මා පසු කළ ගමන් මග නැවත හැරී බැලූවෙමි Look at the past way of life

මිනිසාෙග් ජීවිතය

ජීවිතය නැවත හැරී බලමු

සිංහල මව් පිය දෙපලකට දාව උපන් මා කුඩා කලම අම්මාටත් තාත්තාටත් කරදර දුන් කෙල්ලෙකි.සහෝදරයින් දෙදෙනෙකු හා සහෝදරියන් දෙදෙනෙකු සමග ඉතා සතුටින් දුප්පත් ජීවිතයක් ගත කළෙමි.එදා වේල කෑමට පවා නොතිබුණු අපහට,අම්මා ගෙදරක වැඩක් කරගෙන එන බත් පත කෑ වාර අනන්තය.කුඩාවට තිබූ මැටි බිත්ති නිවස අපි සිව් දෙනාගේ මාලිගය විය.කන්න නැතත් අපි සතුටින් ජීවත් වුනෙමු.එකෙසේ උපන් බව කට පිරෙන්නට අම්මා ගුටි බැට දුන්නාය.ඒ කිසිවකට නොවේ පාසල් යන්නත් දත් මදින්නටත්ය.නිවසේ සැර වැඩිම දරුවා මා බව හමෝම කියන්නට ගත්තේ මාගේ ක‍්‍රියාවන් නිසා විය හැකිය.මා කිසිවෙකුට බිය වූයේ නැත.කරන හැම වැඩම පිරිසිදුවට කිරීමට මා ආසා කලෙමි.නිවසේ අපි සැවොම දිනෙන් දින වැඩිවියට පිය නැගුවද දුප්පත්කම එතැනම විය.මා හට එය සුපුරුදු දෙයක් බවට පත්වී තිබුණි.වසර 12 වන විට මා මරණය ලඟට ගොස් නැවත පැමිණි අයෙක්මි.මලේරියා උවදුර මා සිව් වරක් වෙලා ගත්තේය.මේ සෑම විටම මාගේ පිහිට මාගේ රත්තරං අම්මා විය.උසස් අධ්‍යාපනය හදාරා විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට වරම් ලද මා හට මාගේ අම්මා සියළු වියදම් සපයා දුන්නාය.
මාගේ සොහොයුරන් අධ්‍යාපනය හදාරා අයෙක් ගුවන් හමුදාවේද අයෙක් ව්‍යාපාරික ලෝකයේද නම් දිනා සිටිති.මාගේ එක් සොහොයුරියක් අද මා මෙන් ගුරුවරියක්ව සිටී.අපි සැවොම ඉතාමත් දුක් බරව දිවි ගෙවා මෙතැනට ලඟා වූවත් අප සැමගේ වීරයා හා ශක්තිය අපගේ අම්මා විය.නිවසේ සැමට වඩා මා අම්මාටත් අම්මා මටත් බැඳී සිටී.එය අදටත් එසේම වී තිබේ.
කුඩා කල සිටම මා අන් අයට වඩා වෙනස් චරිතයක් වූයෙමි.ඉතාම ඉක්මනින් කේන්ති යන මා හට එය පාලනය කරගත නොහැකි තත්ත්වයට වර්ධනය වූ අවස්ථා එමටය.මා,මාගේ අධ්‍යාපනය හදාරන අවධියේ මාගේ මව නගරයේ ආයුර්වේද බෙහෙත් සාප්පුවක් දමා තිබිණි.පන්ති ගොස් අම්මාගේ ආයුර්වේදයට පැමිණෙන මා සවස් වනතෙක් ඇය සමග කාලය ගත කර දෙදෙනාම සවසට නිවසට යමු.අම්මාගේ ආයුර්වේදයට පැමිණෙන වැඩි පිරිස මුස්ලිම් අය විය.අම්මා ඔවුන් සමග ඉතාම මිත‍්‍රශීලීය.ඔවුන්ද අම්මට එතරම් ඇලූම් කළෝය.කාල වර්ණ ඇඳුමින් සැරසුනු කාන්තාවන් දකින මා හට කුමක්දෝ හැඟීමක් සිතට වැටිණි.ෆර්දා ඇඳ සිටින ඔවුන් විටක මාගේ සිත ගැඹුරු ප‍්‍රශ්නයකට ඇද දැමුවෝය.දිනක් අම්මා මා හට පුවත් පත් ලිපියක් ගෙනත් දුන්නාය.එය හබායා සහ ඉස්ලාම් පිළිබඳව විය.මා එය කියවා නැවත මවට දුන් අතර,එය මාගේ ජීවිතයේ ලොකු වෙනසක් නොකළේය.
