ඉස්ලාම් හි මූලික පදනම විශ්වාසයයි

අද අන්තර්ජාලය තුල ඉස්ලාම් යනු කුමක්ද?’යනුවෙන් සොයා බලන විට බොහො‍් විට දක්නට ලැබෙන්නේ ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමන් පවා විකෘති ‍කරමින් ඉස්ලාම් යයි දේශනා කරන වැදි බණ සම්ප්‍රදායකි.

විශ්වාසය අපගේ ජීවිතයේ පදනමයි

විශ්වාසය අපගේ ජීවිතයේ පදනමයි

ඉස්ලාම් විරෝධීන්ගේ මෙම සම්ප්‍රදායට ජාත්‍යන්තරය තුල දීර්ඝ ඉතිහාසයක් පැවතුනද අප රටේ එවැනි සම්ප්‍රදායක් මෑතක් වන තුරු දක්නට නොවුණි. නමුත් කවදත් ජාත්‍යන්තරය පූර්වාදර්ශයට ගන්නා අපේ නූතන වාදී ඔස්තාර්ලා ඉස්ලාම් දහමට එරෙහිව සමාජ මතවාදයක් ගොඩනැඟීම පිණිස ඉහත ජාත්‍යන්තර ඉස්ලාම් විවේචකයන්ගේ වාද හා තර්ක අද වනවිට තම නිපැයුම් හා සොයා ගැනීමන් ලෙස සමාජගත කරමින් සමාජ මතවාදයන් නිර්මාණය කරමින් සිටී. බුද්ධිමත් තර්ක විතර්ක පදනම් කරගෙන ඉස්ලාම් දහමට එරෙහිව මතවාදයන් ඉදිරිපත් කිරීම කිසිවිටෙක ප්‍රතික්ෂේප කරන දහමක් ඉස්ලාම් නොවේ. ඉස්ලාම්, ඒ සදහා මිනිස් සමාජයට අභියෝග කරන දහමකි. කෙසේ නමුත් පොදුවේ ඕනෑම වාදයක් චෝදනාවක් කිසියම් මතවාදයකට එරෙහිව ඉදිරිපත් කිරීමේ දී ඒ සදහා තිබිය යුතු මූලික අවශ්‍යතා කිහිපයක් ඇත. එහි ප්‍රධානතම අවශ්‍යතාවය නම් තමන් ඉදිරිපත් කරන විෂය පිලිබදව තමන් තුල ඇති දැනුමයි. අද ඉස්ලාම් දහම විවේචනය කරමින් කරුණූ දක්වන පිරිසගේ තර්ක හා අභියෝග දෙස බලන විට එය මුස්ලීම්වරුන් වන අපට විනෝදජනකය. මෙවැනි හාස්‍යජනක වාදයන් පදනම් කරගෙන ඔවුන් සදහා කරුණූ පැහැදිලි කිරීමේ ලිපි ගණනාවක් ම මෙම අඩවිය තුල මීට ඉහත ඉදිරිපත් කර ඇත. නිදසුනක් ලෙස පවසනවා නම් ‘අල්ප දැනුමේ අදෝනාව‘ එවැනි එක් ලිපියකි. කෙසේ වෙතත් ඉස්ලාම් දහමේ මූලික ඉ‍ගෙන්වීමන් පවා නොදැන මෙලෙස පාළුගෙදර වලං බිඳින විවේචකයන්ගේ අවධානයට ඉස්ලාමීය මූලික පදනම කුමක්ද? යන්න පිලිබදව මෙහිදී සාක්ච්චා කිරීමට අදහස් කරමි.
ඉස්ලාමීය මූලික පදනම් කුමක්ද? යන්න මීට ඉහත මෙම අඩවිය තුල ‘ඉස්ලාම් යනු කුමක්ද?‘ යන මාතෘකාව ඔස්සේ තරමක් දුරකට සාකච්චා කොට ඇත. තවදුරටත් ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමන් පිලිබදව කථා කිරීමේ දී එය ප්‍රධාන කොටස් දෙකක් ඔස්සේ කථා කලයුතුව ඇත. එනම්, ‘ඊමාන්’ යනු කුමක්ද? හා ‘ඉස්ලාම්’ යනු කුමක්ද? යනාදී වශයෙනි. මුස්ලීම් නොවන සහෝදරයන් හට මෙහිදී ගැටළුවක් ඇතිවිය හැක. එනම් ‘ඉස්ලාම් යනු කුමක්ද? යන්න පිලිබදව කථා කිරීම සම්බන්ධයෙන් නම් අපට අවබෝධයක් ඇත. නමුත් ඊමාන් යනු කුමක්ද? යන්න තුලින් අදහස් කරන්නේ කුමක්ද?’ යන ඔවුන්ගේ ගැටළුවයි. මෙය සමහරක් මුස්ලීම්වරුන්ට පවා ඇති ගැටළුවකි. මේ හේතුව නිසා ප්‍රථමයෙන් මේ ‘ඉස්ලාම්’ හා ‘ඊමාන්’ යන යනු කුමක්ද? යන්න ඉස්ලාමීය ඉගෙන්වීමන් පදනම් කරගෙන විමසා බලන්නේ නම්,

