සලාතය – තක්බීර් තහ්රීමා (prayer)

සලාතය ඉටු කිරීම

සලාතය ඉටු කිරීම ඉස්ලාමෙය් ෙදවනි වගකීමයි

සලාත වෙනුවෙන් නීයත් තියා (සිතින් සිතා) ක:බාව දෙසට හැරී සිට, පළමුවෙන්ම අල්ලාහු අක්බර් කියා කිව යුතු වේ. මෙම පළමු තක්බීරයට (තක්බීර් යනු අල්ලාහු අක්බර් කියා ප‍්‍රකාශ කිරීමයි.) තක්බීර් තහ්රීමා යනුවෙන් කියනු ලැබේ. “ඔබ සලාතය වෙනුවෙන් පරිපූර්ණව වුළු කොට, කිබ්ලා දෙසට හැරී අල්ලාහු අක්බර් කියා  කියන්න” යැයි නබි (සල්) තුමාණෝ පැවසූහ.(බුහාරී : 6667, මුස්ලිම් : 663)

අල්ලාහු අක්බර් කියා තක්බීර් තහ්රීමා පවසා දෙඅත් උරහස දක්වා(සාක්‍ෂි : බුහාරී 735, මුස්ලිම් 638) හෝ කන්දෙකේ පහළ කොටස දක්වා(සාක්‍ෂි : මුස්ලිම් 642) ඉස්සිය යුතුවේ. මෙසේ උස්සන විට අත් දෙකේ ඇඟීලි හකුලා නො ගත යුතුයි. ඇඟීලි දික් කර තබාගත යුතු වේ.

සලාතයේ ආරම්භක දුආව (දුආවුල් ඉස්තිෆ්තාහ්)

අත් දෙක පපුව මත තබාගත් පසු පහත සඳහන දුආ වලින් එකක් පාරායනය කළ යුතුයි.

أَللَّهُمَّ بَاعِدْ بَيْنِي وَبَيْنَ خََََطََايَايَ كَمَا بَاعَدْتَ بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ اَللَّهُمَّ نَقَِّنِيْ مِنَ الْخَطَايَا كَمَا يُنَقَّّى الْثَّوْبُ الأَْبْيَض مِنَ الدَّنَسِ اَللَّهُمَّ اغْسِلْ خَطَايَايَ بِالْمَاءِ وَالثَّّلْجِ وَالْبَرَدِ

අල්ලාහුම්ම බාඉද් බයිනී වබයින හතායාය කමා බාඅද්ත බයිනල් මෂ්රිකි වල් මග්රිබ්. අල්ලාහුම්ම නක්කිනී මිනල් හතායා කමා යුනක්කස් සව්බුල් අබ්යලූ මිනද් දනස්. අල්ලාහුම් මග්සිල් හතායාය බිල් මාඉ වස්සල්ජි වල් බරද්.

අර්ථව : දෙවියනී! නැගෙනහිර හා බස්නාහිර අතර ඔබ විශාල දුරක් ඇති කර ඇති ආකාරයට මා හා මාගේ පාපයන් අතර දුරක් ඇති කරනු මැනව! සුදු වස්ත‍්‍රය කිලිටුවලින් පවිත‍්‍ර කරනු ලබන්නාක් මෙන් මාගේ පාපවලින් මාවත් පවිත‍්‍ර කරනු මැනව! දෙවියනී! ජලයෙන් ද පිණි කැට වලින් ද හිම කැට වලින් ද මාගේ පවි සෝදා හරිනු මැනව!(සාක්‍ෂි : බුහාරී 744)

පහත දුආව ද පාරායනය කළ හැකිය.

وجّهت وجهي للذي فطر السماوات والأرض حنيفا وما أنا من المشركين إنّ صلاتي ونسكي ومحياي ومماتي لله ربّ العالمين لا شريك له وبذلك أمرت وأنا من المسلمين اللهم أنت الملك لا إله إلاّ أنت أنت ربيّ و أنا عبدك ظلمت نفسي واعترفت بذنبي فاغفر لي ذنوبي جميعا إنّه لا يغفر الذّنوب إلاّ أنت واهدني لأحسن الأخلاق لا يهدي لأحسنها إلأّ أنت واصرف عنّي سيّئها لا يصرف عنّي سيّئها إلاّ أنت لبيك و سعديك والخير كلّه في يديك والشّرّ ليس إليك أنا بك وإليك تباركت وتعاليت أستغفرك وأتوب إليك

