මුස්ලීම් සමාජයට වැදගත් වූ මාසයක් ඉදිරි දින කිහිපය තුල උදාවීමට නියමිතය. ඉස්ලාමීය දින දර්ශනයට අනුව “දුල්හජ්” නම් එම මාසය (2013 සැප්තැමිබර් මසයේ) ආරම්භ වීමට නියමිත වන අතර එය ඉස්ලාමීය දින දර්ශනයට අනුව වර්ෂයේ අවසාන මාසය වේ. වර්ෂයක් පාසා මෙම මාසයේ උදාවත් සමඟ එහි මහිමය හා එම මාසයේ මුස්ලීම්වරුන් කෙරෙහි අනිවාර්ය යුතුකමක් වූ හජ් වන්දනය පිලිබදව විවිධ පැති ඔස්සේ සමාජය තුල පුළුල් සංවාදයන් සිදුවේ. එවැනි සංවාදයන් කාලීන අවශ්‍යතාවයක් යන්නෙහි දෙවැනි මතයක් යහමඟ අඩවියට නැත.
නමුත් සම්ප්‍රදායක එම සංවාදයන්ගෙන් බැහැරව යමක් ඔබට ලබාදීමට උත්සාහ කරන අඩවියක් ලෙස මීට පෙරද මෙම විෂයට අදාලව “බක්කාවේ පිහිටා ඇති ප්‍රථම දෙව්මැදුර” යන ලිපිය ඉදිරිපත් කලා ඔබට මතක ඇතැයි සිතමි. අද දින “හජ් වන්දනය හා නබි ඉබ්බ්‍රාහීම් තුමා” යන මාතෘකාව ගෙන කරුණූ කිහිපයක් ඔබගේ අවධානයට යොමු කිරීමට අදහස් කරමි. මෙම මාසයත්, එම මාසයේ නිරත වන හජ් වන්දනයත් මුස්ලීම් සමාජයට ඉතා වැදගත් සංධිස්ථානයකි. සමස්ථ ලෝකවාසී ජනතාවම නියමිත දිනක එකම ස්ථානයකට ඒකරාශි වී එකම වර්ණයෙන් හා එකම ආකාරයට (නොමසන ලද) සළුකඩ දෙකක් දවටාගෙන (කාන්තාවන්ට මසින ලද ඇදුම් අදිය හැක) කිසිදු උස් පහත් භේදයකින් තොරව කුඩා, මහළු, කාන්තා, පිරිමි සියළුදෙනා සාමුහික ලෙස දේව වන්දනයේ නිරත වීම සුන්දර මෙන්ම ආදර්ශමත් දසුනකි. මෙහි ඇති අසමසම ආදර්ශය හොදින් නිරීක්ෂණය කල බ්‍රිතාන්‍ය හිටපු අගමැති “ග්ලාඩ්ස්ටෝන” වරක් තම පාර්ලිමෙන්තුවේ කල කථාව මුස්ලීම් සමාජයේ අවධානයට යොමු කිරීමට අදහස් කරමි. ඒ මෙම හජ් වන්දනයේ යථාර්ථය විටෙක මුස්ලීම් සමාජයට වඩා හොදින් ඔවුන් අවබෝධ කරගෙන ඇතැයි සිතෙන බැවිණි. එය මෙසේය, “කරුණු 03ක් සම්බන්ධයෙන් අප තිරණයක් ගන්නා තුරු මුස්ලීම්වරුන් හමුවේ අපගේ සංකල්ප පිලිනොගැනෙනු ඇත.
