෙම පුවත්පතේ කතෘට ඇයි වගකීමක් නැත්තේ මේ පිලිබදව සොයා බලන්න. ඒ ගැන මා මීට වඩා කිසිවක් පවසන්නට උත්සාහ කරන්නේ නැහැ. මොකද ඉස්ලාමීයට එරෙහිව ශ්‍රී ලාංකීය මාධ්‍ය සදාචාරය මා මීට පෙරත් කිහිප අවස්ථාවක මෙම වෙබ් අඩවිය තුල කරැණු සහිතව කථාකර ඇති නිසාය. නැවතත් මාතෘක‍ාව දෙස යොමු වුණේ නම්, මේ ආකාරයට හද බැලීම සම්බන්ධයෙන් මුස්ලීම් සමාජය තුල ඉහත ආකාරයේ වූ මතයක් නිර්මාණය වීමට හේතුව දැන් ඔබට පැහැදිලි වනු ඇත. එසේම ඉස්ලාමීය දින දර්ශනයට අනුව මාසය නිර්ණය කිරීම හද පදනම් කරගෙන සිදුවන නිසා එම මාසයට දින 29ක් හෝ 30 යන්න ද පැහැදිලිය. මෙහිදී මුස්ලීම් සමාජයට අවධාරණය කලයුතු කාරණයක් ඇත. එනම් වර්ථමාන මුස්ලීම් සමාජයේ සමහරක් පිරිස් උපවාසය ආරම්භ කිරීමටත්, අවුරුදු උත්සව දිනය තීරණය කිරීමටත් පමණක් මෙම හඳ බැලීම පුරැද්දක් කරගෙන සිටී. මෙය සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියා පිලිවෙතකි. ඉස්ලාමීය මාසයේ දින වැදගත් වන්නේ ඉහත කාරණා දෙකට පමණක් නොවේ. මුස්ලීම් සමාජයේ ඉස්ලාමීය නීතිරීති අනුගමනය කිරීමේදීත් මෙය වැදගත්‍ වේ. නිදසුක් ලෙස ඉස්ලාම් “ඉද්දා” කාලය නිර්ණය කිරීමේ දී එය නිර්ණය කලයුත්තේ චන්ද්‍ර මාසයට අනුව මිස ජාත්‍යන්තර දින දර්ශකයට අනුව නොවේ. එම නිසා මෙම කාරණය එනම් සෑම මසකම නව සඳ බැලීම පිලිබදව මුස්ලීම් සමාජය හොද අවබෝධයකින් පසුවිය යුතුය. වර්ෂය මෙය තමා අපගේ මාතෘකාවේ ප්‍රධාන කොටස. ඒ ඉස්ලාමීය දින දර්ශකයට අනුව වර්ෂය නිර්ණය කරන්නේ කෙසේද? යන්නයි. ජාත්‍යන්තර දින දර්ශනයට අනුව දින 28, 29, 30 හෝ 31 ක් මාසයක් ලෙසත් මාස 12 ක් වර්ෂයක් ලෙසත් හැදින්වේ. ජාත්‍යන්තර දින දර්ශනයට අනුව වර්ෂය මාස 12 ක් පදනම් කරගෙන නිර්ණය කරන විට ඉස්ලාම් දහම ද ශුද්ධ වූ කුර්ආනයේ (9-36) වාක්‍යය මඟින් වර්ෂයකට මාස ‍12 ක් යන්න මීට වසර 1400 කට පෙරම පහත ආකාරයට අවධාරනය කැයි, එනම්, “අහස හා පොලොව මැවූ දා පටන් අල්ලාහ් (දෙවියන්) හමුවේ (වර්ෂයකට) මාස ගනන 12 කි” ඉහත කුර්ආන් වාක්‍යයට අනුව ඉස්ලාමීය වර්ෂයටත් මාස 12 ක් යන්න පැහැදිලිය. එපමණක් නොව එම මාස 12 සදහා නම් 12 ක් ද ඉස්ලාම් මුස්ලීම් සමාජයට හදුන්වා දී ඇත. එය පිලිවලට පහත ආකාරයට වේ. මුහර්රම් මාස සෆර් මාස රබියුල් අව්වල් මාස රබියුල් ආහ්ර් මාස ජමාතුල් අව්වල් මාස ජමාතුල් ආහ්ර් මාස රජබ් මාස ශහ්බාන් මාස රමලාන් මාස