මුහම්මද් (සල්) තුමාණන් තම අනුගාමික පිරිස සමඟ එක්තරා ස්ථානයක අසුන්ගෙන සිටින විට එම ස්ථානයට පැමිණී ආධූනික තැනැත්තෙකු නබිතුමාණන් සමීපයේ අසුන්ගෙන ‘ඊමාන් යනු කුමක්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘ඊමාන් යනු අල්ලාහ් (දෙවි) ද, ඔහුගේ දේවදූතයන් ද, (මරණින් මතුවට) අල්ලාහ් (දෙවි) හමුවන බවද, ඔහුගේ වක්තෘවරුන් (හෙවත් නබිවරුන්)ද විශ්වාස කිරීමයි. තවද මරණින් මතු යලි නැඟිටීමත් විශ්වාස කිරීම (ඊමාන් බව )’ පවසන ලදී. එයට එම තැනැත්තා ‘ඉස්ලාම් යනු කුමක්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘ඉස්ලාම් යනු අල්ලාහ් (දෙවි) හට කිසිවක් (හෝ කිසිවෙක් කිසිදු ආකාරයකට) නුඹ සමාන නොකොට වන්දනාමාන කිරීමත්, (පංච වේල් සලාතය) වන්දනය ඉටු කිරීමත්,  ඉස්ලාම් අනිවාර්‍ය කරන (සකාත්) දානධර්ම බෙදාදීමත්, රමලාන් (උපවාස) මාසයේ උපවාසය රුකීමත් වේ’ යනුවෙන් පවසන ලදී. එයට එම තැනැත්තා ‘ඉහ්සාන් යනු කුමක්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමානණ් ‘(ඉහ්සාන් යනු) අල්ලාහ් (දෙවි) තමා අබියස සිටින බව සිතා ඔහුට වැඳුම්පිඳුම් ඉටු කිරීමයි. නුඹට ඔහු නොපෙනුනත් නියත වශයෙන්ම ඔහු නුඹගේ ක්‍රියාවන් සියල්ල බලාගෙන හිදී.’ යනුවෙන් පවසන ලදී…
මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී මුස්ලීම්

ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ දීර්ඝ හදීසයක මෙම ලිපියේ සාකච්චා කරන මාතෘකාවට අදාල කොටසක් පමණක් බව ප්‍රථමයෙන් ඔබේ අවධානයට ගෙන ආයුතුය. එසේම මෙම හදීසය තුල සංවාදය සිදුවන්නේ මුහම්මද් (සල්) තුමාණන් හා දේවදූත ජිබ්රීල් (අලෛ) තුමාණන් අතර නිසා මෙම හදීසය ඉස්ලාම් ආගමික විද්වතුන් ‘හදීස් ජිබ්රීල්’ යනුවෙන් හදුන්වන බවද ඔබගේ වැඩිදුර දැනගැනීම සදහා සටහන් කරමි.
දැන් නැවතත් මාතෘකාවට පදනම් කරගෙන ඇති ඉහත හදීසය වෙත අවධානය යොමු කලේනම් එහි ප්‍රධාන කරුණූ 03 ක් පිලිබදව සාකච්චා වන ආකාරය දැකගත හැක.

  • ඊමාන් යනු කුමක්ද?
  • ඉස්ලාම් යනු කුමක්ද?
  • ඉහ්සාන් යනු කුමක්ද?