එහි පලමුවැන්න මේ කුර්ආනය (යයි පවසා ශුද්ධ වූ කුර්ආනයක් කෑලි කෑලිවලට ඉරා දමා) මෙලෙස ඉරා දැමීමෙන් එය විනාශ කල හැකි වේ යයි මා විශ්වාස නොකරමි. එය මුස්ලීම්වරුන්ගේ සිත් තුලින් ඉරා දැමිය යුතුය. දෙවැනි කාරණය සිකුරාදා දිනයන් හි (ප්‍රදේශවාසි) ඔවුන් සියල්ල ඒකරාශි වීම වැලැක්විය යුතුය. තුන්වැන්න (හජ් වන්දනය තුල) අරෆා නම් ස්ථානයේ දී ලෝකවාසි සියල්ල ඒකරාශි වීම වැලැක්වීම කල යුතුය.” ශුද්ධ වූ කුර්ආනයේ 3-103 වාක්‍ය යේ පවසන “තවද නුඹලා සියළුදෙනා අල්ලාහ්ගේ කුර්ආනය නැමැති ලණුව දැඩිව අල්ලා ගන්න. නුඹලා නොබෙදෙන්න” යනුවෙන් මුස්ලීම් සමාජයේ සාමූහිකත්ව බැඳීම අවධාරනය කරන ශුද්ධ වූ කුර්ආනය හා එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේ දී සුවිශේෂි අවස්ථාවන් වන සිකුරාදා “ජුම්මා” දින දේවස්ථානය හි මුස්ලීම්වරුන් ඒකරාශි වීමත්, හජ් වන්දනය පදනම් කරගෙන සමස්ථ ලෝක වාසී මුස්ලීම් බැතිමතුන් මක්කාවේ පිහිටි අරෆා නම් ස්ථානයේ ඒක රාශිවිමත් සැබැවින්ම මුස්ලීම් සමාජයේ සාමූහිතක්වය වර්ධනය කරන ප්‍රබල අවස්ථා දෙකකි.
එය මුස්ලීම්වරුන්ට වඩා හොදින් ඔහුට අවබෝධ කරගත හැකි වූ නිසා තමා ඉහත ආකාරයට ප්‍රකාශයක් සිදුකිරීමට හැකි වූයේ. එහි සදහන් අවස්ථා දෙක අතුරින් උච්චතම අවස්ථාව වන හජ් වන්දනය ආරම්භ වීමට නියමිතව තිබෙන මේ වකවානුවේ එම හජ් වන්දනය හා එයට පසුබිම් වී ඇති සිද්ධීන් මාලාව පිලිබදව “යහමඟ” පාඨක ඔබට කිසියම් අවබෝධයක් ලබාදීමට අදහස් කරමි. මෙහි දී ප්‍රථමයෙන් සදහන් කලයුතු කාරණයක් නම් මෙම “හජ්” වන්දනය ඉස්ලාම් දහම සෑම මුස්ලීම්වරයෙකු කෙරෙහිම (කොන්දේසි සහිතව) අනිවාර්ය කරන වගකීමක් යන්නයි. එනම් ආර්ථිකමය (වත්කම් ඇති) හා ශරීරික (නිරෝගි) ශක්තිය ඇති වැඩිහිටි වයස ලද (කාන්තාවක් නම් භාරකරුවකු සිටීම අත්‍යඅවශ්‍ය වේ) සෑම මුස්ලීම්වරයෙකු කෙරෙහිම මෙම වගකීම අනිවාර්ය වේ. මෙය ඉස්ලාම් පහත ආකාරයට අවධාරණය කරයි. එනම්, “(1)වඳුම් පිදුම් කිරීමට අල්ලාහ් හැර වෙන දෙවියෙක් නොමැත, මුහම්මද් (සල්) තුමාණන් අල්ලාහ් (දෙවියන්)ගේ දූතයාය, යන්න විශ්වාසයෙන් යුතුව පිලිගැනීමත්, (2) සලාතය (වන්දනය නිසි ලෙස) ඉටුකිරීමත්, (3)සකාත් (නම් අනිවාර්‍ය බද්ධ) නිසි ලෙස බෙදාදීමත්, (4)හජ් වන්දනයේ නිරත වීමත්, (5)රමලාන් (උපවාස) මාසයේ උපවාසය රුකීමත් යන කරුණූ 05 මත ඉස්ලාම් ගොඩනැඟී ඇත.” මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී, මුස්ලීම් ඉහත හදීසයට අනුව “හජ් ” වන්දනය සම්බන්ධයෙන් ඉස්ලාමීය ස්ථාවරය දැන් ඔබට පැහැදිලි ඇතැයි සිතමි. ඉහත හදීසයේ සදහන් කරුණු (යුතුකම්) 05 හොදින් විමසා බලන විට එහි “හජ්” වන්දනය යන්න අනික් කාරණයන් 04 ට වඩා තරමක වෙනස් ස්වරූපයක් ගනී.
