ඉස්ලාම් දහම තුල සෑම මුස්ලිම්වරයෙකුම විශ්වාස කලයුතු කරුණූ 06ක් ඇත. ඒ අතුරින් පලමු හා ප්‍රධාන කාරණය වන්නේ දෙවියන් පිලිබදව වූ විශ්වාසයයි. මෙම විශ්වාසය අද මුස්ලිම් සමාජය “අල්ලාහ් නම් දෙවියෙක් සිටී, ඔහු තමා අපේ එකම දෙවියා” යන ඉතා සරල කාරණයකට කොටු කොට ඇත. මෙලෙස සරල ලෙස ඉස්ලාම් පවසන දේව සංකල්පය පිලිගැනීම සැබෑ වූ දේව විශ්වාසයක් නොවේ. මේ පවසන ආකාරයේ විශ්වාසය එදා මුහම්මද් (සල්) තුමාණන් ඉස්ලාම් ප්‍රකාශ කල (ජාහිලියා) අඥාන සමාජයේ ද පැවතුණි. විටෙක වර්ථමානයට වඩා හොදින් පැවතුණි. නමුත් එම විශ්වාසය පැවතුණූ පමණින් ඔවුන් මුස්ලිම් වුයේ නැත. එය පහත සදහන් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය මඟින් ඔබට හොදින් අවබෝධ කරගත හැකි වනු ඇත. එනම්,
“…(මුස්ලිම් නොවන) ඔවුන් නැවෙහි නැඟ සුළඟ හේතුවෙන් මුහුදෙහි වේගයෙන් ඇදී යන විට සතුටට පත්වන අතර චණ්ඩමාරුතයක් හමන්නට පටන්ගෙන විවිධ දිශවෙන් මුහුදු රළ ද ඔවුන් වෙත ඇදී එන විට ‘මෙයින් ගැලවීමට කිසිදු මඟක් නැතැයි’ සිතෙන කල්හි ‘අපේ හිමියනේ! මෙයින් අපව ආරක්ෂා කර ගතහොත් නියත වශයෙන්ම අපි ඔබට සදාකල් ස්තූති වන්තව සිටින්නෙමු’ යයි කැළඹුණූ සිතෙතිව අල්ලාහ් (දෙවියන්ට) ඉතා අවනතව ප්‍රාර්ථනා කරන්නෝය.”
ශුද්ධ වූ කුර්ආනය 10-22
ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයෙන් පවසන්නේ අල්ලාහ් දෙවියන් පිලිගෙන ඔහුට අවනතව ජීවත් වූ මුස්ලිම් සමාජයේ ක්‍රියා කලාපයන් නොව ඉස්ලාම් දහම ප්‍රතික්ෂේප කල අඥාන සමාජයේ ක්‍රියා කලාපයයි. මේ අනුව පැහැදිලි වන ප්‍රධාන කාරණය නම් ඉස්ලාම් ප්‍රතික්ෂේප කල ඒ අඥාන සමාජයේ පවා අල්ලාහ් (දෙවියන්) පිලිබදව දැඩි විශ්වාසයක් පැවතී බවයි. ඒ හේතුව නිසා තමා තීරණාත්මක අවස්ථාවන් හි ඔවුන් අල්ලාහ් (දෙවි) පිහිට පතන්නට උනන්දු වුයේ. එවන් වූ එදා ජාහිලියා සමාජය සමඟ වර්ථමාන මුස්ලිම් සමාජයේ ක්‍රියා කලාපයන් මොහොතක් බුද්ධිමත් ලෙස සංසන්දනය කර බලන්න. වර්ථමානයේ බොහෝ මුස්ලිම්වරුන් තීරණාත්මක අවස්ථාවල අල්ලාහ් (දෙවි) අමතක කොට විවිධ වූ මිත්‍යාවන් පිටුපස දිවයෑම සුලභ දසුනක් වී නොවේද?. මෙම තත්වයට හේතුව එදා ඒ ජාහිලියා සමාජය අල්ලාහ් (දෙවි) අවබෝධ කරගත් ආකාරයටවත් වර්ථමාන මුස්ලිම් සමාජය අල්ලාහ් (දෙවි) අවබෝධ කරගැනීම අතපසු කර තිබීම නොවේද?. මෙහි විපාකය අද වනවිට ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් ඔස්සේ අප සමාජයේ විහිදී පවතී. එනම්,
- මුස්ලිම් සමාජයට අල්ලාහ් (දෙවි) පිලිබදව නිසි අවබෝධයක් නොමැති වීම තුල ඔවුන් විවිධ මිත්‍යා විශ්වාසයන් තුල කොටුවීම.
- මුස්ලිම් සමාජය තුලින් ඉස්ලාම් දකින මුස්ලිම් නොවන සහෝදර ප්‍රජාවට අල්ලාහ් (දෙවි) පිලිබදව පූර්ණ අවබෝධයක් නැතිවීම මෙන්ම අල්ලාහ් (දෙවි) පිලිබදව විකෘති වූ මතවාදයන් ඇතිව ඉස්ලාමීය දේව සංකල්පය විවේචනය කිරීම.