මා පුරුදු වී සිටි දෙයක් තිබිණි.එනම්,විභාගයක් හෝ යම් සුභ ක‍්‍රියාවක් කරන විට දෑස පියාගෙන ”මේ ලොව නිර්මාණය කරන ලද කෙනෙක් හෝ බලයක් තිබේ නම් එය මා හට දැන් පිහිට වේවා” කියා පැතීමයි.සෑම දෙයකින්ම මා හට ජය අත්විය.දිනක් මා නිවසේ සිට විශ්ව විද්‍යාලය බලා යන ගමනේ බසයට නැගී වාඩි වූයෙමි.මා සිටි ස්ථානයට මදක් ඉදිරියෙන් සිටි තරමක් වයස අවුරුදු (60* පමණ අයෙක් කුමක් දෝ දෙයක් (බෙල්ල දෙපසට කරකවන,ඉදිරියට නැමෙන* කරනු මා බලා සිටියෙමි.කුමක් කරන්නේද මා හට වැටහීමක් නොවුණි.ජනේලයෙන් ඉවත බලා ගත් මා ගැඹුරු කල්පනාවකට වැටුණි.මා පසු කර යන ගස්වැල් අහස් ගංගා දෙස බලන මා හට මේවා මෙලෙස හදන්නේ බලය දෙන්නේ කවුද? කොහෙන්ද? වැනි ප‍්‍රශ්න හිතට නැගුණි.
මෙලෙස කාරණා කීපයකට කරුණු සොයමින් සිටි මා හට පිළිතුරු ලැබුණි.සුබ්හානල්ලාහ්,මා සතුටු වෙමි.ඉතාමත් සතුටු වෙමි.මා හැඳින ගතිමි.එකිනෙකට පටලැවී තිබූ නූල් බෝලයේ පොට මා පාදා ගතිමි.මාගේ අම්මාගේ යෙහෙළියක් විය.ඇයගේ නිවස මට සුපුරුදු තැනක් විය.මා එහි යන විට ෂල්වාර් අඳින්නට හුරු වුනෙමි.මවගේ යෙහෙළියගේ පුතා මාගේ අම්මාට ඉතාමත් ආදරෙන් සැලකුවේය.ඔහු ඉතාමත් යහපත් ගති ඇත්තෙක් විය.මුණ ගැසෙන හැම විට අප හට ඉස්ලාමය කියා දුන්නේය.මා ද ඔහුගේ කතාව ප‍්‍රිය කළෙමි.ඔහු කියා දුන් ධර්මය අද මාගේ සිතේ ගැඹුරේ වී සිටී.මා හට සත්‍ය තේරුම් ගැනීමට හැකිවිය.ෆර්දා ඇඳ හබායා ඇඳ සිටින අයට මා ගරු කළෙමි.එලෙස මා විශ්වාස කළ බලවේගය,ලොව හිමිකරුවා වෙන කිසිවෙක් නොව අල්ලාහ් බව හැඳින ගතිමි.මා බසයේ යන විට වයසක අයෙකු සිදු කරමින් ගියේ කුමක් දැයි දැන ගතිමි.ඔහු සලාතය ඉටු කර ඇති බව මම දැන් දනිමි.මා මිය ගියෙමි.ඒ මා නොව මාගේ අතීතයයි,මා නැවත ඉපදී සිටිමි.එතැන් සිට මාගේ චරිතය වෙනස් වන්නට විය.මාගේ යහළුවන් මා හට සිනාසීමට පටන් ගෙනය.විශ්ව විද්‍යාලය තුළ,නේවාසිකාගාරය තුළ මාගේ ශබ්දය ටිකක් අඩු විය.මෙය මාගේ ජීවිතයේ ලද ලොකුම සතුටයි.සිතින් මෙන්ම ගතින් ද මා වෙනස් වන්නට පටන් ගතිමි.ෂල්වාර් ඇඳීමට පටන් ගත් මා හට ගෙදර අයද සිනාසූහ.නමුත් මා එ්වා කනකට නොගත්තෙමි.