සකාත්, උපවාසය හෝ සලාත් යනාදී වන්දනයන් මෙන් “හජ” වන්දනය ද තවත් එවැනි එක් ක්‍රියාවක් නොවේ. එය බොහෝ ක්‍රියාකාරකම්වල එකතුවක් වන ක්‍රියාදාමයකි. එය තවත් සරල පවසනවා නම් අතීතයේ ජීවත් වූ ශ්‍රේෂඨ වක්තෘවරයෙකුගේ “දේව අවනතභාවය හා දෙවියන් වෙනුවෙන් කර ලද කැපකිරීමන්” සිහිකිරීමකි. මිට වසර 4100 පමණ පෙර මක්කාව ආශ්‍රිත භූමියක ජීවත් වූ ශ්‍රේෂ්ඨ වක්තෘවරයෙකු වන ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාණන්ගේ ජිවිතය හා බැදුනු සිද්ධීන් මෙම “හජ්” වන්දනයට මූලික වී ඇත. ඒ පිලිබදව කෙටි හැදින්වීමක් සිදුකරන්නේ නම්, මීට වසර 4100 කට පෙර විසූ ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාණන්ගේ පියා ඇතුළු එම සමාජය දැඩි ලෙස පිළිම වන්දනයේ නිරත වූ සමාජයක් විය.
එසේම ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාණන්ගේ පියා පිළිම ඇඹීම තම වෘත්තිය ද කරගත් කෙනෙකු විය. එවන් වූ පසුබිමක ඉස්ලාම් දහම් ප්‍රචාරණ මෙහෙවරේ නිරත වන ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාණන් හට තම මෙහෙවර ජය ගැනීමට තිබූ බාධක එකක් දෙකක් නොවීය. එවන් බාධක හමුවේ තරුණයෙකු ලෙස හිද ඉතා සැලසුම් සහගත ලෙසත්, බුද්ධිමත් ලෙසත් එවකට සමාජයට ඉස්ලාම් දහම ප්‍රචාරය කරන්නටත්, මිත්‍යාවන්ගෙන් එම සමාජය මුදවා ගැනීමටත් කල මෙහෙවර ඉතා විශිෂ්ඨය. එතුමාණන්ගේ එම මෙහෙවර ශුද්ධ වූ කුර්ආනය පවා අද අපට කියාපාන්නේ එය සර්ව කාලීන ආදර්ශයක් මෙන්ම විශිෂ්ඨ වූ මෙහෙවරක් වූ නිසාම පමණි. එවන් වූ එතුමාණන්ගේ මෙහෙවර කිහිපයක් ඔබගේ අවධානයට ගෙන එන්නේ නම්, කෲර පාලකයා හමුවේ පවා ධෛර්යයෙන් හා බුද්ධිමත් ලෙස කටයුතු කල ආකාරය ශුද්ධ වූ කුර්ආනයේ 2-258 මඟින් පැවසේ, තම පියා හමුවේ ධෛර්යයෙන් සත්‍ය දහම අවධාරනය කල ආකාරය ශුද්ධ වූ කුර්ආනයේ 6-74, 9-114,19-42 සිට 49, 26-70 සිට 80, 37-85 සිට 89 දක්වා වූ වාක්‍යයන් මඟින් දැකගත හැක. සත්‍ය දහම අවබෝධ කරගත් ආකාරය හා ඒ සදහා තමන් තුල ගොඩනැඟූ තර්ක පිලිබදව ශුද්ධ වූ කුර්ආනයේ 6-76,77,78 හා 79 හි සදහන් වේ. එවකට පැවතී මිත්‍යා