නත්තල් පණිවුඩය Letter to my friend Christian

ලිපියක්

ඉස්ලාමිය හා නත්තල

සමස්ථ කිතුණු ලෝකයම නත්තල සමරණ මේ ‍මොහොතේ යහමඟ අඩවිය හරහා බයිබල් වාක්‍ය කිහිපයක් ඔවුන්ගේ අවධානයට යොමු කිරීමට අදහස් කරමි. ඒ අන් කිසිවක් නිසා නොව ඔවුන් මරියම් ගේ පුත් යේසුස් තුමාණන්ට ගරු කරන්න‍ා සේම ඉස්ලාමීය ලෝකයද එතුමාණන්ට මහත් ඉහලින් ගරු කරන නිසාය. කිතුණු ලොව යේසුස් වහන්සේ නමින් හදුන්වන මරියම්ගේ පුත් ඊසා (අලෛ) තුමාණන් අල්ලාහ් (දෙවියන්)ගේ වක්තෘවරයෙකු ලෙස අප ගරු කරමු. මුස්ලිම්වරු න් මුහම්මද් (සල්) තුමාණන් අල්ලාහ්‍ (දෙවියන්)ගේ දූතයාණන් ලෙස සලකනවා සේම ඊසා (අලෛ) (යේසුස්) තුමාණන් ද දේව දූතයකු ලෙස සකලන්නෙමු. එපමණක් නොව ප්‍රථම මිනිසා වන ආදම්ගේ පටන් අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් දක්වා වූ සෑම දේව වක්තෘවරයෙකුගේම මෙහෙවර එකක් විය. ඒ පිලිබදව මුහම්මද් (සල්) තුමාණන් සමාජයට දේශනා කල ආකාරය ශුද්ධ වූ කුර්ආනය 3-50,51 වාක්‍යය මගින් මෙසේ පවසයි.
“මාහට පෙර ජිවත් වු වක්තෘවරුන් ගෙනආ දහමන් සත්‍ය කරණු පිණිසද, නුඔලාට මීට පෙර තහනම් කල සමහරක් සදහා අවසර ලබාදීම පිණිසද, අල්ලාහ් පමණි මාගේත්, නුඔලාගේත් දෙවියා එමනිසා ඔහුට පමණක් වන්දනා මාන කරන්න. මෙයයි සත්‍ය මාර්ගය යයි පවසනු පිණිසද …”
මේ ආකාරයට මිනිස් සමාජයට දේශනා කල දහම ද එකක් වූ බව ශුද්ධ වූ කුර්ආනයේ තවත් තැනක. එනම් 4-163 වාක්‍යය මඟින් මෙසේ පවසයි.
“නුහ් වෙතද ඔහුගෙන් පසු පැමිණි වක්තෘ වන ඉබ්රාහීම්, ඉස්මායිල්, ඉස්හාක්, යාකූබ්, ඊසා, අයියුබ්, යුනුස්, හාරූන්, සුලෙයිමාන්, දාවුද් යන පිරිසට දේව පණිවුඩය පහල කල ආකාරයටම නුඹටත් (මුහමිමද්ටත්) දේව පණිවුඩය පහල කලෙමු.”
ඉහත කුර්ආන් වාක්‍යයේ සදහන් ආකාරයට සෑම වක්තෘවරයෙකුම තම සමාජයට යහමඟ දේශනාකලත් ඔවුන්ගේ නික්මයාමත් (එම සමාජයෙන් සමුගැනීමත්) සමඟ එම දේශනයන් කාලයත් සමඟ විකෘති වෙමින් හා සංශෝධනය වෙමින් පාරම්පාරිකව පැවත ආ නිසා වර්ථමානය වනවිට පිරිසිදු දහම තවදුරටත් එහි දකින්නට නොලැබීය. නමුත් යම්යම් දේශනයන් මුඛ පරම්පරාගතව පවා ආරක්ෂා වී පැවතුණු නිසා (මේ පිලිබදව වැඩි විස්තර කියවීමට) වර්ථමාන ලිඛිත ග්‍රන්ථවල ඉන් සමහරක් සටහන් වී ඇත. පහතින් ඉදිරිපත් කරන්නේ බයිබලයේ ඒ ආකාරයට සටහන් වී ඇති කරුණු කිහිපයකි.
ඉස්ලාමීය මූලික විශ්වාසය නම් අල්ලාහ් නම් සර්ව බලධාරී දෙවියකු යන්නත්, අල්ලාහ් හැර වෙන කිසිදු දෙවියෙකු නොමැත යන්නත්ය.
