ඉස්ලාමීය ව්‍යාපාරය Trade sincere

ෙවළදාම

ෙවළදාම

ව්‍යෘපාර ලෝකයේ සාර්ථක ව්‍යාපාරයක්, පහසුවෙන් මුදල් හම්බ කිරීමක්, අධික ලාභ ඉපයීමක්, සැප පහසු ජීවිතයක්… මේ නූතන සමාජයේ බොහෝ දෙනෙකු නිරන්තරයෙන් අපේක්ෂා කරන  සිහිනයන් මෙන්ම පොදු ඉලක්කයන් ද වේ. එම ඉලක්කයන් ජය ගැනීම සදහා ඔහු  තම ජීවිතය තුල කරණු ලබන අරඟල ද සුළුපටු නොවේ. මේ අරඟලය තුල ‘ලාභය’ පමණක් එකම අරමුණ කරගත් නූතන මිනිසා ඒ තුල අතීතයේ පටන් රුකගෙන ආ අවංකකම, සාධාර්ණය, විශ්වාසය, විනිවිදභාවය… යනාදී යහපත් ගුණාංග අවලංගු කර දමමින් ඒ වෙනුවට වංකකම, අසාධාර්ණය, වංචාව, අවිශ්වාසය… යනාදී දුර්ගුණාංග ආදේශ කරමින් තම ඉලක්කය ජය ගැනීමට අවශ්‍ය පිඹූරුපත් සකසමින් ඇත. මෙවන් අවධියක මෙම විෂය පිලිබදව පුළුල් සංවාදයන් සමාජය තුල ගොඩනැඟීම කාලීන අවශ්‍යතාවයකි. එම අවශ්‍යතාවය කවදත් නිසි ලෙස අවබෝධ කොට ක්‍රියා කරන ‘යහමඟ’ අඩවිය මෙම විෂය පිලිබදව ද මෙහිදී ඉස්ලාමීය විමසුමක් සිදුකිරීමට අදහස් කරමි.
ව්‍යාපාරික ‍ක්ෂේත්‍රය අසීමිත දියුණුවක් ලබා ඇති අවධියක, ලාභ ඉපයීම එකම පරමාර්ථය කරගෙන ඒ තුල විවිධ වූ ව්‍යාපාරික උපක්‍රිම භාවිතා වන වකවානුවක මෙම විෂය පිලිබදව ඉස්ලාමීය විමසුමක් සිදුකිරීමට උනන්දු කරවන  සාධකයක් පසුගිය දිනක යහමඟ අඩවියට වාර්ථා විය. ශ්‍රී ලංකීය සමාජය තුල ක්‍රියාත්මක එම නව ව්‍යාපාරික ක්‍රමය සම්බන්ධයෙන් මුස්ලීම් සමාජයේ අවධානයට කරුණූ කිහිපයක් එනම්, ‘ව්‍යාපාර කටයුතුවල දී මුස්ලීම්වරයෙකු අනුගමනය කලයුතු ක්‍රමවේදයන් හා සැලකිලීමත් වියයුතු කරුණු පිලිබදව ඉස්ලාම් දහමේ විග්‍රහය කුමක් ද?’ යන්න පිලිබදව පැවසිය යුතුව ඇත. ඉස්ලාම් දහම ලොව අනිකුත් දහමන්, දර්ශනයන් මෙන් ලෞකික සැප සම්පත් හම්බකිරීම හා රුස්කිරීම සම්බන්ධයෙන් තහංචි පනවන දහමක් නොවේ. (මේ පිලිබදව මීට ඉහත මෙම අඩවිය තුල ලිපි ගණනාවකින් සාකච්චා කොට ඇත.) එය වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණිස (ඉස්ලාමීය ඉගෙන්වීමන් වන) ශුද්ධ වූ කුර්ආන් පාඨයන් දෙකක් ඔබේ අවධානය ගෙන එන්නේ නම්,
නුඹලා මේ භූමියෙහි විසිරී ගොස් අල්ලාහ් (දෙවි) ලබාදී ඇති භාග්‍යයන් සොයන්න
ශුද්ධ වූ කුර්ආනය 62-10
නුඹලාගේ දෙවියන් ලබාදී ඇති භාග්‍යයන් (වන ධනය) රුස් කිරීම නුඹලා කෙරෙහි වරදක් නොවේ
ශුද්ධ වූ කුර්ආනය 2-198
ඉහත දිව්‍යමය වාක්‍යන් හොදින් විමසා බලන්නේ නම්, එහි පලමු වාක්‍යය මුස්ලීම් සමාජයට හොදට හුරු වූ  වාක්‍යයකි. එනම්, සෑම සිකුරාදා දිනකම දහවල් ‘ජුම්මා’ (නම් මධ්‍යානයේ සියළු මුස්ලීම්වරුන් එක් තැනකට රුස් වී ඉටු කරන) වන්දනයේ දී පාරායනය කරන ‘සූරා ජුම්මා’ හි (එනම් ශුද්ධ වූ කුර්ආනයේ 62 වන පරිච්චේදයේ) එන කුර්ආන් පාඨයකි. සිකුරාදා දින තම ව්‍යාපාර කටයුතු සියල්ල වහා නතර කොට ජුම්මා වන්දනය සදහා පැමිණෙන ලෙස අණ කරන ඉස්ලාම් දහම එම වන්දනය අවසන් වු වහාම ‘නුඹලා මේ භූමියෙහි විසිරී ගොස් අල්ලාහ් (දෙවි) ලබාදී ඇති භාග්‍යයන් සෙයාන්න (62-10)’ යනුවෙන් ලෞකික දිවිය තුල සැප සම්පත්, ධනය රුස්කිරීමට උනන්දු කරවයි. එපමණක් නොව ඉහත 2-198 වාක්‍යය මඟින් ‘නුඹලාගේ දෙවියන් ලබාදී ඇති භාග්‍යයන් (ධනය) රුසකිරීම නුඹලා කෙරෙහි වරදක් නොවේ’ යනුවෙන් ධනය රුස්කීම හා ඒ සදහා උනන්දුවීම මුස්ලීම්වරුන් කෙරෙහි වරදක් නොවන බව ඉස්ලාම් දහම පැහැදිලිවම පවසයි. මෙහිදී විශේෂයෙන් සදහන් කලයුතු කාරණයක් ඇත. එනම් ඉහත 2-198 වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවි) ‘නුඹලාගේ දෙවියන් ලබාදී ඇති භාග්‍යයන් (ධනය) රුසකිරීම නුඹලා කෙරෙහි වරදක් නොවේ’ යනුවෙන් පවසන්නේ ඉස්ලාමීය අනිවාර්‍ය වගකීමක් වන ‘හජ් වන්දනයේ’ නිරතව සිටින මොහොතේ ව්‍යාපාර කටයුතුවල ද නිරත වීම වරදක් නොවන බවයි. මේ සියල්ල තුලින් පැහැදිලි වන්නේ ලෞකික සම්පත් අසීමිත ලෙස රුස්කිරීම සම්බන්ධයෙන් මුස්ලීම් සමාජයට ඉස්ලාම් දහම තුල කිසිදු තහනමක් නොමැති බවයි. නමුත් මෙහිදී සෑම මුස්ලීම්වරයෙකුම අවබෝධ කරගතයුතු කාරණයක් ඇත. එනම් මෙලෙස අසීමිතව ධනය රුස්කිරීම සදහා අවසර ලබාදෙන ඉස්ලාම් දහම ඒ තුල කොන්දේසී කිහිපයක්ද පනවා ඇති බවයි. මෙය වර්ථමාන මුස්ලීම් සමාජය නිසි පරිධි වටහා ගැනීම අතපසු කොට ඇත. ඒ හේතුව නිසාම මෙවැනි ලිපියන් මුස්ලීම් සමාජය මධ්‍යයේ සාකච්චා කිරීමේ අනිවාර්‍ය අවශ්‍යතාවය අද මතු වී ඇත.