ඇදහිල්ලක් වන පිළිම වන්දනයට එරෙහිව නැඟිසිට කටයුතු කල ආකාරය ශුද්ධ වූ කුර්ආනයේ 21-52 සිට 67, 37-91 සිට 96, 60-4 යනාදී වාක්‍යයන් මඟින් අවධාරණය කරයි. ඉස්ලාම් දහමේ උන්නතිය වෙනුවෙන් මෙලෙස විශිෂ්ඨ මෙහෙවරක නිරත වූ එතුමාණන්ව අල්ලාහ් (දෙවියන්) ඉතා සංකීර්ණ හා ගැඹුරු පරීක්ෂණවලට බදුන් කිරීම වර්ථමාන මුස්ලීම්වරුන් වන අපව අදටත් මවිතයට පත් කරවන කාරණයකි. ඒ පිලිබදව කෙටි සදහනක් කරන්නේ නම්, පරිපූර්ණ දේවගැති වක්තෘවරයෙකු වන ඉබ්‍රාහීම් (අලෛ) තුමාණන් සත්‍ය දහම එවකට පැවතී ජනතාව මධ්‍යයේ ප්‍රකාශ කිරීම හේතුවෙන් එහි පාලකයන්ගේ කෘර දඬුවමවලට ගොදුරුවන්ට සිදුවිය. විටෙක ගිනිමැලයන්ට පවා එතුමාණන්ව දමන ලදී. නමුත් එතුමාණන් තම ස්ථාවරයෙන් කිසි විටෙක සැලුනේ නැත. මෙලෙස බාධක හමුවේ ජීවිත් වූ ඉබ්‍රාහීම් (අලෛ) තුමාණන් විවාහපත් වූවායින් පසු (සෑම වැඩිහිටියෙක්ම අපේක්ෂා කරන) දරු සුරතල එතුමාත් ඉහලින්ම අපේක්ෂා කරන ලදී. ඒ වෙනුවෙන් අල්ලාහ් (දෙවියන්)ගෙන් ප්‍රාර්ථනා කරමින් කාලය ගෙවී ගොස් ඒ යුවල ඉතා මහළු වියට පත්වුවද දරු පල නොලැබුණි.
අවසානයේ “දැන්නම් ඉතින් අපට දරු සම්පතක් නොලැබෙනු ඇත (යන්න සිතෙන තරමට වයොවෘද්ධ වූ අවධියක)” ඔවුනට දරුසම්පත් පිලිබදව සුභාරංචි (මලාඉකාවරුන් මඟින්) අල්ලාහ් (දෙවියන්) ප්‍රකාශ කරන ලදී. එය ශුද්ධ වූ කුර්ආනයේ 11-71, 72,73, 14-39, 15-53, 54,55, 51-29… යනාදී වාක්‍යයන් මඟින් කියවීමට හැක. ඉහත සදහන් ආකාරයට එම යුවලට දේවදූතයන් මඟින් සුභාරංචි පැවසූවිට එයට ඔවුන් දැක්වූ ප්‍රතිචාරය ශුද්ධ වූ කුර්ආනයේ පහත ආකාරයට සදහන් වේ. එයට ඔවුන් පැවසූවා “අහෝ ශෝකයකි!, මම වයොවෘද්ධි වී මගේ ස්වාමියාද මහළුවියට පත්ව ඇත. මෙවන් අවධියක මා දරුවකු බිහිකරයිද? නියත වශයෙන්ම එය විශ්මය ජනක කාරණයකි” ශුද්ධ වූ කුර්ආනය 11-72 ඉහත ආකාරයට එතුමාණන් හට දරු භාග්‍යය ලබාදෙන දෙවියන් එම දරුවා බිහි වූ පසු එම කිරිකැටි දරුවාගේ සුරතල් දැකීමට හා එය විඳීමට අල්ලාහ් (දෙවියන්) එතුමාණන් හට අවස්ථාව ලබා දෙන්නේ නැත. එම අවස්ථාවේ එතුමාණන්ව තවත් පරික්ෂණයකට බඳුන් කරයි.