වජ්ජහ් වජ්හියලිල්ලදී’ ෆතරස් සමාවාති වල්අර්ලි හනීෆන් වමා අන මිනල් මුෂ්රිකීන්. ඉන්න සලාතී වනුසුකී වමහ්යාය වමමාතී ලිල්ලාහි රබ්බිල් ආලමීන්. ලාෂරීකලහු වබිදා’ලික උමිර්තු වඅන මිනල් මුස්ලිමීන්. අල්ලාහුම්ම අන්තල් මලිකු ලා ඉලාහ ඉල්ලා අන්ත අන්ත රබ්බී වඅන අබ්දුක ලලම්තු නෆ්සී වහ්තරෆ්තු බි ද’න්බී වහ්ෆිර්ලී සු’නූබී ජමීආ. ලා යග්ෆිරුස්’ සුනූබ ඉල්ලා අන්ත, වහ්දිනී ලිඅහ්සනිල් අහ්ලාකි යා යහ්දී ලි අහ්සනිහා ඉල්ලා අන්ත. වස්රිෆ් අන්නී සෛයිඅහා ලා යස්රිෆු අන්නී සෛයිඅහා ඉල්ලා අන්ත. ලබ්බයික ව ස:දෛක වල් හයිරු කුල්ලූහූ ෆී යදෛක වෂ්ෂර්රු ලයිස ඉලෛක අන බික වඉලෛක තබාරක්ත වතආලෛත අස්තග්ෆිරුක වඅතූබු ඉලෛක්.

අර්ථය :-

“සම කරන්නෙකු නොවී, අවනත වූවෙකු ලෙස අහස් හා පොළොවෙහි මැවුම්කරුවානන් වෙත මාගේ මුහුණ හැරෙවු වෙමි. මාගේ සලාතයත්, (අනිකුත්) මාගේ වැඳුම් පිඳුම් මාගේ ජීවිතය හා මාගේ මරණය (යන සියල්ල) සකල ලෝකයම මවා පාලනය කරන්නා වූ අල්ලාහ්ටම හිමිය. ඔහුට සමාන වෙන කිසිවෙක් (හෝ කිසිවක්) නොමැත. මා අණ කරණු ලැබ ඇත්තේ මෙසේය. මම අවනත වන්නන්ගෙන් කෙනෙකු වෙමි. දෙවියනී! පාලකයා ඔබයි. ඔබ හැර වෙනත් දෙවිකෙනෙකු නොමැත. ඔබයි මාගේ අධිපති. මම ඔබගේ වහලා වෙමි. මම මටම අපරාධ කර ගත්තෙමි. මම මාගේ වැරදි පිළත්තෙමි. එබැවින් මාගේ සියළු පාප ක්‍ෂමා කරනු මැනව! ඔබට හැර වෙන කිසිවෙකුටත් පව් ක්‍ෂමා කළ නොහැකි ය. මා හට යහගුණ වෙත මගපෙන්වනු මැනව! ඔබට හැර වෙන කිසිවෙකුටත් යහගුණ වෙත මග පෙන්විය නොහැකි ය. මගෙන් අයහපත් ගතිගුණ ඉවත් කරනු මැනව! ඔබට හැර වෙන කිසිවෙකුටත් එය (එම අයහපත් ගතිගුණ) මගෙන් ඉවත් කළ නොහැකිය. මෙන්න! මම පැමිණියෙමි. යහපත් සියල්ල ඔබ අතෙහිය. අයහපත ඔබට හිමි නොවේ. මම ඔබගෙන් උපකාර පතමි. ඔබ වෙත හැරෙන්නෙමි. ඔබ භාග්‍යවන්තයා ය. උත්තම ය ය. ඔබෙන්ම ක්‍ෂමාව අයදිමි. ඔබ වෙතම හැරෙන්නෙමි.” (සාක්‍ෂි : නාසඊ 887, මුස්ලිම් : 1290)

(සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික තබාරකස්මුක වතආලා ජද්දුක වලා ඉලාහ ගයිරුක යන දුආව ඇතැමුන් පාරායනය කරති. නමුත් මෙම දුආව නබි (සල්) තුමාණන් පාරායනසය කළ බවට කිසිඳු සහීහ් වූ හදීසයක් නොමැත.)

ෆාතිහා සූරාව පාරායනය කිරීම

ඉහත සඳහන් දුආවුල් ඉස්තිෆ්තාහ් දෙකෙන් එකක් පාරායනය කිරීමෙන් පසු සූරතුල් ෆාතිහා නැමැති පාරිශුද්ධ කුර්ආනයේ පළමු පරිච්ඡේදය පාරායනය කළ යුතුයි. සූරතුල් ෆාතිහාව පාරායනය නොකරන පුද්ගයාට සලාතය නොමැතැයි නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ කළහ.(සාක්‍ෂි : බුහාරී : 756, මුස්ලිම් : 651) සූරතුග් ෆාතිහාව පාරායනය කිරීමට පෙර අඌදු බිල්ලාහි මිනෂ්ෂෛතාන් නිර්රජීම් أعوذ بِاللّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ (එළවන ලද ෂෛතාන්ගේ උවදුරින් ආරක්‍ෂාව පතමි) යන්න පාරායනය කළ යුතු වේ. අල් කුර්ආනය පාරායනය කරන විට ෂෛතාන්ගේ උවදුරින් ආරක්‍ෂාව පතන මෙන් අල්ලාහ් අපට අණ කර ඇත.(අල් කුර්ආන් 16:98) මෙසේ අඌදු පාරායනය කළ යුත්තේ පළමු රකඅතයේ පමණයි.