ව්‍යාපාරික කටයුතුවල දී අනුගමනය කලයුතු හා සැලකිල්ලට ගතයුතු කරුණු කාරණා බොහෝමයක් ඉස්ලාම් ආදර්ශමත් ලෙස මුස්ලීම් සමාජයට පෙන්වාදේ. එම ආදර්ශයන් තුල කටයුතු කිරීම තුල ජාත්‍යන්තරයේ මෙන්ම ජාතිකතලයේ පවා නොමැකෙන ස්ථානයක් මුස්ලීම්වරුන්ට හිමිව පැවතී බව ඉතිහාසය මනාව කියාපායි. විශේෂයෙන් ලාංකීය ඉතිහාසය තුල පවා සංක්‍රමණික මුස්ලීම් වෙළෙන්දුන් රටේ පාලකයින්ගේ ආකර්ශනය හා විශ්වාසය  දිනා සිටී ආකාරය සදහන්ව තිබීම එයට හොද නිදසුනකි. මෙලෙස ඉතිහාසය තුල නොමැකෙන ස්ථානයක් දිනා සිටී මුස්ලීම්වරුන් කාලයත් සමඟ ඉස්ලාමීය ආදර්ශයන්ගෙන් ඈත්වීමත්, සීමිත කරුණූ කිහිපයකට පමණක් දහම සීමා කිරීමත් යන කරුණූ තුල අතීත මුස්ලීම්වරුන් දිනාදුන් ප්‍රතිරූපයන් වර්ථමාන මුස්ලීම්වරුන් අතින් ගිලිහෙමින් ඇත. වර්ථමාන මුස්ලීම්වරුන් ව්‍යාපාරික ක්ෂේත්‍රය තුල සැලකිලීමත් වන්නේ ‘පොලී’ සම්බන්ධයෙන් පමණක් යන තැනට අද දහම සීමිත රාමුවකට කොටු කොට ඇත. සෑම මුස්ලීම්වරයෙකුම අනිවාර්‍යයෙන්ම ‘‘පොලී’ පිලිබදව දැඩිව සැලකිලීමත් විය යුතුයි’ යන්නෙහි විවාදයක් නැත. මන්ද ඉස්ලාම් එය මහා පාපයන් අතුරින් එකක් ලෙස දකින බැවිණි. ඒ පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීමන් කිහිපයක් ඔබේ අවධානයට ගෙන එන්නේ නම්,
අල්ලාහ් (දෙවි) වෙළදාම හලාල් (අනුමත) කොට ‘පොලී’ හරාම් (තහනම්) කර ඇත. දෙවියන්ගෙන් පැමිණි (‘පොලී නොගත යුතුයි’ යන) අවවාදයට අනුව (එය අත්හැර දමා) ඈත් වුවහොත්, (එයට පෙර ඔහු ලබාගත්) කළින් දැය ඔහුටම අයත්ය. මීට පෙර පොලී ලබාගත් ඔහුගේ කාරණාව අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඇත්තේය. තවද කවුරුන් හෝ (මෙම නියෝගය ලැබුණු) පසුවද (පොළිය ගැනීමට) ඉදිරිපත් වුවහොත්, ඔවුන් අපාවාසීන්ය!, එහි ඔවුන් සදා රුදී සිටිනු ඇත.
ශුද්ධ වූ කුර්ආනය 2-275
පොලිය මඟින් අනුභව කරන්නන්ද, පොලී ‍ගන්නාද, එයට සහය වන්නාද, එයට සාක්ෂි දරණ දෙදෙනාද… යන පිරිසට නබිතුමාණන් ශාප කරන ලදී.
මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්
(වෙනත් හදීසයක මේ පාර්ශවකරුවන් හතරදෙනා වරදින් එක සමාන බව පවසයි)
ඉහත ශුද්ධ වූ කුර්ආන් පාඨය හා ‘හදීසය’ (මුහම්මද් (සල්) තුමාණන්ගේ වදන්) හොදින් විමසා බැලුවේ නම්, ‘පොලී’ ඉස්ලාම් කොතරම් දුරකට තහනම් කර තිබෙනවාද? යන්න පහසුවෙන් අවබෝධ කරගත හැක. ඉස්ලාම් දහම තුල ක්‍රියාවන් 03ක් සදහා මනුෂ්‍යයෙකු හට සදාකල් නිරය හිමිවන බව අවධාරණය කරයි. එනම්,
‘ශිර්ක්’ කිරීම හෙවත් අල්ලාහ් (දෙවි)ට කිසිවක් හෝ කිසිවෙක් සමාන කිරීම,     හේතුවක් නොමැති මනුෂ්‍යයෙකු ඝාතනය කිරීම,     ‘පොලී’ සදහා (ගැනීම, පිරනැමීම, සාකෂිකරුවකු වීම සහා සහයවීම යනාදී) කුමන ආකාරයට හෝ සම්බන්ධ වීම,
මේ අනුව ‘පොලී’ සම්බන්ධයෙන් ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්නත්, මා ඉහතින් එය ‘මහා පාපයක්’ යයි සදහන් කලේ ඇයිද? යන්නත් ඔබට දැන් පැහැදිලි ඇතැයි සිතමි. වර්ථමාන ව්‍යාපාරික ලෝකය ‘පොලී හා ව්‍යාපාරය’ වෙන්කල නොහැකි තරමට ඒ තුල ගිලී ඇති සමාජ පසුබිමක මුස්ලීම්වරුන් ඒ පිලිබදව දැඩිව සැලකිලීමත් වීම සිදුවිය යුත්තකි.