එනම් තම වයෝවෘද ආදර බිරිද හා තම කුළුදුල් කිරිකැටි දරුවා මක්කා නම් කාන්තාරයට ගෙන ගොස් එහි තනිකොට පැමිණෙන ලෙස අණ කරයි. ගහක් කොලක් පිපාසයට බොන්න දියබිඳක් නොමැති කාන්තාරයක තම කිරිකැටි දරුවා සහා ආදර බිරිද හැරදා දේව නියෝගයට අවනතව ඉතා දුක්මුසු ලෙස පැමිණෙන ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාණන් අල්ලාහ් (දෙවියන්)ගෙන් මෙලෙස ප්‍රාර්ථනාවක් ද කරයි. එනම්, “අපගේ දෙවියණේ!, නියත වශයෙන්ම මාගේ පවුල (දරුවා හා බිරිද) උතුම් වූ ඔබේ නිවස වන නටඹුන්ව පැවතී ක:බාව) ආසන්නයේ, ගහක් කොලක් නොමැති මිටියාවතක ඔබ නැමදුම සදහා පදිංචිකොට පැමිණියෙමි. එමනිසා අපගේ දෙවියණේ!, මිනිසුන් අතුරින් සමහරකගේ හදවත් තුල ඔවුන් කෙරෙහි ආදරයක් ඇති කරත්වා!, ඔවුන් කෘතගුණ දැක්වීම පිණිස ඔවුනට පළතුරු (යනාදී ආහාර) ලබාදෙත්වා!” ශුද්ධ වූ කුර්ආනයේ 14-37 එතුමාණන්ගේ එම ප්‍රාර්ථානාවට ප්‍රතිචාර දැක් වූ අල්ලාහ් (දෙවියන්) එදා පටන් අද දක්වා පමණක් නොව අනාගතයේදීත් කිසිදු දිනෙක නොහිදෙන “සම් සම්” නම් දිය උල්පතක් විශ්මිත අයුරින් එම කාන්තාරයේ මතු කරන ලදී.
අදටත් විනාඩියකට ජල ගැලුම් 700ක් පමණ ජලය ලබාගන්නා එම උල්පත හජ් වන්දනාකරුවන්ගේ දැඩි ආකර්ශනය දිනාගත් ස්ථානයක් පවතී. (මේ පිලිබදව ඉදිරියේදී තවත් කරුණු අණාවර්ණය කිරිමට අදහස් කරමි) එපමණක් නොව එම භූමිය ආහාර පානවලින් පිරුණු භූමියක් බවට ද පත් කරන ලදී. මේ හේතුව නිසා කාන්තාරයක්ව පැවතී එම භූමිය කෙමෙන් කෙමන් ජනාවාස ඉදිවෙමින් මක්කා නම් නගරය බිහිවන්නට විය. මෙය ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාගේ කැපකිරීමට හා අවනතභාවයට අල්ලාහ් (දෙවියන්) ලබාදුන් මහත් ගෞරවයකි.
මෙලෙස දේව නියමය පරිධි පරිපූර්ණ ලෙස දෙවියන්ට අවනතව කටයුතු කල ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාණන් දීර්ඝ කාලයක් (වසර ගණනාවක්) තම දරුවා හා බිරිදගෙන් වෙන්ව ජිවත් වීමෙන් අනතුරුව (දේව නියමය මත) නැවත ඔවුන් හා එක්වීමේ භාග්‍යය එතුමාණන්ට හිමි වේ. දරු සෙනෙහස හිතේ පුරවා ගෙන දීර්ඝ කාලයකට පසු තම කුළුදුල් දරුවා සමඟ එක්වන ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාණන්ව අල්ලාහ්(දෙවියන්) තවදුරටත් පරික්ෂා කිරිමට තිරණය කරයි.