අඌදු පාරායනය කිරීමෙන් පසු බිස්ම්ල්ලාහ්ර්රහ්මානිර්රහීම් යන්න පාරායනය කළ යුතුයි. මෙය සූරතුල් ෆාතිහාවේම වාක්‍යයක් නිසා සෑම රකඅතයකදීම මෙය පාරායනය කළ යුතු වේ.

සූරතුල් ෆාතිහාව

بِسْمِ اللّهِ الرَّحْمـَنِ الرَّحِي1.الْحَمْدُ للّهِ رَبِّ الْعَالَمِينَ. الرَّحْمـنِ الرَّحِيمِ.3(مَـالِكِ يَوْمِ الدِّينِ.4(إِيَّاكَ نَعْبُدُ وإِيَّاكَ نَسْتَعِينُ.5(اهدِنَــــا الصِّرَاطَ المُستَقِيمَ.6

صِرَاطَ الَّذِينَ أَنعَمتَ عَلَيهِمْ غَيرِ المَغضُوبِ عَلَيهِمْ وَلاَ الضَّالِّينَ.7

බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්. අර්රහ්මානිර් රහීම්. මාලිකි යව්මිද්දීන්. ඊයා(ක්)ක න:බුදු වඊයා(ක්)ක නස්තඊන්. ඉහ්දිනස් සිරාතල් මුස්තකීම්. සිරාතල්ලසී‘න අන්අම්ත අලෛහිම් ගයිරිල් ම:ලූබි අලෛහිම් වලල්ලාල්ලීන්.

අර්ථය : “අසීමිත කරුණාවන්ත අපරමිත දයාවන්ත අල්ලාහ්ගේ නාමයෙන්… සියළු ප‍්‍රසංශ සකල විශ්වයම (මවා) පාලනය කරන්නා වූ අල්ලාහ්ට ය.(ඔහු) අසීමිත කරුණාවන්තයා ය. අපරමිත දයාවන්තයා ය.(ඔහු) ප‍්‍රතිඵළ දෙන දිනයේ අධිපති ය. (එබැවින්) අපි ඔබවම නමදිමු , ඔබෙන්ම උදව් පතමු. අපට යහමග පෙනවනු මැනව! එය ඔබ කාහට ආශිර්වාද කළේද, ඔවුන්ගේ මාර්ගය යි. ඔවුහු (ඔබගෙන්) කෝපයට භාජනය නොවූ අයයි. තවද මග නොවරදවාගත් අයයි.”

ශබ්ද නගා බිස්මිල්ලාහ් පාරායනය කිරීම

අසර් හා ලූහර් ජමාත් (සමූහ) සලත්වලත් තනියෙන් සලාතය ඉටුකරන විටත් පාරායනය කිරීම් සියල්ල සිදුකරනුයේ නිශ්ශබ්දවයි. ඉෂා, මග්රිබ්, සුබහ්, ජුම්ආ ඊද් වැනි සලාත්  ජමාත් (සමූහ) වශයෙන් ඉටුකරන විට පළමු රකඅත් දෙකේ දී සූරතුල් ෆාතිහාව සහ අනික් සූරාව ඉමාම් විසින් ශබ්ද නගා පාරායනය කළ යුතුයි. මෙසේ පාරායනය කරන අවස්ථාවේදී බිස්මිල්ලාහිර්රහ්මානිර්රහීම් යන්න ඇතැම් දේවස්ථාන වල ශබ්ද නගා පාරායනය කරනු ලබන අතර තවත් දේවස්ථාන වල නිශ්ශබ්දව පාරායනය කිරීම ද දැකිය හැකිය. මේ සම්බන්ධ හදීස් පරිශීලනය කිරීමේදී, මේ දෙආකාරයටම සාක්‍ෂි හදීස්වල දැකිය හැකිය. බොහෝ අවස්ථාවල නබි (සල්) තුමාණෝ නිශශබ්දව බිස්මිල් පාරායනය කර ඇති( සාක්‍ෂි : බුහාරී 743, මුස්ලිම් : 669) අතර ඇතැම් අවස්ථාවල ශබ්ද නගා පාරායනය කිරීමටද සාක්‍ෂි(හාකිම් 1/357)හදීස් වල දැකිය හැක. එබැවින් මේ ආකාර දෙකෙන් කුමන ආකාරය පිළිපැද්දත් එහි වරදක් නොමැත.