එසේ නමුත් ‘පොලී’ වලින් මුස්ලීම්වරයෙකු ඈත් වූ පමණින් එම ව්‍යාපාරය හෝ වෙළදාම ඉස්ලාම් දහම අනුමත ව්‍යාපාරයක් හෝ වෙළදාමක් බවට පත් නොවේ. අද ව්‍යාපාරික ක්ෂේත්‍රය හා එහි භාවිතා වන ව්‍යාපාරික උපක්‍රම තුල ‘මෙය ඉස්ලාම් දහමට අනුකූලද? අනුකූල නොවේද?’ යන්න පිලිබදව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට නොහැකි තරම් එය සංකීර්ණ වී ඇත. විටෙක ඒ හැකියාව යම්තාක් දුරකට එහි පැවතුනත් ඉස්ලාම් දහමේ ඉගෙන්වීම කුමක්ද? යන්න පිලිබදව ගැඹූරු අධ්‍යනයන් නොකොට ව්‍යාපාරික කටයුතුවල මුස්ලීම්වරුන් තීන්දු තීර්ණ ගැනීම නිසා දැන හෝ නොදැන ඉස්ලාමීය ඉගෙන්වීමන් බොහෝමයකට එරෙහිව ක්‍රියා කරන තැනට මුස්ලීම්වරුන් තල්ලු වී ඇත. මෙවන් පසුබිමක ඉස්ලාමීය ඉගෙන්වීම කරා මුස්ලීම් සමාජයේ අවධානය නැවත වරක් යොමු කිරීම මුස්ලීම්වරුන් කෙරෙහි ඉස්ලාම් දහම අවධාරණය කරන අනිවාර්‍ය වගකීමකි. එනම්,
යහ කටයුතු වලදී සහා දේව අවනතියෙහි එකින් එකා අතර සහයෝ‍ගයෙන් කටයුතු කරන්න!, පාපක්‍රියාවන් හා සීමා ඉක්මවීමන් හි එකින් එකා අතර සහයෝගයන් ඇති කර නොගන්න!, අල්ලාහ් (දෙවි)ට බියවන්න!,
ශුද්ධ වූ කුර්ආනය 5-2
ශුද්ධ වූ කුර්ආනයේ 5-2 වාක්‍යය අවධාරණය කරන ඉහත වගකීම කවදත් නිවරුදිව හදුනාගෙන කටයුතු කරන  ‘යහමඟ’ අඩවිය මේ දිනවල රටපුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මුස්ලීම්වරුන් අතර පවා ඉතා ජනප්‍රිය එසේම ඉහල ලාභයක් ගෙනදෙන බවට පැවසෙන ව්‍යාපාරයක් පිලිබදව ඉස්ලාමීය විමසුමක් සිදුකිරීමට අදහස් කරමි. එනම් මෑත කාලයක පටන් විශේෂයෙන් සක්විති රණසිංහගේ වංචාව හෙලිවීමත්, එවැනි ක්‍රමන්ත්‍රණ පිලිබදව ජනතාව දැනුවත් වීමත්, විශේෂයෙන් එවැනි සිදුවීම එනම් මහජනතාවගේ මුදල් ඒකරාශි කිරීම පිලිබදව රටේ නීතිය දැඩිවීමත් හේතු කොටගෙන විවිධ ව්‍යාපෘති නමින් මහජනතා මුදල් ඒකරාශි කිරීම කූඨ ව්‍යාපාරිකයන්ට මහත් අභියෝගයක් විය. මේ හේතුව නිසා ඔවුන් නීතියේ හිඩැස් සොයමින් හා ඒ තුල තම සුපුරුදු ව්‍යාපාරය ආකර්ශණිය තේමා පාඨයන් සහිතව නව මුහුණුවරකින් ඉදිරිපත් කිරීමට සමත් වී ඇත. එවැනි එක් ව්‍යාපාරයක් පිලිබදව තමා අද මෙහිදී සාකච්චා කිරීමට සූදානම් වන්නේ. ඊට ප්‍රථම…
අඹ වගාකල ඉඩමක් – පර්චස් 10 ක් රු — යි. වාරික වශයෙන් සුළු මුදලක් ගෙවා වසර 20 කින් රුපියල් ලක්ෂ ගණනින් ආදායම් හිමිකර ගන්න.     තෙක්ක වගාකල ඉඩමක් – පර්චස් 10 ක් රු — යි. වාරික වශයෙන් රු ලක්ෂ 200,000.00 ක් වූ සුළු මුදලක් ගෙවා වසර 20 කින් රුපියල් ලක්ෂ 1,000,000.00 ආදායමක් හිමි කරගන්න.     සඳුන් ගස් වගාකල ඉඩමක් – පර්චස් 10 ක් රු ලක්ෂ 300,000.00 (තුන) යි. වාරික වශයෙන් ගෙවා වසර 20 කින් රුපියල් ලක්ෂ 3,000,000.00 (තිහක) ආදායමක් හා නොමිලේ ඉඩමක් හිමි කරගන්න.
ඉහතින් මා ඉදිරිපත් කොට ඇත්තේ මේ දිනවල අප රට තුල ඉතා ජනප්‍රිය එසේම මහජනතා අතර ආකර්ශනය දිනාගත් ව්‍යාපාර 03 ක ප්‍රචාරණ කටයුතු සිදුකරන ආකාරයයි. මෙවැනි තවත් ව්‍යාපරයන් ද ප්‍රසිද්ධියේ සහා අප්‍රසිද්ධියේ තිබිය හැක. මෙම ලිපිය තුලින් විමසා බලන්නේ මෙවැනි ව්‍යාපාර පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්නයි.
ඊට ප්‍රථම මෙවැනි ව්‍යාපාර පිලිබදව දළ හැදින්වීමක් කරන්නේ නම්, ඉහත ව්‍යාපාරයට අදාල ඉඩමේ ඔප්පුව ඒ ඒ කොටස්කරුවන් නමින් ලියවෙන නිසාත්, බොහෝ විට එම ඉඩම් තුල සැබැවින්ම එවැනි වගාවක් ආරම්භ කොට තිබීම නිසාත් එම ව්‍යාපාරය සදහා මුදල් ආයෝජනය කල පිරිසට මෙම ව්‍යාපාරය පිලිබදව සැකයක් හෝ ගැටළුවක් බොහෝ විට ඇති නොවේ. එසේම මේ තුල නීතිමය ගැටළුවක්ද ඇති නොවේ. මේ හේතුව නිසාම මෙම ව්‍යාපාරය දිනෙන් දින ජනප්‍රිය වෙමින් රටපුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පැවතීම දක්නට ලැබේ. එ‍ය කෙසේ වෙතත් මෙහිදී මා එම ව්‍යාපාරයන් සම්බන්ධයෙන් නීතිමය විග්‍රහයකට හෝ එසේත් නැත්නම් සෘනාත්මක කෝණයකින් විවේචනය කිරීමකට මා උත්සාහ කරන්නේ නැත. එය මාගේ විෂය පථයට අදාල කාරණයක් ද නොවේ. නමුත් මේ ව්‍යාපාරය තුල සැලකිය යුතු තරම් මුස්ලීම් ප්‍රජාවද සම්බන්ධ වී ඇති බවට වාර්ථා වන නිසාත්, මෙම ව්‍යාපාරයන් මෙහෙය වන පිරිස් බොහෝ විට මුස්ලීම්වරුන් නොවන නිසා ඔවුනට ඉස්ලාමීය ව්‍යාපරයක පැවතිය යුතු මූලික කොන්දේසි පිලිබදව නිසා අවබෝධයක් නොමැති වීම තුල මුස්ලීම්වරුන් හා ඔවුන් අතර උණුසුම් සංවාදයන් සිදුවන බවට ‘යහමඟ’ ට වාර්ථා වූ නිසාත්, මේ පිලිබදව ඉස්ලාම් දහමේ නිගමනය කුමක්ද? යන්න පිලිබදවත් කථා කිරීමට අදහස් කරමි. එහි අවශ්‍යතාවය වඩාත් හොදින් අවබෝධ කර ගැනීම පිණිස ‘හදීසයන්’ (මුහම්මද් (සල්) තුමාණන්ගේ වදන්) කිහිපයක් ප්‍රථමයෙන් ඔබ අවධානයට ඉදිරිපත් කිරීමට අදහස් කරමි. එනම්,
තමන් ඉපයූ දෑ හරාම්ද? හලාල්ද? යන්න පිලිබදව සැලකිලීමත් නොවන කාලයක් (අනගතයේ දී) උදාවනු ඇත.
මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී
‘හලාල්’ නම් (ඉස්ලාම්) අනුමත කල දෑ ද පැහැදිලිය. ‘හරාම්’ නම් (ඉස්ලාම්) තහනම් කල දෑ ද පැහැදිලිය. මේ දෙක අතර සැකයට තුඩුදෙන කරුණු ද ඇත. ‘පාපයක් විය හැක’ යයි සැක කොට ඉන් ඉවත් වන්නා, පාපක්‍රියාවන් බව පැහැදිලිවම දන්නා දැයින් නියතවම ඉවත් වනු ඇත. ‘මෙය පාපයක්ද?’ යනුවෙන් සැක කරන ක්‍රියාවන් සිදු කරන්න පෙළඹෙන තැනැත්තා (කාලයත් සමඟ) පැහැදිලි පාපයන් හි පවා නිරත වීමට පුළුවන. ‘පාපය’ යනු අල්ලාහ් (දෙවි) යොදා ඇති (යහපත හා අයහපත වෙන්කරන සීමා) වැටකඩුලුය. එම සීමාවේ කටයුතු කරන්නා එම සීමාව ඉක්මවන්නට පුළුවන
මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී
ඉහත අවාසනාවන්ත තත්වයට යොමු නොවීමට නම්, එම නිවරදි සීමාවන් හදුනාගෙන කටයුතු කිරීමට සෑම මුස්ලීම්වරයෙකු කෙරෙහිම අනිවාර්‍ය වගකීමක් ඇත. එම වගකීම හොදින් මතකයේ රදවාගෙන දැන් මාතෘකාව වෙත අවධානය යොමු කරමු. මෙහිදී ප්‍රථමයෙන් ‘ව්‍යාපාරයක්’ සදහා ඉස්ලාම් ලබාදෙන විග්‍රාහය කුමක්ද? යන්න පිලිබදව මූලික අවබෝධයක් ලබාගැනීම අත්‍යඅවශ්‍ය වේ. ඒ පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීමන් විමසා බලන වි‍ට එහි පහත හදීසය මෙතැනට වඩාත් සුදුසු විග්‍රහයක් ලෙස මට සිතේ. එනම්,
‘විකුණන්නා සහා මිලදී ගන්නා වෙන් නොවනතාක් (ඔවුන් අතර සිදුවන) එම වෙළද ගිවිසුම අවලංගු කිරීමේ අයිතිය දෙදෙනාටම ඇත. ඔවුන් දෙදෙනා සත්‍ය කථා කොට, එහි අඩුපාඩු ඇත්නම් එය ද අනාවර්ණය කරගනිමින් (එම වෙළදාම) සිදු කරන්නේ නම්, එහි ‘බරකත්’ (දෙවියන්ගේ භාග්‍යයන්) ඇති වේ. අඩුපාඩුකම් සඟවා, බොරු පවසා එම වෙළදාම සිදු කලේනම්, එහි ඇති ‘බරකත්’ ඉවත් වී යනු ඇත.’
මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී
ඉහත හදීසයට අනුව වෙළදාමක්, ගනුදෙනුවක් හෝ ව්‍යාපාරයක් යනු දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර සිදුවන ගිවිසුමක් යන්න මූලික වශයෙන් පැහැදිලි වේ. ‘ගිවිසුමක්’ යනු එහි පාර්ශවකරුවන් එම ගිවිසුමට එකඟවීම අත්‍යඅවශ්‍ය සාධකයක් යන්න පැහැදිලිය. එසේම එහි දෙපාර්ශවයටම බලපෑමක් ඇති නොවන ආකාරයේ නිදහසේ ක්‍රියා කිරීමට අවශ්‍ය පසුබිම එහි තිබිය යුතුය. එපමණක් නොව එම ගිවිසුම වලංගුවීමට නම් ඒ තුල හොර, බොරු, වංචා, සැඟවීම, මුලා කිරීම්… යනාදී ගුණාංග කිසිවක් නොපැවතිය යුතු යන්න ඉහත හදීසය තුලින් නැතත් ලොව සියළු දෙනා ඒකමතිකව පිලිගත් කාරණයකි. මේ සියල්ලෙන්ම පිරිසිදු වූ ව්‍යාපාරික කටයුත්තක්, වෙළදාමක් තමා ඉස්ලාම් අනුමත කරන ව්‍යාපාර බවට පත් වන්නේ. එහි දී එම ගිවිසුමට සම්බන්ධ වන පාර්ශවයන් දෙදෙනා හෝ කිහිපදෙනා (වෙළදාම අවසන් කොට) වෙන් වනතුරු එම ගිවිසුම වලංගු මට්ටමින් පවතී යන්න ඉස්ලාම් දහම පනවන තවත් කොන්දේසියකි. මේ ආකාරයේ වූ සාධාර්ණ වෙළදාමක් (ව්‍යාපාරයක්) කෙරෙහි ඉස්ලාම් දහම කොතරම් දුරකට සැලකිලීමත් වී තිබෙනවාද? යන්න අවබෝධ කරගැනීම පිණිස හදීස් කිහිපයක් ඔබේ අවධානයට යොමු කරන්නේ නම්,
වරක් නබිතුමාණන් වෙළද පොළක් අසලින් ගමන් කරන විට (වර්ෂා සමයේ එහි) වියලි ධාන්‍ය ගොඩක් දැක එය තුලට තම අත යවා බැලූවිට එහි පතුලේ තෙත් වූ ධාන්‍ය තිබෙනු දැකගන්නට ලැබුණි. මේ මොනවාද? යන්න විමසා වියලි හා තෙත් ධාන්‍ය වෙන් වෙන් වශයෙන් පාරිභෝගිකයන් හට පහසුවෙන් හදුනාගත හැකි ආකාරයට තබන ලෙස අවවාද කරන ලදී.
(මූලාශ්‍ර ග්‍රන්ථය  – බුහාරී)
කවුරුන් මිල ඉහල නැංවීම පිණිස භාණ්ඩයන් (අලෙවි නොකොට) සඟවා තබන්නේ ද ඔහු වරදක් කල තැනැත්තෙකු බවට පත්වේ. යනුවෙන් නබිතුමාණන් පවසන ලදී.
(මූලාශ්‍ර ග්‍රන්ථ – මුස්ලීම්)
අරාබි දේශයේ විවිධ වූ රට ඉදි වර්ග (එනම් මිල වැඩි හා මිල අඩු වර්ග) හැදෙන අතර එම අස්වැන්න එකට මිශ්‍ර කොට අලෙවි කරන ක්‍රමවේදයක් එහි පැවතුණි. යෙ දුටූ නබිතුමාණන් එසේ නොකරන ලෙසත් ඒ ඒ වර්ගය වෙන වෙනම තබා අලෙවි කරන ලෙසත් අවවාද කරන ලදී.
(මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී)
ඉහතින් මා ඉදිරිපත් කො‍ට ඇත්තේ නූතන ව්‍යාපාරික ලෝකය තුල පවා සමාන්‍ය කාරණයක් ලෙස සලකන වංචාවන් හෝ මුලාවන් සම්බන්ධයෙන් ඉස්ලාම් දහම මුස්ලීම් සමාජයට කරන අවවාද හා මඟපෙන්වීම් කිහිපයක් පමණි. මෙතෙක් සාක්ච්චා කල කරුණුවලට අනුව ඉස්ලාම් දහම තුල අනුමත ව්‍යාපාරයක් වීම සදහා එය ‘පොලී’ වලින් සම්පූර්ණයෙන් ඉවත් වීම, මෙන්ම එහි හොර, බොරු, වංචා, සැඟවීම, මුලා කිරීම්… යනාදී සියල්ලෙන් කිසිවක් සිදු නොවීම, ප්‍රමාණවත්ද? යන්න ඔබට දැන් සිතෙන්නට පුළුවනි. මෙතැන දී අව‍බෝධ කර ගතයුතු තවත් වැදගත් කාරණයක් ද ඇත. එනම්, ඉහත අවශ්‍යතාවයන්ට අමතරව සපුරාලිය යුතු තවත් සුවිශේෂි කොන්දේසි ගණනාවක් ද ඉස්ලාම් දහම පනවා ඇත. ඒ අතුරින් මෙම ලිපියට අදාල කොන්දේසි කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන්නේ නම්,
ඉස්ලාම් තහනම් කල ආහාර වර්ග හෝ භාණ්ඩ වෙළදාම් කිරීම සිදුකල නොහැක.             එක්තරා පුද්ගලයෙකු මත්පැන් අලෙවි කරන බව දැනගත් උමර් (රලි) තුමාණන් ‘ඔහුට අල්ලාහ් ශාපකරත්වා!,  යුදෙව්වරුන්ට (සත්ව) මේදය තහනම් කලවිට ඔවුන් එය උණූකොට අලෙවි කල නිසා අල්ලාහ් ඔවුන්ව විනාශ කරත්වා!, යනුවෙන් නබිතුමාණන් පැවසූ කාරණය ඔහු නොදන්නේද? යනුවෙන් විමසන ලදී.
(මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී)
වෙළදාමට මූලික වන භාණ්ඩය එම ස්ථානයේ තිබීම අත්‍යඅවශ්‍ය වේ.             ‘පාරිභෝගික භාණ්ඩ තම අතට පත්වීමට පෙර එය අලෙවි නොකරන්න’ යනුවෙන් නබිතුමාණන් නීති පනවන ලදී. තවදුරටත් පැවසීමේ දී ‘එසේ විකිණීම මුදලට මුදල් විකිණීම බදු වේ’ යනුවෙන් ද පවසන ලදී.
(මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී)
කිසියම් තැනකින් වෙළද භාණ්ඩයක් මිලට ගෙන එම ස්ථානයේම අලෙවි කිරීම නබිතුමාණන් තහනම් කරන ලදී.             නබිතුමාගේ සමකාලීන අනුගාමික පිරිස් (සහාභාවරුන්) පාරිභෝගික භාණ්ඩ කිසියම් ස්ථානයකින් මිලදී ගෙන එම ස්ථානයේම අලෙවි කරන පුරුද්දක් සහිත පිරිසක්ව සිටියේය. නමුත් නබිතුමාණන් විසින් එම ක්‍රමය තහනම් කරන ලදී.
(මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී)
අනාගත අපේක්ෂිත ඉලක්ක එසේත් නැත්නම් පූර්ව නිගමනයන් මත හිඳ වෙළදාම් කිරීම නබිතුමාණන් තහනම් කරන ලදී.             නබිතුමාණන් නොඋපන් ජීවියෙකු අලෙවි කිරීම තහනම් කරන ලදී. ජාහිලියා සමාජය එවැනි ව්‍යාපාරයක නියලමින් සිටියේය. එනම්, ‘මෙම ඔටු දෙන බිහිකරන පැටියාගේ පැටියා මම විකුණමි/ මම මිලදී ගනිමි’ යනුවෙන් පැවතී ව්‍යාපාරය ඉස්ලාම් තහනම් කරන ලදී.
(මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී)
නබිතුමාණන්ගේ කාලයේ ජනයා ගසේ ඇති පළතුරු (අස්වැන්න නෙලීමට නියමිත කාලයට පෙර) විකිණීම පුරුද්දක් කරගෙන සිටියේය. නමුත් පළතුරු නෙලා මිල දී ගත් තැනැත්තාට එය භාරදෙන මොහොත වූ විට ‘මෙය විනාශ වී ඇත, මෙයට රෝග බෝවී ඇත, මෙය අමු තත්වයේ ඇත, තවත් අඩුපාඩු බොහොමයක් ඇත.’ යනුවෙන් වාද කරනු ඇත. මෙය දැනගත් නබිතුමාණන් ‘ගසේ ඇති පලදාව නිශ්චය කරන තෙක් එය නොවිකුණන්න’ යනුවෙන් නියෝගයක් පනවන ලදී.
(මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී)
ගසක ඇති පලදාව නිශ්චය කරන තුරු විකිණීම නබිතුමාණන් තහනම් කරන ලදී. මෙම තහනම විකුණන්නාට මෙන්ම මිලදී ගන්නාට ද අයත් වේ.
(මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී)
ඉහතින් මෙ‍තෙක් සාකච්චා කල කරුණූ පදනම් කරගෙන මෙම ලිපිය තුලින් සාකච්චා කිරීමට අපේක්ෂිත විෂය එනම්, ‘වර්ථමානයේ මුඩු ඉඩමක් ලෙස පවතින ඉඩමක් පෙන්වා එහි කිසියම් බෝගයක් වැවීමෙන් අනතුරුව අනාගතයේ දී එහි වටිනාකම අද ඇස්තමේන්තු කොට වර්ථමානයේ අලෙවි කිරීම’ පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්න දැන් විමසා බලමු.
මෙම විෂය කථා කිරීමේ පහසුව සදහා මෙතැන් පටන් වර්ථමානයේ ඉතා ජනප්‍රිය ව්‍යාපාරයක් වන ‘සඳුන් වගාව’ පමණක් පදනම් කරගෙන කරුණූ ඉදිරිපත් කරන අතර රට තුල මේ වනවිට ක්‍රියාත්මක අඹ වගාව, තේක්ක වගාව… හෝ අනාගතයේදී මෙලෙසින් ඉදිරිපත් වන වෙනත් එවැනි ව්‍යාපාරයන් මීට අදාල නොවේ යන්න මින් අදහස් නොවේ. ඒ අනුව ඉහතින් සදහන් කල එම ‘සඳුන් ගස් වගාව’ සම්බන්ධ ව්‍යාපාරයට අදාලව ඊට සම්බන්ධ අලෙවි නියෝජිතයන් ලබාදෙන කරුණු පිලිබදව කෙටි විමසුමක් කරමු. (මෙහි ඉදිරිපත් කොට ඇත්තේ ‘යහමඟ’ට වාර්ථා වූ කරුණූ වන අතර එහි සංඛ්‍යාත්මක අගයන්වල යම් යම් සංශෝධනයන් පැවැතිය හැකි බව කරුණාවෙන් සලකන්න)
වර්ථමානයේ තංගල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක ‘සඳුන් ගස් වගා’ ව්‍යාපෘතිය සදහා පර්චරස් 10ක ඉඩමක් ගැණුම්කරුවෙකු සදහා අලෙවි වන්නේ (වාරික වශයෙන් ද ගෙවීමේ පහසුකම් ඇත) දළ වශයෙන් රුපියල් 300,000.00 (ලක්ෂ තුනක්)ක් පමණ මුදලකටය. මෙම පර්චස් 10 ක ඉඩම තුල ‘සඳුන් ගස් 12 ක්’ සිටුවන බවත්, වසර 20කට පසු අපේක්ෂිත ආදායම රුපියල් 30,000,000.00 (ලක්ෂ තිහක්)ක් බවත් පවසන අතර ඉඩම නොමිලේ ගැණුම්කරුට ලබාදෙන බව පවසයි.
ඉහත කරුණූවලට අනුව මෙම ව්‍යාපාරය සරල විග්‍රාහයකට ලඝු කරන්නේ නම්, රුපියල් ලක්ෂ තුනක් (300,000.00) අද ආයෝජනය කොට වසර 20 කට පසු රුපියල් ලක්ෂ තිහක (30,000,000.00) ආදායමක් හා පර්චස් 10 ක ඉඩමක් (ශුද්ධ ලාභය ලක්ෂ 27 + පර්චස් 10 ක ඉඩම) ලබාගත හැකි යන්නයි. ගැණුම්කරුවා ඉතා සුළු මුදලක් පමණක් ආයෝජනය කිරීමෙන් කිසිදු වෙහෙසක් නොවී මෙපමණ මුදලක් උපයාගත හැකි ව්‍යාපාරයක් සදහා වර්ථමාන සමාජය උනන්දු නොවන්නේ නම් එය පුදුමයකි. එසේනම් මෙතරම් වාසියක් ගෙනදෙන එම ව්‍යාපාරය සම්බන්ධයෙන් මෙතෙක් කථා කල ඉස්ලාමීය විග්‍රාහයන් පදනම් කරගෙන කෙටි නිගමනයන්ට එළඹෙන්නේ නම්,
මෙම ව්‍යාපාරය තුලින් ආයෝජකයාට විශාල ධනයක් හිමි වන අතර එය ඉස්ලාම් අනුමත කාරණයකි.     මෙහි ‍’පොලී’ කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවන නිසාත් එය ඉස්ලාම් අනුමත ව්‍යාපාරයකි.     අලෙවිකරු හා ගැණුම්කරු අතර ගිවිසුමක් නිසිලෙස ක්‍රියාත්මක වන නිසා ඒ අතින් ද මෙම ව්‍යාපාරය ඉස්ලාම් අනුමත කල ආකාරයට පවතී.     එසේම මෙම ව්‍යාපාරයන් සදහා පදනම් වන අඹ, තේක්ක, සඳුන් හෝ එවැනි වෙනත් ශාක වර්ග වෙළදාම සදහා ඉස්ලාම් දහම තුල තහනමක් නොමැතිවීම තුල එහි බාධාවක් නැත.