එහිදී ඔහුට අල්ලාහ් (දෙවියන්) දෙන අභියෝගය එතරම් සරල එකක් නොවේ. එය එතුමාණන්ට නොව මේ මිහිමත කිසිදු පියෙකුට ඉටුකල නොහැකි සංකීර්ණ අභියෝගයකි. එනම් තම “කුළුදුල් දරුවා තම අතින්ම ඝාතනය කලයුතු” යන්නයි. දරුවෙකු අපේක්ෂාවෙන් බලාපොරොත්තු පොදි බැදගෙන ජීවත් වී “දැන්නම් දරුවෙකු ලැබෙන්නේ නැහැ” යයි සිතෙන අවධියක එතුමාණන්ට දරු සම්පත ලබාදී ඒ දරුවාගේ දරු සුරතල් බැලීමට අවස්ථාව ලබානොදී ඔවුන් දෙදෙනා දීර්ඝ කාලයකට දුරස් කොට ඉන්පසු ඔවුන් දෙදෙනා හමුවීමට සලස්වා එතැන දී “තම අතින්ම එම ආදර දරුවා මරා දමන්න” යයි අල්ලාහ් (දෙවියන්) අණ කරන්නේ නම් එතුමාණන්ව දෙවියන් කොතරම් ගැඹූරින් පරීක්ෂා කරනවාද? යන්න මොහොතක් විමසා බලන්න. ආරම්භයේ පටන් විවිධ කැපකිරීමන් සිදුකරමින් දෙවියන්ට අවනත වූ ඉබ්‍රාහීම් (අලෛ) තුමාණන් හට මහළුවියේ දී ලැබුණූ ඒ කුළුදුල් දරුවා තම අතින් ම ඝාතනය කිරීම යන්න පියෙකු ලෙස එතරම් පහසු කටයුත්තක් නොවේ යන්න මා පවසා ඔබ දැනගැනීමට අවශ්‍ය නොවනු ඇත.
නමුත් දෙවියන් කෙරෙහි පැවතී විශ්වාසය හා අවනතභාවය නිසා එම දේව නියෝගය ද ඉටු කිරීමට එතුමා පෙළඹේ. ඒ අනුව තම දරුවා වන ඉස්මායිල් (අලෛ) තුමාව ඝාතනය කිරීම සදහා නිවසින් බැහැරව රුගෙන යන ඉබ්‍රාහීම් (අලෛ) තුමා එක්තරා ස්ථානයකට පැමිණ දේව නියමය පරිධි තම දරුවා ඝාතනය කිරීමට සූදානම් වේ. එහිදී අල්ලාහ් (දෙවියන්) විසින් “එම දරුවා ඝාතනය නොකරන ලෙසත් ඒ වෙනුවට ප්‍රාණියකු ඝාතනය කරන්න” යනුවෙන් අණ කොට ඔහුව එම පරීක්ෂණයෙන් ද සමත් කරයි. මේ පිලිබදව විස්තර ශුද්ධ වූ කුර්ආනයේ 37-102 සිට 108 දක්වා වූ වාක්‍යයන් මගින් ඔබට දැකගත හැක. මෙලෙස මහත් කැපවීමක් කරමින් පරිපූර්න ලෙස දෙවියන්ට අවනත වූ ඉබ්‍රාහීම් (අලෛ) තුමාණන් පිලිබදව ශුද්ධ වූ කුර්ආනය මඟින් අල්ලාහ් (දෙවියන්) පවසන පහත පාඨයන් මොහොතක් විමසා බලන්නේ නම් එතුමාණන්ගේ අවනතභාවය කොතරම්ද යන්න මනාව අවබෝධ කරගත හැකි වනු ඇත. එනම්, “තවද ඉබ්බ්‍රාහීම්ව ඔහුගේ දෙවියන් විවිධ නියෝග නිකුත් කර (ඉමහත් ලෙස) පිරික්සුමට ලක්කල අවස්ථාවේ දී ඔහු ඒ සියල්ල පූර්ණ වශයෙන් ඉටු කලේය.