මෙහිදී සදහන් කලයුතු මූලික කරුණක් ඇත. එනම් ජාත්‍යන්තරයේ මෙන්ම ජාතික කලයේ අද බොහෝ දෙනෙකු ඉස්ලාම් දහම අවබෝධ කරගෙන සිටිනනේ එහි ඉගෙන්වීමන් පදනම් කරගෙන නොව මුස්ලීම් සමාජයේ ක්‍රියාකලාපයන් පදනම් කරගෙනය. නමුත් ඉස්ලාම් පවසන එම විශ්වාසයන් කුමණ ආකාරයේ එකක්ද?, මුස්ලීම්වරයෙකු තුල පැවතිය යුතු ගුණාංග මොනවාද?, වන්දනා මාන කලයුත්තේ කෙසේද?, එම වන්දනාමාන කරන්නේ කාටද?, එවන් වන්දනාමාන නොකලයුත්තේ කාටද?, එහිදී තිබිය යුතු මූලික අවශ්‍යතාවයන් මොනවාද?, අනුගමනය කලයුතු ක්‍රියාමාර්ග මොනවාද?… යනාදී කරුණූ පිලිබදව නිවරුදි අවබෝධයක් ඇත්තේ මුස්ලීම්වරුන්ගෙන් පවා සීමිත පිරිසකට පමණි. මුස්ලීම් නොවන සමාජය නොව මුස්ලීම් සමාජයේ පවා බොහෝ පිරිස් සිතාගෙන සිටින්නේ නමින් මුස්ලීම් වී ඇඳුම් පැලදුම්වලින් ද මුස්ලීම් වුයේ නම් ‘සියල්ල හරි’ යනුවෙනි. අද මුස්ලීම්වරුන්ගේ තත්වය එසේනම් මුස්ලීම් ප්‍රජාව තුලින් ඉස්ලාම් දහම දකින මුස්ලීම් නොවන ප්‍රජාවගේ ඉස්ලාමීය අවබෝධය පිලිබදව මා අමුතුවෙන් පැවසිය යුතු නොවේ. එහි අනිසි ප්‍රථිපලය තමා සිංහල භාෂාමය බ්ලොග් අවකාශය තුල ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් පමණක් නොව ඉස්ලාම් දහමත් අත්විදිමින් සිටින්නේ. අද ඉස්ලාම් විවේචකයන් බොහෝ පිරිසක් ඔවුන්ගේ විවේචනවලට පදනම් කරගන්නේ කුමක්ද? යන්න බුද්ධිමත් ලෙස විමසා බලන්න. අද ඔවුන් මුස්ලීම් සමාජයේ ක්‍රියාකලාපයන් පදනම් කරගෙන ඉස්ලාම් දහම විවේචනය කරයි. අපහසයටත්, උපහසයටත් ලක් කරයි. මෙහිදී එම විවේචකයන් හට මඟහැරුණූ කාරණයක් ඇත. එනම් ලොව කිසිදු ජන සමාජයක් තමන් අනුගමනය කරන දහමට හෝ දර්ශනයට පූර්ණ වශයෙන් ආදර්ශ වී නැත. මේ හේතුව නිසා සමාජයක් පදනම් කරගෙන දහමක් දර්ශනයක් විවේචනය කිරීම නිවරුදි හා බුද්ධිමත් ක්‍රියා මාර්ගයක් නොවේ. මෙම කාරණය ඉස්ලාම් නිවරුදි ලෙස අවබෝධ කරගෙන සිටින නිසා තමා තම අනුගාමිකයන් ‘මුස්ලීම්’ හා ‘මූමීන්’ යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට වෙන් කොට ශුද්ධ වූ කුර්ආයේ පවා ඉස්ලාම් කථා කරන්නේ,

ඉහත වාක්‍යයට අනුව ඉස්ලාම් කොතරම් යථාර්තවාදීව මෙම කාරණය දකිනවාද? යන්න පැහැදිලි කර ගැනීම බුද්ධිමත් ඔබට අපහසු නොවනු ඇත. එම යථාර්ථය නිවරුදි ලෙස අවබෝධ කරගෙන ක්‍රියා කිරීම තමා සැබෑ බුද්ධිමත් ක්‍රමවේදය වන්නේ. ඒ අනුව සැබැවින්ම ඉස්ලාම් දහම මූලික පදනම කුමක්ද? යන්න පටු මිමි තුල නොව එහි ඉගෙන්වීමන් පදනම් දැන් විමසා බලමු.

මෙම ලිපියේ ආරම්භයේ සදහන් කල ‘හදීස් ජිබ්රීල්’ නම් හදීසය වෙත නැවත අවධානය යොමු කලේනම්, එහි මුස්ලීම්වරයෙකු තුල පැවතිය යුතු මූලික විශ්වාස 06 ක් පිලිබදව සදහන් කරයි. එම මූලික විශ්වාසයන් නිවරුදි ලෙස ගොඩනඟා ගැනීම ‘ඊමාන්’ බව පැහැදිලි කරයි. ඉන් අනතුරුව මුස්ලීම්වරයෙකු කෙරෙහි පැවරෙන මූලික වගකීම්  05 ක් පිලිබදව සදහන් කරයි. එම වගකීමන් නිවරුදි ලෙස ඉටුකිරීම තමා ‘ඉස්ලාම්’ වන්නේ. එය කෙටියෙන් විමසා බල්නනේ නම්,