මා හට ඉස්ලාම්හි නියම අරුත වටහා ගැනීමට මග පෙන්වූයේ මාගේ මවගේ යෙහෙළියගේ පුතාය.මා ඉතාමත් කැමැත්තෙන් එය ඇසීමට ඉදිරිපත් වුනෙමි.ඔහුගේ කතා ප‍්‍රීය කළෙමි.ඔහුගේ නිවසේ ඇයගේ ඇසුර ප‍්‍රිය කළෙමි.ඔවුන්ගේ සංස්කෘතියට ගරු කළෙමි.අල්ලාහ්,මා හට මග පෙන්වීමට කාෆිර් වූ මා මුස්ලිම් කිරීමට එවා ඇති අයෙක් ලෙස මා හට ඔහු පෙනුණි.කාලය ගෙවී ගියේය.මා මාගේ සිත සදා ගත්තෙමි.කුමක් කිරීමටද? අල්ලාහ්ගේ මාර්ගයේ යෑමට;මා එය මවගේ යෙහෙළියගේ පුත‍්‍රයා හට පැවසීමි.ඔහු ඉතා සතුටින් මා හට උදව් ලබා දුනි.මා,මාගේ මවට ඒ බව පැවසූ විට ඇය බියට පත්විය.මාගේ පියා ගමේ සැමගේ සිත දිනා සිටින අයෙකි.මෙම සිද්ධියෙන් කුමක් සිදුවේ දැයි ඔහු බිය විය.මා බිය නොවුනෙමි.මා ශුද්ධ වූ ඉස්ලාමය වැළඳ ගතිමි.සිත නිදහස් විය.කිසිවෙකුට මා බිය නොවෙමි,අල්ලාහ්ට හැර.ඔහුට පමණි මා බිය බැති වන්නේ.ඉස්ලාමය වැළඳ ගත් මා,ආගම ධර්මය රකින හොඳ ස්වාමියෙකුද ලදිමි.ඔහු අන් කිසිවෙකු නොව,මා හට ධර්මය කියා දුන් මවගේ යෙහෙළියගේ පුතාය.
අද අපි දෙදෙනා අල්ලාහ්ගේ නාමයෙන් ඉතාම සතුටින් දිවි ගෙවමු.මා දැන් දෙදරු මවකි.ඔවුන්ද නියම ඉස්ලාම් භක්තිකයන් කිරීම මාගේ එකම පැතුමයි.අල්ලාහ් මා හට මාර්ගය පෙන්වා දුන්නා.දැන් අල්ලාහ් වෙනුවෙන් කැපවී අවසන්.ඉස්ලාමය වෙනුවෙන් පණ පිදීමට මා දැන් සූදානම් වී සිටිමි.එය මට සතුටකි.ඉස්ලාමය පිළිබඳව මා ගැඹුරට නොදිනිමි.නමුත්,මා දැනට ලබා ඇති දැනුම මාගේ ජීවිතයටත් තව අයෙකුට ඉස්ලාමය කියා දීමටත් ප‍්‍රමාණවත්ය.නමුත්,මා ඉදිරියේ සැමදේ උගනිමි.අල්ලාහ් මා හට මාර්ගය පෙන්වා දී ඇත.අවසන් ගමන යා යුත්තේ මාය.එය මා කෙසේ හෝ යමි.
දැනට රජයේ රැුකියාවක් කරන මා හට පැමිණි බාධක අනන්තය.අදටත් එය එලෙසය.නමුත් මා දුක් නොවෙමි.කාල වර්ණ හබායා ඇඳ සිටින මා දකින බොහෝ අය මා හට යකෙක් මෙන් කලූ ඇඳ ඔලූව වසා ඉන්නවා යැයි බැන වදී.නමුත් මා දුක් නොවෙමි.දැන් සැමදේ මට ලැබී අවසන්.කිසිවෙකුට මා බිය නොවෙමි.
අල්ලාහ්ගේ ධර්මය අපි සැමටම විවෘතයි.එය කරා අප ගමන් කළ යුතුය.මා හට මෙතැනට එන්නට මග සැලසූ මගේ සැමියාටත් මවටත් අල්ලාහ්ගේ පිහිට ලැබේවායි පතමි.මාගේ සහෝදර සහෝදරියන් අදටත් මා සමග මිත‍්‍රව සිටිති.නමුත් සෙසු නෑදෑයින් කිසිවෙකු මාද මගේ සැමියා සහ දරුවන් පිළිගන්නේද නැත.එය මට දුකට කරුණක් නොවේ.