(එබැවින් අල්ලාහ් (දෙවියන්) ඔහුට) ‘නියත වශයෙන්ම මා ඔබව මිනිසුන්ට (සෘජු මාර්ගය පෙන්විය හැකි) ප්‍රධානියෙකු බවට පත් කරන්නෙමි’ යයි පැවසුවේය. එයට ‘මාගේ පරම්පරාවේ දරුවන්වත් එලෙස කරන්නේද?’ යනුවෙන් (ඉබ්බ්‍රාහීම්) විමසුවේය. එයට ‘අපරාධකරුවන්ට මාගේ (මෙම) පොරොන්දුව අත් වන්නේ නැත’ යයි (අල්ලාහ් (දෙවියන්)) පැවසුවේය.” ශුද්ධ වූ කුර්ආනය – 2-124 “(තවද) ඔහුට ඔහුගේ දෙවියන් ‘ඔබ (මට) අවනත වනු!’ යයි පැවසූ අවස්ථාවේ දී, ඔහු (කිසිදු පැකිලීමක් නොමැතිව) ‘සකල ලෝකයෙහිම දෙවියන් වන ඔබට මා අවනත වුනෙමි’ යයි පැවසුවේය.” ශුද්ධ වූ කුර්ආනය – 2-131 ඉතිහාසයේ කිසිදු තැනක දක්නට නොමැති ආකාරයට මෙපමණ විශාල කැපකිරීමන් සිදු කරමින් සැබෑ දේවගැති මුස්ලීම්වරයෙකු ලෙස කටයුතු කිරීම වෙනුවෙන් අල්ලාහ් (දෙවියන්) එතුමාණන්ට උතුම් වූ භාග්‍යයක් ලබාදෙන ලදී. ඒ මේ මිහිපිට වෙන කිසිවකුටත් නොලැබුණූ හා කිසිදු දිනක නොලැබෙන “අල්ලාහ්ගේ මිත්‍රය” යන භාග්‍යයි. එය ශුද්ධ වූ කුර්ආනයේ 4-125 මඟින් අල්ලාහ් (දෙවියන්) අපට කියාපායි. එපමණක් නොවේ එතුමාණන්ගේ කැපකිරීම හේතුවෙන් එතුමාණන්ට හා එතුමාණන්ගේ පවුලට අල්ලාහ් (දෙවියන්) ලබාදුන් භාග්‍යයන් ද සුළුපටු නොවන බව පැවසූ මුහම්මද් (සල්) තුමාණන් “එම භාග්‍යයන් මටද ලැබීම සදහා නුඹලා මා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න” යයි අපට පවසන ලදී. ඒ අනුව ලොවපුරා වෙසෙන සියළු මුස්ලිම්වරුන් දිනපතා (දිනකට කිහිපවතාවක්), “අල්ලාහ් (දෙවියනේ)!, ඉබ්බාහීම් තුමාණන්ට භාග්‍යයන් ලබාදුන්නාසේ මුහම්මද් (සල්) තුමාණන්ටත් ලබාදෙන්න, ඉබ්බ්‍රාහීම් තුමාගේ පවුලට භාග්‍යයන් ලඟාකරාසේ මුහම්මද් (සල්) තුමාගේ පවුලටත් භාග්‍යයන් ලඟාකරන්න.” යනුවෙන් ප්‍රාර්ථනා කරයි. මෙම ප්‍රාර්ථනය මුහම්මද් (සල්) තුමාණන් වෙනුවෙන් මේ ලෝක විනාශය දක්වාම ලොව සෑම මුස්ලීම්වරයෙකුම දිනපතා ප්‍රාර්ථනා කරන්නේ නම්, ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාණන්ටත්, එතුමාණන්ගේ පවුලටත් අල්ලාහ් (දෙවියන්) ලබාදී ඇති භාග්‍යයන් කොතරම් උතුම් වූ එකක් වියයුතුද? යන්න මා පැහැදිලි කිරීමට අවශ්‍ය නොවනු ඇත. මෙතරම් ශ්‍රේෂ්ඨත්වයක් ලඟා කරගත් ඉබ්බ්‍රාහිම් (අලෛ) තුමාණන්ට අල්ලාහ් දෙවියන් ලබාදුන් තවත් ගෞරවයක් මෙහිදී සදහන් කලයුතුව ඇත.
