හජ් සහ උම්රා ඉටු කළ යුතු අාකාරය 02

ඉස්ලාම්

කාබාව

මක්කාවට ඇතුළුවීම – මක්කාවට ඇතුළුවීමට පෙර ස්නානය කර ගැනීමට අවස්ථාවක් ඇත්නම් ස්නානය කරගත යුතුයි. දවල් කාලයේ මක්කාවට ඇතුළුවීම ඉතා යෝග්‍ය වේ.(බුහාරී 1573) මක්කාවට ඇතුළු වන විට‍ මුඅල්ලාත් නැමැති ඉදිරිපසින් ඇතුළු විය යුතු යි. ක:බාව පිහිටා ඇති මස්ජිදුල් හරමයට ඇතුළු වන විට ද අනිකුත් මස්ජිද් වලට ඇතුළු වන විට සිදුකරන්නාක් මෙන් වම්පාදය ඉදිරියට තබා ඇතුළු විය යුතු වේ. අනිකුත් මස්ජිද්වලට ඇතුළු වන අවස්ථාවේදී පාරායනය කරනු ලබන “اللهم افتح لي أبواب رحمتك අල්ලාහුම්මෆ්තහ් ලී අබ්වාබ රහ්මතික් (දෙවියාණෙනී! කරුණාවේ දොරටුව මා හට විවෘත කරනු මැනව) නැමැති දුආවම පාරායනය කළ යුතු වේ.

තවාෆුල් කුදූම් – ක:බාවට ඇතුළු වූ විගස ඉටුකරනු ලබන පළමු තවාෆය තවාෆුල් කුදූම් යැයි හඳුන් වනු ලැබේ. තවාෆුල් කුදූම් යන්නෙහි තේරුම පැමි‍නීමේ තවාෆය යන්නයි. ක:බාවට පැමිණි විගස මෙම තවාෆය ඉටුකරන නිසා මෙයට තවාෆුල් කුදූම් යැයි කියනු ලැබේ. තවාෆුල් කුදූම කළ යුතු ආකාරය – ශුද්ධ වූ ක:බාවහි වටේට සත් වතාවක් සක්මන් කිරීම තවාෆ් වේ. තවාෆුල් කුදූම් වලදී පමණක් පළමු වට තුන දිව ගොස් තවාෆ කළ යුතු අතර ඉතිරි වට හතර සක්මන් කළ යුතු වේ.(බුහාරී – 1644,1617) තවාෆ් කරන අවස්ථාවේදී පුරුෂයින් තම දකුණු උරහිස ආවාරණය නොව ආකාරයට ඉහ්රාම් ඇඳුම සකසා ගත යුතු වේ.( සාක්ෂි තිර්මිදී 787,අබූදාවූද් 1607) ක:බාව තම වමතට පිහිටන පරිදි සිට ‍ගෙන හජරුල් අස්වද් ගල (මෙය ක:බාවේ එක් කොනක පිහිටා ඇත.) අතින් ස්පර්ශ කර, එම අත සිපගෙන තවාෆයේ වටය ආරම්භ කළ යුතු වේ.
නැවතත් එම හජරුල් අස්වද් ගල පිහිටි ස්ථානයට පැමිණි විට එක් වටයක් ලෙස සලකා වට හතරක් ගමන් කළ යුතුය.(සාක්ෂි මුස්ලිම් 2213,2214) හජරුල් අස්වද්ගල අතින් ස්පර්ශ කළ නොහැකි තරමට සෙනග නම් හජරුල් අස්වද් ගල වෙත ඉඟි කර, තවාෆය ආරම්භ කළ යුතුවේ. එක් එක් වටයක් ආරම්භයේදී හජරුල් අස්වද්ගල අතින් ස්පර්ශ කර අත සිප ගත යුතු ය. සෑම වටයේදීම හජරුල් අස්වද් ගල වෙත පැමිණි විට අල්ලාහු අක්බර යැයි තක්බීර් පැවසිය යුතු ය.( බුහාරී – 1613) ක:බාවේ තවත් කොනකි රුක්නුල් යමාන් නම් කොන. තවාෆ් කරන අවස්ථාවේ දී මෙම රුක්නුල් යමාන් නම් කොන වෙතින් ගමන් කරන විට එය ද අතින් ස්පර්ශ කර අත සිප ගත යුතු වේ. එසේ කිරීමට අපහසු තරමට සෙනග නම් ඒ දෙසට ඉඟි කිරීම අවශ්‍ය නොවේ. රුක්නුල් යමානය හා හජරුල් අස්වද් ගල අතරින් ගමන් කරන විට පහත දුආව පාරායණය කළ යුතු යත.
(අහ්මද් 14851, අබූ දාවූද් 1616) رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ

“රබ්බනා ආතිනා ෆිද් දුන්යා හසනතන් වෆිල් ආහිරති හසනතන් වකිනා අසාබන් නාර්”(දෙවියනී! අපහට මෙලොවේදීත් යහපතම දෙනු මැනව! පරලොවේදීත් යහපතම දෙනු මැනව!)