මෙම ව්‍යාපාරය ඉහත අවශ්‍යතාවයන් සපුරා තිබුණද, ඉහතින් ඉදිරිපත් කල ඉස්ලාමීය කොන්දේසී කිහිපයක් කඩ කොට ඇත. එනම්,
හොර බොරු වංචාවන්… සිදු  නොවීම,
ඉහත ව්‍යාපාරය සම්බන්ධයෙන් මෙම කොන්දේසිය තරමක් විමසුම් ඇසින් බලමු. එනම්, මෙම ව්‍යාපෘතියේ දී ‘වසර 20 කට පසු ලක්ෂ 30 ක් හා ඉඩමක් නොමිලේ’ යනු‍වෙන් ප්‍රචාරණය කරන බවට ‘යහමඟ’ට වාර්තා විය. එය එසේනම් ලක්ෂ 03ක මුදල් අය කරගන්නේ ඉඩම සදහා නොවන බව පැහැදිලිය. එසේ නම් එම මුදල කුමක් සදහාද? යන කුතුහලය මතුවේ. එසේම තමන්ට වසර 20 කට පසු නොමිලේ හිමිවන දැනට තමන්ට හිමි නොවන ඉඩමකද මේ වගාව දැන් සිදුවන්නේ?. යන කුතුහලය ද ඇති වේ. මෙවැනි ප්‍රකාශ තුලින් සිදු කරන්නේ සූක්ෂම ලෙස ජනතා මුලාවකි.
එසේ නොවී ඉඩමේ අයිතිය ආරම්භයේදීම තමන්ට ලබාදුන්නත් එහි තවත් ගැටළුවක් ඇතිවේ. එනම් මෙම වගාව සිදුවන්නේ තංගල්ල ප්‍රදේශයේය. එහි සඳුන් ගස් අක්කර ගණන් වවන්නේ නම් එය තංගල්ල නගර සීමාව තුල සිදුවිය නොහැක. එසේනම්, එය තංගල්ල ආසන්න පිටිසර පළාතක සිදුවිය යුතුය. එවැනි ප්‍රදේශවල සාමාන්‍යයෙන් ඉඩම් අක්කරයක (පර්චස් 160 ක) මිල සැලකූවිට එය දළ වශයෙන් රුපියල් 10,000.00 සිට 50,000.00 අතර ප්‍රමාණයක් වන බව ‘යහමඟ’ට දැනගන්නට ලැබුණි. මේ පිලිබදව අවබෝධයක් නොමැති පිරිසට ‘පර්චස් 10ක් නොමිලේ’ යයි පැවසූ විට ඔවුන් එම ඉඩම් කොළඹ, ගම්පහ, ගාල්ල, නුවර… වැනි ප්‍රදේශවල ඉඩමේ මිල ගණනට සාපේක්ෂව සසදා බලා ‘තමන් ආයෝජනය කරන ඉඩමේ සඳුන් නොහැදුනත් ඉඩම හරි ඉතිරිවෙයිනේ’ යනුවෙන් සිතන්නට පෙ‍ළඹේ. මේ තුලින් එම ගැණුම්කරුවන් රුවටීමකට ලක්වේ. එපමණක් නොව ‘ලක්ෂ 03ක් ආයෝජනය කලාම ලක්ෂ 30ක් ලාභ’ යන්න බොහෝ පිරිස් මුලාවන ඊලඟ අවස්ථාවයි. මෙතැනදී බොහෝ පිරිසට අතපසු වූ කාරණයක් ඇත. එනම් අද ලක්ෂ 03 ක් ආයෝජනය කලාම එහි ප්‍රථිපලය ලෙස ලක්ෂ 30 ලැබෙන්නේ තවත් වසර 20 ක‍ට පසුවයි. එසේනම් ලක්ෂ 30 වටිනාකම තක්සේරු කලයුත්තේ අදට සාපේක්ෂව නොව තවත් වසර 20 කට පසු එහි වටිනාකම කුමක්ද? යන්න ලෙසයි.
එය පහසුවෙන් අවබෝධ කර ගැනීම සදහා මීට වසර 08 කට පමණ පෙර (චන්ද්‍රකා ජනධිපති තුමියගේ කාලයේ) පාන් රාත්තලක මිල (රු 3.50) වසර 08 කට පසු අද එහි වටිනාකම (රු 45.00) සමඟ සංසන්දනය කර බලන්න. මෙතැනින් කාලයත් සමඟ එහි වටිනාකමක සිදුවන උච්චාවචනය තේරුගන්නට පුළුවන් නොවේද?. සමහරක් විට මා ඉදිරිපත් කර ඇති සරල උදාහර්ණයට විවිධ විග්‍රහයන් ගෙන එය සාධාර්ණීකරනය කරන්න උත්සාහ කරන්නට පුළුවනි. ඒ නිසාම තවත් සරල නිදසුනක් පවසන්නේ නම්, ඉහත සදහන් ජනාධිපති තුමියගේ කාලයේ රාජ්‍ය සේවයේ නිරත සාමාන්‍ය ගුරුවරියකගේ මූලික වැටුප රුපියල් 6000.00 කි. අද එය 25000.00 කි. මෙහිදී කවරෙකුට හෝ එදාට වඩා අද රාජ්‍ය සේවකයන්ගේ තත්වය විශ්ෂිඨ තත්වයක පවතිනවා යයි තර්ක කලහැකිද?. සැබැවින්ම ඔවුන් අදත් සිටින්නේ එදා සිටිය තැනමය නමුත් සංඛ්‍යාත්මක අතින් ආදායමෙහි විශාල වෙනසක් සිදුවී ඇත. මෙම තත්වයට ආර්ථික විද්‍යාව තුල ගැඹූරු වචනයන් යොදා විග්‍රහයන් ඉදිරිපත් කල හැක. නමුත් එහි අවසාන ප්‍රථිපලය ‘හුදෙක් ඉලක්කම් හරඹයක් මිස වෙනසක් නැතැයි’ යන්න පමණි. එසේනම් ඉහත සඳුන් ගස් ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ද ලක්ෂ 03 හා ලක්ෂ 30 යන්න ඉලක්කම් හරඹයක් යොදමින් කරන ජනතා මුලාවක් මිස එය සත්‍යයක් වුවත් විශාල ප්‍රතිලාභ අවස්ථාවක් නොවේ. මේ ආකාරයේ වූ හොර, බොරු හා වංචා රාශියකින් පිරුණූ මෙම ව්‍යාපෘතියට කිසිදු ආකාරයකින් සම්බන්ධ වීමට ඉස්ලාම් දහම තුල කිසිදු මුස්ලීම්වරයෙකුට අවසර නොමැති බව ඉහත කරුණු තුලින් පැහැදිලි ලෙස වටහා ගතයුතුය.