ම:මූම්වරු සූරතුල් ෆාතිහා පාරායනය කළ යුතුද?

ජමාත්(සමූහ) සලාතයේ දී ඉමාම් (සලාතය මෙහෙයවන්නා) ශබ්ද නගා පාරායනය කරන විට ම:මූම්වරු(ඉමාම්ව පිළිපදිමින් සලාතය ඉටුකරන අය) ඉමාම්ට සවන් දිය යුතු අතර කිසිවක් පාරායනය නොකළ යුතුය. අල්කුර්ආනය පාරායනය කරනු ලබන විට නිශ්ශබ්දව එයට සවන් දෙන මෙන් අල්ලාහ් අණ කරන සේක.(අල් – කුර්ආන් 7:204). ඉමාම් පාරායනය කරන විට ඔබලා (කිසිවක් පාරායනය නොකර) නිශ්ශබ්දව සිටින්නැයි නබි (සල්)තුමාණෝ ප‍්‍රකාශ කර ඇත.(සාක්‍ෂි : මුස්ලිම් 680). ඉමාම් ශබ්ද නගා පාරායනය නොකරන රකඅත්වල ම:මූම්වරුද ෆාතිහාව සහ තවත් සූරාවක් පාරායනය කළ යුතුය.

ආමීන් කීම

සූරතුල් ෆාතිහාව පාරායනය කර අවසන් වූ විට “ආමීන්” යැයි කිව යුතුයි. ඉමාම් ශබ්ද නගා පාරායනය කරන සලාත්වල සූරතුල් ෆාතිහාව අවසන් වූ විට ඉමාම්ද ම:මූම්වරුද ආමින් කිව යුතුය.”ඉමාම් ගයිරිල් ම:ලූබ් අලෛහිම් වලල්ලාල්ලීන් යැයි පවසන විට ඔබලා ආමීන් යැයි කියන්න. කවර පුද්ගලයාගේ ආමීනය මලාඉකාවරුන්ගේ අමීනයත් සමග සමාන වන්නේද ඔහුගේ පෙර පාප ක්‍ෂමා කරනු ලැබේ” යනුවෙන් නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ කර ඇත.(බුහාරී : 782) ආමීන් කියන විට ශබ්ද නොනගා සෙමින් කීමටත්, ශබ්ද නගා කීමටත් අවසර ඇත. නමුත් නබි (සල්) තුමාණන්ගේ සඟයන් වන සහාභාවරු ආමීන් කියා ඇත්තේ ශබ්ද නගාය.(සාක්‍ෂි : බයිහකී)

කුර්ආනයේ (වෙනත්) සූරා පාරායනය කිරීම

ෆාතිහා සූරාව පාරායනය කිරීමෙන් අනතුරුව පාරිශුද්ධ කුර්ආනයෙන් අපි දන්නා තවත් සූරාවක් (පරිච්ඡේදයක්) හෝ ආයත් (වක්‍යයන්) පාරායනය කළ යුතු වේ. නබි (සල්)තුමාණන් පළමු හා දෙවන රකඅත්වල සෑම විටම සූරතුල් ෆාතිහාවට පසු තවත් සූරාවක් පාරායනය කර ඇත. නමුත් තුන් වන හා හතර වන රකඅත් වල සමහර අවස්ථාවලදී ෆාතිහාවට පසු තවත් සූරාවක් පාරායනය කර ඇති අතර තවත් සමහර අවස්ථාවල ෆාතිහා සූරාව පමණක් පාරායනය කර ඇත.

මෙසේ ෆාතිහා සූරතයට පසු තවත් සූරාවක් පාරායනය කරන විට, සම්පූර්ණ  සූරතයක්(පරිචි‍ෙඡ්දයක්) වුවද පාරායනය කළ හැකිය.එකම රකඅතයේ දී සූරත් කිහිපක් වුවද පාරායනය කළ හැකිය. රකඅත් දෙකෙහිම එකම සූරතය (පරිච්‍ඡේදය) කොටස් වශයෙන් වුවද පාරායනය කළ හැකිය. එකම පරිච්ඡේදය රකඅත් දෙකෙහිම වුවද පාරායනය කළ හැකිය. වාක්‍යයන් ටිකක් වුවද පාරායනය කළ හැකිය. නමුත් පළමු රකඅතයේ දී දෙවන රකඅතයට වඩා වැඩියෙන් පාරායනය කළ යුතු වේ.

ඉබුනු ජෙමීල්

Related Post