ශව්වාල් මාස දුල්කහ්දා මාස දුල්හජ් මාස මේ ආකාරයට මාස 12 ක් ඉස්ලාම් හදුන්වා දුන්නත් මෙහි ඇති ගැටළුව නම් ඉස්ලාමීය වර්ෂයකට දින කීයක් අයත් වෙනවාද? යන්නයි. මෙම ගැටළුවට මා ඉහතින් සදහන් කලා සේ පැහැදිලි පිලිතුරක් සොයාගත ‍නොහැකි වුවත් එය පිලිබදව දළ අවබෝධයක් ගබාගත හැක. එනම්, ඉස්ලාමීය දින දර්ශනයට අනුව මාසයකට උපරිම දින 30කි. වර්ෂය තුල සෑම මාසයක්ම දින 30න් අවසන් වුවා යයි උපකල්පනය කලේ නම්, වර්ෂයට දින 30 x 12 = 360 ඉස්ලාමීය දින දර්ශනයට අනුව මාසයකට අවම දින 29කි. වර්ෂය තුල සෑම මාසයක්ම දින 29න් අවසන් වුවා යයි උපකල්පනය කලේ නම්, වර්ෂයට දින 29 x 12 = 348 ඉහත ගනනය කිරීමට අනුව පැහැදිලි ලෙස එක් කාරණයක් සදහන් කල හැක. එනම් වර්ථමානයේ ජාත්‍යන්තරය තුල භාවිතා කරන වර්ෂයකට දින 365 යන්න ඉස්ලාමීය දින දර්ශනය කිසිවිටෙකත් අභිබවා නොයන බවයි. ඒ අනුව ඉස්ලාමීය වර්ෂය ජාත්‍යන්තරය තුල භාවියේ පවතින වර්ෂය (එනම් ක්‍රිස්තු වර්ෂය)ට වඩා අඩු දින ගනනක් පවතින බව පැහැදිලි වේ. දැන් එසේ නම් සැබැවින්ම ඉස්ලාම් පවසන (චන්ද්‍රයා පදනම් කරගත්) වර්ෂය සදහා දින කීයක් තිබෙනවාද? යන්න විමසා බලමු. සුර්යයාට සාපේක්ෂව පෘතිවියේ චලිතය පදනම් කරගෙන දින, මාස හා වර්ෂ වර්ථමානයේ තීරණය වුවද ඉස්ලාමීය දිනය, මාසය හා වර්ෂය තීරණය වන්නේ සුර්යයාට සාපේක්ෂව පෘථිවිය හා චන්ද්‍රයාගේ චලිතය පදනම් කරගෙනය. ඒ අනුව පෘථිවිය වටා චන්ද්‍රයා ගමන් කිරීමට ගතවන කාලය චන්ද්‍ර මාසය හෙවත් ඉස්ලාමීය මාසයක් ලෙස හැදින්වේ. මේ සදහා ගතවන කාලය වර්ථමාන ගනනය කිරීමන්ට අනුව දින 29 යි පැය 12 යි විනාඩි 44 ක් වේ. ඉහත සදහන් (9-36) ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයට අනුව වර්ෂයකට මාස 12 ක් නිසා වර්ෂයකට දින ගනන වන්නේ මසක අයත් කාලය – දින 29 පැය 12 විනාඩි 44 යි ආසන්න වශයෙන් – දින 29.5 වර්ෂයකට අයත් දින – 29.5 x 12 = 354 ඉහත ගනනය කිරීමට අනුව ඉස්ලාමීය දින දර්ශනයේ වර්ෂයකට අයත් දින ගනන වන්නේ දින 354කි. එය වර්ථමාන දින දර්ශනයට (දින 365) අනුව පවතින දින ගනන හා සලකන විට දින 11 ක වෙනසකි. මේ අනුව ඉස්ලාමීය වර්ෂය හා ක්‍රිස්තු වර්ෂය අතර දින ගනනාවක පරතරයක් පවතින බව පැහැදිලි වේ. මෙම ස්ථානයේ දී පාඨක ඔබේ අවධානය සදහා ඉහත විෂයට අදාලව ශුද්ධ වූ කුර්ආනය පවසන හෙලිදරව්වක් සදහන් කිරීමට කැමැත්තෙමි. එනම්, ශුද්ධ වූ කුර්ආනයේ 18 වන පරිච්ඡේදයේ අතීතයේ ගුහාවක සැඟවුණු එක්තරා කන්ඩායමක් පිලිබදව දීර්ඝ විස්තරයක් පවසයි. (එම පරිච්චේදය කියවන්නේ නම් මෙහි සදහන් කාරණය වඩාත් හොදින් අවබෝධකර ගන්නට හැකිවනු ඇත) එම පරිච්චේදයේ එක්තරා ස්ථානයක ඔවුන් එම ගුහාව තුල රැදීසිටී කාලය පිලිබද පැවසීමේ දී ශුද්ධ වූ කුර්ආනය 18-25 මෙසේ පවසයි, “ඔවුන් තම ගුහාව තුල වසර 300 ක් හා තවත් වසර 09 ක් රැදී සිටියේය.” ඉහත කුර්ආන් වාක්‍යය බැලූවිට පැහැදිලි වන්නේ ඔවුන් (එම පිරිස) වසර 309 ක් එහි රැදීසිට ඇති බව පමණකි. නමුත් අල්ලාහ් (දෙවියන්) එය තුන්සීය නවයක් යයි නොපවසා වසර තුන්සීයකතුත් තවත් වසර නවයකුත් යනුවෙන් වෙන් කොට පැවසීම බුද්ධිමත් අවධානයට ගතයුතු කාරණයක් වන්නේ අල්ලාහ් (දෙවියන්) කිසිදු වාක්‍යයක් වුවද ශුද්ධ වූ කුර්ආනයේ අනවශ්‍ය ලෙස නොපවසන බැවිණි. දැන් එම වාක්‍යයෙන් පවසන කාරණය වෙත අවධානය යොමු කරමු. ඉහත 18-25 හි ශුද්ධ වු කුර්ආනයේ පවසන කාලය පහත ආකාරයට ගනනය කරමු. වසර 300 යන්න ඉස්ලාමීය දින දර්ශනයට අනුව සැලකූවිට (ඉහත ගනනය කිරීමන්ට අනුව) සෑම වසරකටම දින 11 ක වෙනසක් පවතින නිසා වසර 300 සදහාම ඇති වන මුළු වෙනස (300 x 11 අනුව) දින 3300 වේ. සූර්යයා පදනම් කරගත් වර්ථමාන දින දර්ශනයට වර්ෂයකට අයත් කාලය වන්නේ ආසන්න වශයෙන් දින 365 යි පැය 5 යි විනාඩි 48 යන්නයි. පැය 5 යි විනාඩි 48 යන්න දින බවට පරවර්ථනය කලේනම්, ඉහත කාලය විනාඩිවලට පරිවර්තනය කිරීම (පැය 5 x 60) + 48 = විනාඩි 348 ඉහත කාලය දින බවට පරිවර්තනය කිරීම විනාඩි 348 / 1440 (දිනකට ඇති විනාඩි ගනන) = 0.241666666666 මෙය ආසන්න වශයෙන් 0.24 වේ ඉහත ගනනය කිරීමට අනුව වර්ථමානයේ භාවිතයේ පවතින වර්ෂයකට අයත් දින ගනන වන්නේ 365 + 0.24 = 365.24 යන්නයි. දැන් ඉස්ලාමීය දින දර්ශනයට අනුව වසර 300 සැලකීමේ දී වැඩි වන දින (3300) ගනන වර්ථමාන ජාත්‍යන්තරයේ භාවිතයේ පවතින දින දර්ශනයට අනුව ගනනය කලේනම්, 3300 / 365.24 = 9.0351 එය ආසන්න වශයෙන් වසර 9 කි. ඉහත සදහන් කාරණය සාරාංශ කොට පවසන්නේ නම්, “ඔවුන් ගුහාව තුල රැදීසිටී කාලය ඉස්ලාමීය දින දර්ශනයට අනුව වසර 309 ක් වුවද වර්තමාන ජාත්‍යන්තර දින දර්ශනයට අනුව එය වසර 300 ක් යන්නයි” ඉහත 18-25 වක්‍යය පිලිබදව බුද්ධිමත් මෙන්ම මධ්‍යස්ථව අවධානය යොමු කරන ඕනෑම කෙනෙකුහට අල්ලාහ් (දෙවියන්)ගේ අසම සම ඥානය එනම් අතීතය