අනාගයේ අපේක්ෂිත ඉලක්ක මත වෙළදාම් සිදු නොකිරීම,
ඉස්ලාම් දහමට අනුව කිසියම් ව්‍යාපාරයක් සිදු කිරීමේ දී එම ව්‍යාපාරයට මුලික වන භාණ්ඩය හෝ ද්‍රව්‍යය එම ව්‍යාපාරය සිදුවන තැන තිබීම මූලික අවශ්‍යතාවයකි.  එනම් ‘මේ මොහොතේ නැති දෙයක් වෙනුවෙන් වෙළදාම සිදුවීම’ යන්න ඉස්ලාම් දහම අනුමත කරණ කාරණයක් නොවේ. ඒ අනුව කිසියම් ඉඩමක අනාගයේ දී කිසියම් වගාවක් සිදුකොට ඒ තුලින් ලබාගැනීමට අපේක්ෂා ආදායම පිලිබදව පූර්ව නිගමනයකට බැස එම වෙළදාම සිදුකිරීම ඉස්ලාම් දහම දැඩිව තහනම් කරන ව්‍යාපාර ක්‍රමයකි. වර්ථමානයේ සිදුවන මෙම වෙළදාම ක්‍රමය මීට වසර 1400 කට පෙර ‘ජාහිලියා’ නම් (ඉස්ලාම් දහම මුහම්මද් (සල්) තුමාණන් මඟින් ප්‍රකාශ වීමට පෙර) සමාජයේ ද පැවතුණි. එවකට සමාජයේ පැවතී ප්‍රධාන ව්‍යාපාර දෙකක් වන රටඉදි වගාව හා සත්ව පාලනය යන ව්‍යාපර තුල මෙම ක්‍රමය ක්‍රියාත්මක වුණි. ඒ දෙක පදනම් කරගෙන මුහම්මද් (සල්) තුමාණන් මුස්ලීම් සමාජයට සිදුකල අවවාදයන් දැන් නැවත විමසා බලන්නේ නම්,
නබිතුමාණන් නොඋපන් ජීවියෙකු අලෙවි කිරීම තහනම් කරන ලදී. ජාහිලියා සමාජය එවැනි ව්‍යාපාරයක නියලමින් සිටියේය. එනම්, ‘මෙම ඔටු දෙන බිහිකරන පැටියාගේ පැටියා මම විකුණමි/ මම මිලදී ගනිමි’ යනුවෙන් පැවතී ව්‍යාපාරය ඉස්ලාම් තහනම් කරන ලදී.
(මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී)
අනාගතයේ දී උපදින්නට නියමිත මෙතෙක් නොඋපන් ඔටු පැටියෙකුට (අනාගතයේ දී) උපදින ඔටු පැටියා අද විකිණීම එම සමාජ එක් ව්‍යාපර සම්ප්‍රදායකි. එය අද තිබෙන මුඩු ඉඩමේ සඳුන් ගස් වගාකොට තවත් වසර 20 කට එහි වටිනාකම තක්සේරු කොට අද විකිණීම බඳු නොවේද?. එසේම…
නබිතුමාණන්ගේ කාලයේ ජනයා ගසේ ඇති පළතුරු විකිණීම පුරුද්දක් කරගෙන සිටියේය. පළතුරු කඩා මිල දී ගත් තැනැත්තාට එය භාරදෙන මොහොත වූ විට ‘මෙය විනාශ වී ඇත, මෙයට රෝග බෝවී ඇත, මෙය අමු තත්වයේ ඇත, තවත් අඩුපාඩු බොහොමයක් ඇත.’ යනුවෙන් වාද කරනු ඇත. මෙය දැනගත් නබිතුමාණන් ‘ගසේ ඇති පලදාව නිශ්චය කරන තෙක් එය නොවිකුණන්න’ යනුවෙන් පවසන ලදී.
(මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී)
ගසක ඇති පලදාව නිශ්චය කරන තුරු විකිණීම නබිතුමාණන් තහනම් කරන ලදී. මෙම තහනම විකුණන්නාට මෙන්ම මිලදී ගන්නාට ද අයත් වේ.
(මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී)
අනාගතයේ දී පලදරන්නට නියමිත ගසක් එය පලදැරීමට පෙර හෝ එහි පලදාව නියමිත තත්වයට පත්වීමට පෙර එය තක්සේරු කර විකිණිම එම සමාජයේ තවත් සම්ප්‍රදායකි. එය අද තිබෙන මුඩු ඉඩමේ සඳුන් ගස් වගාකොට තවත් වසර 20 කට එහි වටිනාකම තක්සේරු කොට අද විකිණීම බඳු නොවේද?.  එම වගාවට ස්වාභාවික විපත් ඇති නොවේ යන්නට ඇති සහතිකය කුමක්ද?. විශේෂයෙන් එක් එක් ශාකයන්ට ආවේනික රෝග ව්‍යාප්ත වීමත්, එය පාලනය කිරීම සදහා එම ගස් විනාශ කිරීම පිලිබවත් අපට (දකුණු පළාතේ විශේෂයෙන් මාතර හා වැලිගම ප්‍රදේශවල පොල් ගස් විනාශ කිරීමට රජයගත් තීන්දුව තුලින් අපට) අත්දැකීම් නැතුවා නොවේ. එපමණක් නොව මේ ඉඩම්වල වගා කරන සඳුන් ගස් සාර්ථක මට්ටමින් පවතීවි යන්නටත්, එය සොරුන්ගෙන් ආරක්ෂා වේවි යන්නටත් ඇති සහතිකය කුමක්ද?. විශේෂයෙන් සොරුන් ගැන පැවසීමේ දී ශ්‍රී ලාංකීය ‘සඳුන් ගස්’ සොරු පිලිබදව නොමැකෙන මතකයන් අපට ඇත. එයට පහත ‘බැලුම්ගල සඳුන්ගස් හොරකම් විඩියෝව’ හොද නිදසුනකි.

අබූ අර්ෂද්

Related Post