ඒ ලොව ප්‍රථම දෙව් මැදුර වන ක:බාව ප්‍රතිසංස්කරණය කොට එය වන්දනය (හජ් වන්දනය) සදහා ජනතාවට ආරාධනා කිරීමේ භාග්‍යය එතුමාණන්ට ලබාදෙන ලදී. එම ආරාධනය එවකට ලොව ජීවත් වූ මුස්ලීම්වරුන් සදහා පමණක් වූ එකක් නොව එදා පටන් ලොව අවසාන දිනය දක්වා වූ සෑම මුස්ලීම්වරයෙකු සදහාම පොදු වූ ආරාධනයක් බව නබිතුමාණන් පවසන ලදී. මෙය ශුද්ධ වූ කුර්ආනයේ 2-127, 14-35, 22-26, 22-27, 2-125, 3-97… යනාදී වාක්‍යයන් මඟින් ඔබට දැකගත හැක. ඒ අනුව ලොව නන්දෙසින් හජ් වන්දනය සදහා පැමිණෙන සියළු මුස්ලීම්වරුන් ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාණන් හා එතුමාගේ බිරිද එදා කල කැපකිරීමන් හා ඒහා බැඳුනු ක්‍රියාකාරකම් සංකේතාත්මක ලෙස ක්‍රියාවට නැංවීම මෙම හජ් වන්දනයේ එක් අංගයක් ලෙස ඉස්ලාම් මුස්ලීම් සමාජයට අවධාරනය කරයි. මෙයද එතුමාණන් හට ඉස්ලාම් ලබාදී ඇති තවත් ගෞරවයකි. මෙවන් වූ ශ්‍රේෂ්ඨත්වයන් පිරි එතුමාණන්ව අල්ලාහ් දෙවියන් “මොහු (තනි පුද්ගලයෙකු නොව) එක් ජන සමූහයක්” යයි ශුද්ධ වූ කුර්ආනයේ 16-120 ආමන්ත්‍රණය කොට එතුමාණන්ගේ මෙහෙවර සදහා අල්ලාහ් දෙවියන් ලබාදෙන සහතිකය මුස්ලීම් සමාජය මොහොතක් බුද්ධිමත් ලෙස විමසා බැලීම කාලීනය. “ඉබ්බ්‍රාහීම් එක් ජන සමූහයක් ලෙසත්, අල්ලාහ් (දෙවියන්)ට අවනත වූ කෙනෙකු ලෙසත්, සත්‍ය මාර්ගයේ සිටියේය. (දෙවියන්ට) සමානයන් තබන්නෙකු ලෙස ඔහු සිටියේ නැත.” අල්ලාහ් (දෙවියන්)ට පරිපූර්ණ ලෙස අවනතව, සත්‍ය මාර්ගයෙන් බැහැර නොවී, දේව විශ්වසයේ නොසැලී, දෙවියන්ට සමානව කිසිවක් හෝ කිසිවකු නොගෙන ක්‍රියාකල එතුමාණන් සැබැවින්ම විශිෂ්ඨ වූ උත්තමයකි. එවන් වූ විශිෂ්ඨ චරිතය තුල උගතයුතු බොහෝ පාඩම් අපට ඉතිරිව ඇත. එතුමාගේ ජීවිතය තුල පැවතී අවනතභාවයත්, කැපකිරීමත්, විශ්වාසයත් වර්ථමාන මුස්ලීම්වරුන් වන අපට බොහෝ දෑ කියාපායි. එපමණක් නොව දහම් ප්‍රචාරයේ පැවතී බුද්ධිමත්භාවයත්, ධෛර්‍යයත්, නොසැලීමත්, ඉවසීමත් අපට බොහෝ දෑ සිතීමට පොළොඹවයි. ඒ සියල්ල සාරාංශ කොට අවසාන වශයෙන් පවසන්න ඇත්තේ ආදර්ශ ලබන සමාජයකට එතුමාණන් පරිපූර්ණ ආදර්ශයක් යන්නයි.
අබූ අර්ශද්