වර්ථමානය හා අනාගතය පිලිබදව පවතින පුර්ණ ඥානය පහසුවෙන් අවබෝධ කරගත හැකි වනු ඇත. එපමණක් නොව මීට වසර 1400 කට පෙර මුහම්මද් (සල්) තුමාණන් මඟින් සමාජයට ප්‍රකාශ වූ මෙම කුර්ආනය තුල ඉහත සංකීර්ණ ගනනය කිරීම් තුලින් අද අපට අවබෝධ කරදෙන කරැණු එදා සමාජය තුල එතුමාණන් ප්‍රකාශ කිරීම මඟින් එය එතුමාණන්ගේ කල්පිතයක් නොවන බවද පැහැදිලි වනවා නොවේද? (මෙවැනි කරුණු මෙම අඩවිය තුල මීට පෙර ද ඉදිරිපත් කොට ඇත.) මාතෘකාවට නැවතත් අවධානය යොමු කලේනම්, දැන් ඉස්ලාමීය දින දර්ශනය හා වර්ථමානයේ ලොව භාවිතා වන දින දර්ශනය අතර ඇති වෙනස මානව ඔබට පැහැදිලි වනුඇත. නමුත් එහි ප්‍රශ්නයක් ද ඉතිරිව ඇත. ඒ වර්ථමාන ලොව පිලිගෙන සිටින දින දර්ශනය “ක්‍රිස්තු වර්ෂ” නමින් යේසුස් තුමාගේ උපත පදනම් කරගෙන හදුන්වයි. ඒ අනුව මේ ගෙවී යන්නේ ක්‍රිස්තු වර්ෂ 2010 යි. ඒ ආකාරයට ඉස්ලාමීය දින දර්ශනය සදහා නමක් තිබෙනවාද? එය කුමක් පදනම් කරගෙන නිර්මාණය වී තිබෙනවාද? යන්න ඒ ප්‍රශ්නයයි. මෙම කාරණය ද නිවරැදි ලෙස අවබෝධ කරගැනීම තුලින් ඉහත මාතෘකාව වඩාත් හොදින් අවබෝධ කරගැනීමට පිටුවහලක් වනු ඇත. ඉහත සදහන් ආකාරයට මුස්ලීම්වරැන් සදහා ආවේනික වර්ෂ නම් කිරීමක අවශ්‍යතාවයක් මුහම්මද් (සල්) තුමාණන්ගේ අභාවය දක්වා මුස්ලීම් සමාජයට පැවතුණේ නැත. එම නිසා සමාජයේ සුවිශේෂි සිදුවීමන් පදනම් කරගෙන ඒ ඒ වර්ෂයන් නම් කරන ලදී. උද‍ාහර්ණයකට වරක් “කව්බාව” (ශුද්ධ වූ දේවස්ථානය) විනාශ කිරීමට ඇත් සේනාවක් පැමිණීම හේතුකොට ගෙන එතැන් පටන් ඉදිරි වර්ෂ “ඇත් වර්ෂ” යනුවෙන් හදුන්වන ලදී. ඒ අනුව මුහම්මද් (සල්) තුමාණන් උපදින්නේ 01 වැනි ඇත් වර්ෂයේදීය. මේ ආකාරයට වර්ෂය ගනනය කිරීම පැවතආවද මුහම්මද් (සල්) තුමාණන්ගේ අභාවයෙන් පසු තෙවන පාලකයා ව උමර් (රලි) තුමා‍ෙග් කාලයේ මුස්ලීම් සමාජයෙන් “මුස්ලීම්වරැන් සදහා වූ දින දර්ශනයක් අවශ්‍යයි” යන අදහස් ඉදිරිපත් වන්නට වි‍ය. ඒ සදහා විවිධ යෝජනා ද ඉදිරිපත් වන්නට විය. ඉන් කිහිපයක් සදහන් කරන්නේ නම්, මුහම්මද් (සල්) තුමාගේ උපත පදනම් කරගෙන එතැන් පටන් ගනනය කිරීම. මුහම්මද් (සල්) තුමාණන්ගේ අභාවය පදනම් කරගෙන එතැන් පටන් ගනනය කිරීම. මුහම්මද් (සල්) තුමාණන් අල්ලාහ් (දෙවියන්)ගේ දූතයා බවට පත්වූ සිදුවීම් පදනම් කරගෙන එතැන් පටන් වර්ෂය ගනනය කිරීම. මුහම්මද් (සල්) තුමාණන් තම උපන් බිම අතහැර ඉස්ලාම් විරෝධීන්ගෙන් දිවි