දැන් මා මාගේ යෙහෙළියන් හට මවට පියාට ඉස්ලාම් කියා දෙමි.ඔවුහු ඒවා ඇසීමට ප‍්‍රිය කරති.මා ලද සැනසුම ඔවුන්ටද ලඟා කරදීම මාගේ බලාපොරොත්තුවයි.
සමාජයේ ලද ගැටළු දෙස බලන විට මා තරම් ගැටළු වලට මුහුණ දුන් අයෙක් සිටී දැයි විටක මට සිතේ.අදටත් මුහුණපාණ ගැටළු කොපමණ දැයි කිව නොහැකිය.සමහර විට අපගේ මුස්ලිම් සහෝදරියන් ද මාව අපහසුතාවන්ට පත් කරන අවස්ථා තිබේ.දිනක් මුල්සිම් යෙහෙළියක් මා හට භයාන් දේශනාවකට සහභාගි වීමට කථා කළාය.එදින දරු දෙදෙනා අසනීප වී සිටි බැවින් මා හට පැමිණිමට නොහැකි බව මා පැවසීමි.එදින සිට ඇය මා දෙස බලා රවා යන්නට වූවාය.මේ පිළිබඳ මා කනස්සල්ලට පත්වුනෙමි.මෙවැනි දේ මා වැන්වුන්ගේ සිත් බිඳීමට හේතු විය.මෙය මා සිත්තැවුලට පත් වූ තවත් කරුණකි.තවත් අත්දැකීමක් මා මෙලෙස සටහන් තබන්නෙමි.දිනක් මා දරු දෙදෙනාද සැමියාද සමග පේරාදෙණිය මල් වත්තට ගියෙමි.අපි ගසක් ලඟ ගිමන් හරිමින් සිටින විට මුස්ලිම් සහෝදරියන් දෙදෙනෙකු සහ සහෝදරයින් දෙදෙනෙකු අපි හුන් තැනට නුදුරින් වාඩි වූහ.ටික වේලාවකින් එම සොහොයුරියන් ඇඳ සිටි හබායා ගලවා වර්ණ ෂල්වාර් සමග ඡුායාරූප ගත්හ.මෙය දුටු මා හට දැඩි දුකක් දැනුණි.මා හබායට ඉතාමත් ගරු කරමි.එහි වෙනස් සංස්කෘතීන් දෙකක සිටි මා හට හොඳින් දැනේ.අපි හබායාව ෆර්දාවට ගරු කල යුතුය.එහි වටිනාකම අපි වටහා ගත යුතු වෙමු.මෙවැනි වැරදි කිසි දිනක සිදු වීමට ඉඩ නොතැබිය යුතුය.
මෙය මාගේ සත්‍ය අත්දැකීම් සහ සත්‍ය සිදුවීම් වේ.මා අද ඉතාමත් සතුටින් දිවි ගෙවමි.කුඩා කල බඩගින්නේ සිටි මා දැන් උපවාස එකක් හෝ අතපසු නොකර පිළිපදිමි.එවිට මට කිසිදු කුසගින්නක් නොදැනේ.මා දුප්පත්කමින් ගෙවූ කාලය අද මට ධෛර්්‍යයක් වී තිබේ.ඒ හැම දෙයක්ම මට හොඳ අත්දැකීම් විය.
ඉස්ලාම්වි නැමැති පිවිතුරු ධර්මය රැුකගැනීම අපගේ වගකීමයි.ශුද්ධ වූ අල්කුර්ආනය රැුකගත යුතුයි.අපි අපේ වගකීම ඉටු කරමු.එකා ලෙස නැගී සිටිමු.විටක මට මෙලෙස සිතේ,නැවතත් වසර 33ක් ආපස්සට දුවගොස් මාගේ දෙමාපියන්ද සොහොයුරන්ද සොහොයුරියෝ දෙදෙනාද රැුගෙන ඒමට.අල්ලාහ් සැමට පිහිට වෙත්වා.

‘සහාරා – මාවනැල්ල

Related Post