    මෙම කාරණය බහුතර කිතුණූ භක්තිකයන් නොපිලිගන්නා අතර ඔවුන් යේසුස් වහන්සේද දේවත්වයෙන් සලකයි. නමුත් යේසුස් වහන්සේ එය හෙලා දැක ඇති බව බයිබලය පවසයි. එම බයිබල් වාක්‍යයන් පහත දැක්වේ.
යොහන් 17—3, නික්මයාම 20-3 හා 4, ලූක් 18-19, වීතිය කථා 4-35, යෙසායා 43-10 සිට 12, මතෙව් 13-32, යෙසායා 44-6, යෙසායා 45-5 හා 6, මතෙව් 4-10, මතෙව් 14-23, මතෙව් 26-39 සිට 41, ලූක් 6-12, මාර්ක් 10-17 සිට 19, මතෙව් 5-20, නික්මයාම 40-30 හා 31, ක්‍රියා 21-26, උත්පත්ති 17-3, ගණන් කථාව 20-6, මතෙව් 26-39, මතෙව් 5-3 සිට 12, මතෙව් 6-1 සිට 4,
මේ ආකාරයට බයිබලයේ බොහෝ තැන්වල “සර්ව බලධාරී දෙවියන්” පිලිබදව යේසුස් වහන්සේ දේශනාකල බවට සදහන්ව ඇත. ඉහත වාක්‍යයන් කෙරෙහි බුද්ධිමත් අවධානය කිතුණු සමාජය යොමු කලයුතුය. ඉහතින් සදහන් කොට ඇත්තේ “සර්ව බලධාරී දෙවියන්” පිලිබදව බයිබලයේ සදහන් කරුණු පමණි මීට අමතරව ඉස්ලාම් දහම දැඩි ලෙස මුස්ලීම් සමාජයට අවධාරනය කරන බොහෝ කරුණු ඒ ආකාරයටම බයිබලය තුලද සටහන්ව තිබීම බහුතර කිතුණු සමාජය නොදනී. එයට සරල උදාහර්ණයක් ගෙනැර දක්වන්නේ නම්, මේ නත්තල් සමයේ කිතුණුවන් මා‍ංශ ආහාරය පිලිබදව දැඩි උනන්දුවක් දක්වයි. විශේෂයෙන් ඌරු මාංශ මේ දිනවල අධික ලෙස ඔවුන් පරිභෝජනයට ගනී. නමුත් මේ ඌරු මාංශ නොහොත් සූකර මාංශ පිලිබදව බයිබලය පවසන්නේ කුමක්ද?
“ඌරා කුරය බෙදී ඇති සතෙකි. නමුත් ඌ වමාරා නොකන බැවින් අපවිත්‍ර සතෙකු මෙන් සැලකිය යුතුය. උන්ගේ මස් නොකෑ යුතු අතර උන්ගේ මලකුණු ස්පර්ශ නොකල යුතුය.” (ද්විතිය නීති 14-9)
ඉහත බයිබල් වාක්‍යයෙන් පවසන කාරණය ඔබට හොදින් පැහැදිලි වනුඇත. මීට අමතරව පුරුෂයන් රැවුල් වැවීම, ඡර්ම චේද්‍යය … යනාදී බොහෝ කාරණයන් කිතුණු සමාජයට බයිබලය අවධාරනය කරයි. එනමුත් මේවා සියල්ල 100% පිලිපදිනු ලබන්නේ මුස්ලීම් සමාජයයි. මන්ද මේ සියල්ල අල්ලාහ් (දෙවියන්)ගේ නියෝගය මත මිනිස් සමාජයට වක්තෘවරැන් මඟින් (ඊසා මෙන්ම මුහම්මද් (සල්) තුමාණන් විසින් මුස්ලීම් සමාජයට) දේශනා කර ඇති නිසාය.
ඒ අනුව අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ යේසූස් හෙවත් ඊසා (අලෛ) තුමාණන්ව නිවරැදිව හා සෑම අතින්ම අනුගමනය කරන ලොව එකම ජන කොට්ඨාශය මුස්ලීම් ජනතාව හැර අන් කිසිවකු නොවේ. ඒ අන්කිසිවක් නිසා නොව ඔහු අල්ලාහ් (දෙවියන්) ගේ දූතයාණන් වූ නිසාම පමණි.

අබූ අර්ශද්
 

Related Post