478

ඊමාන් (විශ්වාස) කලයුතු ප්‍රධාන කරුණූ 06 නම්,

  • අල්ලාහ් දෙවියන් විශ්වාස කිරීම,
  • දේවදූතයන් විශ්වාස කිරීම,
  • දේව පුස්තකය විශ්වාස කිරීම,
  • වක්තෘවරුන් විශ්වාස කිරීම,
  • අවසාන දිනය විශ්වාස කිරීම,
  • කරුමය විශ්වාස කිරීම,

පිලිපැදිය යුතු ප්‍රධාන වගකීම් 05 නම්,

  • අල්ලාහ් දෙවියන් එකම දෙවියා ලෙසත් මුහම්මද් (සල්) තුමාණන් අවසාන වක්තෘවරයාණන් ලෙසත් පිලිගැනීම,
  • පස්වෙල් වන්දනය (සලාතය) ඉටුකිරීම,
  • නියමිත කාලවල උපවාසය රුකීම,
  • සකාත් නම් බද්ද සුදුස්සන් සදහා බෙදාදීම,
  • සුදුසුකම් සපුරා ඇති පිරිස් හජ් වන්දනය ඉටුකිරීම,

සැබෑ මුස්ලීම්වරයෙකු වීමට නම් ඉහතින් සදහන් විශ්වාසයන් නිසි ලෙස පැවතීම මෙන්ම ඊට පහතින් සදහන් වගකීම් නිවරුදි ලෙස තම ජීවිතය තුල පිලිපැදීම අනිවාර්‍ය වේ. විශේෂයෙන් ඉහත විශ්වාස කලයුතු කරුණූ 06 තුල කිසිවකු හට දුර්වල විශ්වාසයක් පවතී නම් ‘ඔහු තවදුරටත් මුස්ලීම්වරයෙකු නොවේ’ යන්න ඉස්ලාමීය මූලික ඉගෙන්වීමයි. මෙහිදී නැවත නැවතත් අවධාරණය කලයුතු කාරණයක් ඇත. එනම් දෙවියන්, දේවදූයන්, පුස්තකය, වක්තෘවරුන්…  යනාදී පිලිබදව විශ්වාසයන් පවතින එකම දහම ඉස්ලාම් නොවේ. ලොව සෑම දහමක ම වාගේ ඉහත විශ්වාසයන් අඩුවැඩි වශයෙන් දක්නට ලැබේ. ශ්‍රී ලාංකීය බුදුදහම පදනම් කරගෙන මෙම කාරණය පවසනවා නම් එහි දෙවියන්, දේවදූතවන්, දේව පණිවුඩ… යනාදී පිලිබදව සදහන් වේ. මේ හේතුව නිසා ඉස්ලාම් පවසන දෙවියන්, දේවදූයන්, පුස්තකය, වක්තෘවරුන්…  යනාදී සංකල්ප ලොව අනිකුත් ආගමික විශ්වාසයන් හා සමානාත්මක ලෙස පිලිගැනීම නිවරුදි නොවේ. ඒ සදහා නිදසුනක් බුදුදහම පදනම් කරගෙනම පවසනවා නම් බුදුදහම තුල බහුදේව සංකල්පය සදහන් වේ. නමුත් ඉස්ලාම් දහම පවසන්නේ ඒක දේව සංකල්පයයි. බහුදේව සංකල්පය ඉස්ලාම් දහම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරයි. ඒ අනුව ඉස්ලාම් පවසන මූලික විශ්වාසයන් ලොව අනිකුත් ආගමික විශ්වාසයන්ට වඩා සම්පූර්ණයෙන් වෙනස් වූ ආකාරයක් බවත්, එය ඉස්ලාම් දහමට පමණක්ම ආවේනික වූ ආකාරයේ එකක් බවත් ප්‍රථමයෙන් අවබෝධ කරගත යුතුවේ. ඒ අනුව ඉහත විශ්වාසය ගොඩනැඟිය යුත්තේ ඉස්ලාම් පවසන ආකාරයේ නිවරුදි විශ්වාසයක් ලෙස මිස සමාජ භාවිතයේ පවතින විශ්වාසයක් ලෙස නොවේ. එසේ නම් ඉස්ලාම් පවසන එම විශ්වාසයන් කුමක්ද? යන්න දැන් එකින් එක කෙටියෙන් විමසා බලමු.

Related Post