බේරාගෙන මක්කාවේ සිට මදීනාවට පලාගිය සිදුවීම පදනම් කරගෙන එතැන් පටන් වර්ෂය ගනනය කිරීම. මේ ආකාරයට යෝජනා විශාල සංඛ්‍යාවක් අතුරින් අවසානයේ දී “මුහම්මද් (සල්) තුමාණන් තම උපන් බිම අතහැර ඉස්ලාම් විරෝධීන්ගෙන් දිවි බේරාගෙන මක්කාවේ සිට මදීනාවට පලාගිය සිදුවීම පදනම් කරගෙන එතැන් පටන් ගනනය කිරීම” යන්න තීන්දු විය. මෙයට විශේෂ හේතුවක් ඇත. ඒ ඉස්ලාමීය ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක් ලෙස මුහම්මද් (සල්) තුමාණන් තම උපන් බිම වන මක්කාව අතහැර මදීනාවට පලායාම සදහන් කල හැක. මෙය අරාබි භාෂාවෙන් “හිජ්රත්” යයි පවසයි. මෙය මුස්ලීම් සමාජය මුහුණපෑ අවාසනාවන්ත එසේත් නැත්නම් පරාජිත අවස්ථාවක් ලෙස පෙනුනද මෙම ගමන තුල ඉස්ලාම් දහමට යලි කිසිදු දිනක විනාශකල නොහැකි ස්ථාවරයක් හිමිවිය. (මේ පිලිබදව ‍ඉදිරියේ දී දීර්ඝ ලෙස කථා කිරීමට අදහස් කරමි) මේ නිසා එම අවස්ථාව පදනම් කරගෙන ඉස්ලාමීය දින දර්ශනය සැකසීම ඇරඹුණි. ඒ අනුව මුස්ලීම්වරැන් වර්ෂය නම් කරන ලද්දේ “හිජ්රි” යනුවෙන් වන අතර ප්‍රථම වර්ෂය හිජ්රි 01 යනුවෙන් නම් කරන ලදී. ඒ අනුව මේ ආරම්භ වී ඇත්තේ හිජ්රි 1432 වන වර්ෂයයි. එසේම ඉස්ලාමීය ක්‍රමයට වසරේ මුල් මාසය “මුහර්රම්” නම් මාසය වන නිසාත් ඉස්ලාමීය වන වසර එනම් හිජ්රි 1432 මුහර්රම් මාස 01 වන දිනයෙන් ආරම්භ වේ. ඒ අනුව වර්ථමාන ජාත්‍යන්තර දින දර්ශනයට අනුව 2010 දෙසැම්බර් මස 07 වන දින එම දිනය ඇරඹූ නිසා මේ උදා වී ඇත්තේ මුස්ලීම් සමාජයේ නව වසරයි. නමුත් ඉස්ලාම් නව වර්ෂයක උදාව වෙනුවෙන් කිසිදු ආකාරයක විශේෂිත ක්‍රියාවක් හෝ උත්සවාකාර සැමරැමක් පෙන්වා දී නැත. මා එසේ පවසන්නට හේතුව නව වසරක උදාව පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය නම් එය “තවත් දිනයක් හෝ වසරක අවසානයක් මිස සැමරිය යුතු දිනයක් නොවේ” යන්නයි. එය ඉහත දෙසැම්බර් 07 දින ලොවපුරා සිටින මුස්ලීම් ජනත‍ාව මුහර්රම් 01 දින (2010 දෙසැම්බර් මස 07 වැනිදා) නොසැමරීම තුල මනාව පිලිඹිබු වේ. එසේ තිබිය දී ජාත්‍යන්තර වශයෙන් පිලිගැනෙන යේසූස් තුමාගේ උපත පදනම් කරගත් නව වසර උදාව අනිකුත් සමාජයන් හා උත්සවාකාරයෙන් සැමරීම ඉස්ලාම් මුස්ලීම් සමාජයට පෙන්වා නොදෙන වැරදි ආදර්ශයක් යන්න පමණක් අවසාන වශයෙන් නැවත නැවතත් සිහි කරමින් මෙම ලිපිය අවසන් කරමි.

අබූ අර්ශද්

Related Post