වට හතක් අවසානයේ මකාමු ඉබ්රාහීම් නම් ස්ථානයට ගොස්, وَاتَّخِذُوا مِنْ مَقَامِ إِبْرَاهِيمَ مُصَلًّى” (වත්තහදූ මිම් මකාමි ඉබ්රාහීම මුසල්ලා) (අල්කුර්ආන් 2-125) යැයි පාරායණය කළ යුතු වේ. මෙම අවස්ථාවේදී පුරුෂයින් තවාෆ් අවස්ථාවේදී නිරාවරණය කර තිබූ දකුණු උරහිස ද ඉහ්රාම් රෙද්දෙන් ආවරණය කර ගත යුතු යි. මකාමු ඉබ්රාහීම් නම් ස්ථානය තමා හා ක:බාව අතර පිහිටන සේ සිට රකඅත් දෙකක් සලාතය ඉටුකළ යුතු වේ.

එම සලාතයේදී පළමු රකඅතය ඉටුකර විට කුල්යා අයුයුහල් කාෆිරූන් සූරාවද, දෙවන රකඅතයේදී කුල්හුවල්ලාහු අහද් සූරාවද පාරායනය කළ යුතු ය.(මුස්ලිම් 2137) සලාතය අවසන් වූ විට සම්සම් ජලය ඇති ස්ථානයට ගොස් එය පානය කර, එයින් ස්වල්පයක් හිසිහි තවරා ගත යුතු ය.(අහ්මද් 14707) අවසානයේදී හජරුල් අස්වද් ගල වෙත නැවත ගොස් එය අතින් ස්පර්ශ කර අත සිප ගත යුතුය.(මුස්ලිම් 2137). මෙයින් තවාෆය අවසන් වන අතර ඉන් පසු සඊ කරීමට යා යුතු ය.

සෆා මර්වා අතර සඊ කිරීම –

සඊ යනු සෆා සහ මර්වා නම් ස්ථාන දෙක අතර දිවීම වේ. මෙසේ වාර හතක් දිවිය යුතුයි. සෆා සිට මර්වා දක්වා දිවීම එක් වාරයක් ලෙසද යළිත් මර්වා සිට සෆා දක්වා දිවීම තවත් වාරයක් ලෙස ද ගනන් ගෙන වාර හතක් දිවිය යුතු ය. දිවීම ආරම්භ කළ යුත්තේ සෆා වල සිටය. මර්වා වලින් අවසන් වේ. මුලින් තවාෆ් වලින් පසු සෆා නැමැති ස්ථානයට පැමිණ,

“إِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِنْ شَعَائِرِ اللَّهِ”
(ඉන්නස් සෆා වල් මර්වත මින් ෂආයිරිල්ලා) (සෆා සහ මර්වා අල්ලාහ්ගේ සලකුණු වේ. අල් කුර්ආන් – 2-158)
යන ශුද්ධ වැකිය පාරායනය කළ යුතු ය. දිවීම ස‍‍ෆා නැමැති ස්ථානයෙන් ආරම්භ කිරීමට ඒමත නැග ක:බාව දෙස බැලිය යුතු යි. ක:බාව දෙසට හැරී ‘ලාඉලාහ ඉල්ලල්ලාහ්’ යැයි පවසා ‘ අල්ලාහු අක්බර්’ යැයි තක්බීර් පැවසිය යුතු ය. පසුව පහත සඳහන් දුආව තුන් වරක් පාරායනය කළ යුතු ය.
“لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ، أَنْجَزَ وَعْدَهُ، وَنَصَرَ عَبْدَهُ، وَهَزَمَ الْأَحْزَابَ وَحْدَهُ”
ලායිලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීකලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයියින් කදීර්, ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහ්, අන්ජස ව:දා, වනසර අබ්දහ්, වහසමල් අහ්සාබ වහ්දා මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලිම් – 2137 මෙම දුආව පාරායනය කරන අතරතුර තමන්ට අවශ්‍ය ප්‍රාර්ථනාවන්ද කළ හැකිය.

මෙම දුආව පාරායනය කළ පසු මර්වා නම් ස්ථානය වෙත දිවිය යුතුය. මර්වාව වෙත දුවන අවස්ථාවේදී බදනුල් වාදී (වර්ථමානයේ මෙම ස්ථානය කොළ පැහැති විදුලි පහනින් සංඥා කර ඇත.) නම් ස්ථානයේදී වේගයෙන් දිවිය යුතු ය. මර්වා නම් ස්ථානයට පැමිණි පසු මර්වා කන්දට නැග කිබ්ලා දෙසට හැරී සෆාවල ඉටුකළ එම දුආ ප්‍රාර්ථනාවම මෙම මර්වා නම් ස්ථානයේද කළ යුතු ය. පසුව සෆා නමැති ස්ථානයට දිවිය යුතු වේ. මෙය දෙවන වාරය යි. මේ ආකාරයට හත් වාරයක් දිවීමෙන් පසු මර්වා වලින් සඊ කිරීම අවසන් වේ.

හිස බූ ගෑම

මර්වා වලින් සඊ කිරීම අවසන් වූ විටහිසකෙස කපා අඩු කර ගත යුතුය. මේ සමග උම්රාව අවසන් වේ. මින් පසු දුල්හජ් හස 8 වන දින යළිත් හජ් සඳහා ඉහ්රාම් ඇඳිය යුතුය. සංසර්ගය ඇතුළුව ඉහ්රාමය නිසා තහනම් වූ සියල්ල දැන් මොහුට අනුමත වෙයි. මෙම අනුමැතිය ඇත්තේ යළිත් දුල් හජ් මස 8 වන දින හජ් සඳහා ඉහ්රාම් ඇඳ ගන්නා තුරු පමණි.

Related Post