ඒ අනුව අල්ලාහ් (දෙවියන්) නිවරුදි ලෙස හදුනා ගැනීම සෑම මුස්ලිම්වරයෙකු කෙරෙහිම අනිවාර්ය මෙන්ම කාලීන අවශ්‍යතාවයක් වී ඇත. මෙම තත්වය යහමඟ අඩවිය හොදින් අවබෝධ කරගත් නිසා තමා ඉස්ලාමීය දේව සංකල්පය පිලිබදව විවිධ පැතකඩ ඔස්සේ විවිධ අවස්ථාවල මෙම අඩවිය තුල සාකච්චාවට ගැනෙන්නේ. එවැනි ලිපි කිහිපයක් ඔබගේ අවධානයට නැවත ගෙන එන්නේ නම්,
- දේවවාදය පිලිබදව පවතින මතවාද
- දෙවියන් පිලිබදව විමසුම් ඇසින්
- ඉස්ලාම් පවසන දේව වාදය
- දේව වාදය විද්‍යාව ප්‍රතික්ෂේප කරනවාද?
- දෙවියන් හමුවේ තීරණාත්මක සාධකය කුමක්ද?
- දේව වාදය බුද්ධිය ප්‍රතික්ෂේප කරයිද?
- දෙවියන් සමානාත්මක ලෙස නොසලකන්නේ ඇයිද?
මෙම විෂය ඉහත ආකාරයේ ලිපි කිහිපයකට සීමා කලහැකි සරල විෂයක් නොවේ. ඉස්ලාම් පවසන දේව සංකල්පය “අල්ලාහ් නම් දෙවියෙක් සිටී” යන සරල වූ විශ්වාසයක් තුල කොටු කලහැකි කාරණයක් ද නොවන බව ඉහතින් ද අවධාරණය කලෙමි. අල්ලාහ් (දෙවි) විශ්වාස කරනවා යනු ඔහුගේ බලය, හැකියාව, ශක්තීන්, ගුණාංග… යනාදී සියල්ල පරිපූර්ණ ලෙස විශ්වාස කිරීමයි. ඉස්ලාම් දහම ඒක දේව සංකල්පය මත පදනම් වූ එය දැඩිව අවධාරණය කරන දහමක් යන්නත්, (අල්ලාහ් (දෙවි)) ඔහුගේ ගුණාංග හා ශක්තීන් ඔහුගේ මැවීමන්ට ආරූඪ කොට හෝ සමාන කොට කථා කිරීම ඔහු දැඩිව ප්‍රතික්ෂේප කරන (ශිර්ක්) මහා පාපයක් යන්නත්, මීට ඉහත ලිපිවල සාකච්චා කලෙමු. ඒ සියල්ල ඒ ආකාරයට පිලිගැනීම හා විශ්වාස කිරීම සෑම මුස්ලිම්වරයෙකු කෙරෙහිම අනිවාර්ය වගකීමක් වන අතර එසේ අල්ලාහ් (දෙවි) පිලිබදව වූ විශ්වාසයන් ගොඩනැඟීමේ දී මුස්ලිම් මෙන්ම මුස්ලිම් නොවන සමාජයේ බහුතරයකට ඇති වන කුතුහලාත්මක කාරණයක් මෙහිදී සාකච්චා කිරීමට අදහස් කරමි. ඒ “අල්ලාහ් දෙවියන් සිටින්නේ කොහිද? ඔහු මොනවගේද?” යන්න එම කාරණයයි. මෙය මුස්ලිම් සමාජයේ බහුතරයක් පිරිස් කථා කිරීමට මැලිවන සංකීර්ණ විෂයක් වුවත්, ශ්‍රී ලංකාව වැනි බහු ආගමික හා බහු දේව විශ්වාසයන් පවතින රටක අනිවාර්යයෙන්ම කථා කලයුතු විෂයක් යන්න කිසිවකුටත් ප්‍රතික්ෂේප කල නොහැක. එසේම මෙම විෂය මෙලෙස සාකච්චාවට ගැනීමට බලපෑ තවත් හේතූන් ද කිහිපයක් ඇත. ඒ පසුගිය කාලවල අප රට තුල ඉස්ලාම් පවසන අල්ලාහ් (දෙවි) සම්බන්ධයෙන් සමාජගත වූ විවිධ මතවාදයන් හේතුවෙනි. එනම්,
- බහුතර මුස්ලිම් නොවන ප්‍රජාවට මෙන්ම මුස්ලිම්වරුන් අතුරින් සුළුතරයකට අල්ලාහ් (දෙවි) සිටින්නේ කොහිද? යනුවෙන් ඇති කුතුහලය. ඒ පිරිස සදහා ද මෙම කාරණය පැහැදිලි කලයුතුව ඇත.
- “…හඳට මිනිසා ගොඩ බැසීමෙන් ඉස්ලාමීය දේවවාදය මුසාවක් වී ඇත…” යනුවෙන් හා …”මුස්ලිම්වරුන්ගේ දෙවියන් සිටින්නේ හඳ එමනිසා තම ඒ පිරිස හඳට මුල්තැන දෙන්නේ…” මේ පසුගිය කාලවල අප රටේ ජාතික පුවත්පත්වල හා යහමඟ අඩවියට යොමු වූ අභියෝගයන්ය. මෙවැනි මතවාද දරණ පිරිස සදහා පිලිතුරු ලබාදිය යුතුව ඇත.
- “අල්ලාහ් (දෙවියන්) යනු ඔහු මායාවක් ඔහුට නිශ්චිත තැනක් හෝ ස්වරූපයක් නැත. ඔහු හැම තැනම සෑම ස්වරූපයකින් සිටී. අපි දකින සියල්ල අල්ලාහ් (දෙවි) තමා…” මේ මුස්ලිම් සමාජයේම එක්තරා පාර්ශවයක් “වහ්ජතුල් වුජූද්” නමින් දෙවියන් සම්බන්ධයෙන් මුස්ලිම් සමාජය තුල වපුරවන ඉතා භයානක මතවාදයකි. (මෙය ග්රීකවරුන් තම දෙවියන් සම්බන්ධයෙන් ඇති කරගත් මතවාදයක් වන අතර එය මුස්ලිම් සමාජය ද බිලිගෙන ඇත) මෙවැනි මතවාදීන් සදහා ද මෙම විෂය පිලිබදව කථා කලයුතුව ඇත.
මෙවැනි කාරණා රාශියක් හේතුකොටගෙන “අල්ලාහ් (දෙවි) සිටින්නේ කොහිද? ඔහු මොනවගේද?” යන කාරණය වෙත දැන් අවධානය යොමු කරන්නේ නම්,
මනුෂ්‍යා සදහා වූ ආහාර, නිවාස… වැනි මූලික අවශ්‍යතාවයන් පවතිනවා සේම ඉස්ලාම් පවසන දෙවියන් සදහා අවැනි අවශ්‍යතාවයන් ඇති නොවන බව පිලිගැනීම දේව විශ්වාසයේ මූලික අංගයකි. මන්ද අවශ්‍යතාවය යනු දුර්වලතාවයක් වන නිසාත්, ඉස්ලාම් පවසන දෙවියන් සියළුම ආකාරයේ දුර්වලතාවයන්ගෙන් සුවිශුද්ධ නිසාත් දෙවියන් හට අවශ්‍යතාවයන් ඇති නොවේ. (මේ පිලිබදව දීර්ඝ ලෙස මීට ඉහත ඉස්ලාම් පවසන දේව වාදය යන ලිපියෙන් සාකච්චා කොට ඇත) ඒ අනුව ඔහු සිටීමට නිෂ්චිත තැනක අවශ්‍යතාවය ඇති නොවන බව මෙහිදී පැහැදිලි ලෙස වටහා ගතහැකි වේ. එය එසේ වුවද ඉස්ලාම් දහම දෙවියන් සිටින ස්ථානය පිලිබදව නිෂ්චිත කර කරුණූ පවසයි. ඒ පිලිබදව ආගමික මූලාශ්රයන් වන ශුද්ධ වූ කුර්ආනය හා හදීසය තුලින් ඔබේ අවධානයට කරුණූ ගෙන එන්නේ නම්,
“අහසෙහි සිටින්නා, ඔබලාව පොළවෙහි ගිලෙන්නට නොසලස්වන්නෙහි යැයි ඔබලා නොබියව සිටින්නෙහුද?…”
ශුද්ධ වූ කුර්ආන් 67-16
” ‘අර්රහ්මාන්’ (මෙය දෙවියන් හදුන්වන නමක් වන අතර එහි අරුථ ‘පරමදයාලු’ යන්නයි) අර්ෂය මත අසුන්ගත්තේය.”
ශුද්ධ වූ කුර්ආනය 20-5
“මුහම්මද් (සල්) තුමාණන් වරක් එක්තරා වහල් ස්ත්රීයකගෙන් ‘අල්ලාහ් සිටින්නේ කොහිද?’ යනුවෙන් විමසන ලදී. එයට ඇය ‘අල්ලාහ් අහසේ සිටින්නේය‘ යැයි පැවසුවේය. ඉන්පසු නබිතුමාණන් ‘මම කවුද?’ යනුවෙන් ඇයගෙන් විමසුවේය. එයට ඇය ‘ඔබ අල්ලාහ්ගේ වක්තෘවරයාණන්’ යයි පැවසුවේය. එවිට නබිතුමාණන් ‘ඇය මූමීන් (සෑබෑ මුස්ලිම්) කාන්තාවක් ඇයව නිදහස් කරන්න’ යයි ඇයගේ ස්වාමියාට අණ කලේය.” මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලිම්
අබූ අර්ශද්