සමාජ වගකීම් හා ඉස්ලාම්

 

මෙලොව ජීවින් අතුරින් එදා පටන් මනුෂ්‍යාට හිමිවන්නේ සුවිශේෂි වු තැනකි. ඒ ඔහුගේ විඥානශීලීභාවයත්,

සමාජ වගකීම

සමාජ වගකීම

සමාජශීලීභාවයත් නිසාය. මෙවන් වු ශ්‍රේෂ්ඨයා පිලිබදව වර්ථමානයේ කථා කිරීමට සිදුවී ඇත්තේ ඔහුගේ අශීලාචාරකම් අධමකම්, අවස්ථාවාදීකම්, ආර්ථමාර්ථකම්… යනා දී සෘනාත්මක කාරණාවන් පිලිබදවයි. තවද එදා ගෝත‍්‍ර වශයෙන් ඒකරාශි වී සහජීවනයෙන් කටයුතු කල මේ මිනිසා අද දියුණුවෙහි ඉනිපෙත්තෙ හි සිටින විට මනුෂ්‍යකම හා බුද්ධිය උගසට තබා තමා, තමපවුල යන සීමාවන් තුල හුදෙකලා වෙමින් සිටී. මෙවන් වු වකවානුවක එවන් වු මිනිසුන්හට මනුස්සකම හා එහි මහිමය සිහි කරවීම සමාජයේ වගකීමකි. විශේෂයෙන් සමාජයට මනුෂ්‍යාගෙන් ඉටුවිය යුතු යුතුකම් හා මෙහෙවර පිලිබදව දැඩිව අවදාරනය කරන ශුද්ධ වු දහම වන ඉස්ලාම් මේ පිලිබදව කුමක් පවසනවාද? යන්න දැනගැනීම මුස්ලීම්වරුන්ගේ කාලීන අවශ්‍යතාවයක් යයි සිතේ.

ඉස්ලාම් ප‍්‍රධාන වශයෙන් කරුණු පහක් මත ගොඩනැගී තිබෙනවා යන්න මුස්ලීම්වරුන් සියල්ල හොදින් දන්නා සත්‍යයකි. එය දෙවියන් පිලිබදව විශ්වාසය (ඊමාන්), සලාතය, සකාත්, උපවාසය, හජ් යන්නයි. මෙහි දී බොහෝ මුස්ලීම්වරුන් අවබෝධ කරගෙන සිටින්නේ ඉස්ලාම් මෙම කරුණු පහට පමණක් සීමා වී ඇති බවයි. නමුත් ඉස්ලාම් ඊට වඩා ගැඹූරු හා පුළුල් වු දහමකි. දෙවියන්, වන්දනය කිරීමෙන් පමණක් මුස්ලිම්වරයෙකුගේ යුතුකම් අවසන් නොවේ. ඉස්ලාම් දහමට අනුව මුස්ලීම්වරයෙකුගේ යුතුකම් ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ. එනම්,

  • මිනිසා දෙවියන්ට ඉටුකලයුතු යුතුකම්
  • මිනිසා මිනිසාට කලයුතු යුතුකම්

ඉස්ලාමය තුල ඉහත දෙකම දැඩිව අවදාරණය කරන අතර පලමු ඝනයට මිනිසා දෙවියන්ට කරන වන්දනාමාන අදාල වේ. දෙවන ඝනයට මිනිසුන් වශයෙන් මිනිසාට ලෞකිකව කලයුතු යුතුකම් අදාල වේ. ඉස්ලාම් දහම හොදින් අධ්‍යනය කරන විට පලමු ඝනයට වඩා දෙවැනි ඝනය දැඩිව අවදාරනය කරන බවක් පෙනීයයි. (ඒ සදහා උදාහරණ කිහිපයක් පමණක් ඉදිරිපත් කරන්නේ ලිපියෙහි දීර්ඝවීම සැලකිල්ලට ගෙනය)

මෙය වඩාත් හොදින් තහවුරු කරන “හදීසයක්” හදීස් ග‍්‍රන්ථයේ දක්නට ලැබේ. එනම්,

“විනිශ්චය දිනයේ සමහරක් මිනිසුන්ගෙන් අල්ලාහ් මෙසේ ප‍්‍රශ්න කරන බව නබිතුමාණන් පවසන ලදී ‘එම්බල ආදම්ගේ දරුවනි!, මම රෝගිව සිටී අවස්ථාවේ ඇයි නුඹ මාගේ සුවදුක් බලන්නට නොපැමිණියේ?’ එයට එම මිනිසා විශ්මයට පත්ව ‘දෙවියනේ නුඹ රෝගිවන්නේ කෙසේද?’ යයි විමසනු ඇත. එවිට දෙවියන් එම මිනිසා ජීවත් වු ප‍්‍රදේශයේ රෝගිව සිටී අසල්වාසින් සිහිකොට ඒ අයගේ සුවදුක් බලන්න නොපැමිණිම දෙවියන් තමාව බලන්නට නොපැමිණියාසේ සලකන බව පවසනු ඇත. ඒ ආකාරයටම තවත් කෙනෙකු කැදවා ‘එම්බල ආදම්ගේ දරුවනි!, මා කුසගින්නේන් නුඹලගට පැමිණී මොහොතේ ඇයි නුඹ මට ආහාර ලබා නොදුන්නේ?’ එයට එම මිනිසා විශ්මයට පත්ව ‘දෙවියනේ නුඹට කුසගින්නක් කෙසේ ඇතිවන්නද? නුඹ කවදා ද මා හමුවට ආවේ?’ යයි විමසනු ඇත. එවිට දෙවියන් එම මිනිසා ජීවතව සිටිය දී ඔහු හමුවට ආහාරයට යමක් ඉල්ලා පැමිණි පිරිස මතක් කොට ඒ පිරිසට ආහාර නොදීම නුඹ මට ම ආහාර නොදී ප‍්‍රතික්‍ෂේප කලාසේය යනුවෙන් දෙවියන් පවසනු ලැබේ.”

(හදීස් කුදිසි)

මෙම නබි වදනින් පැහැදිලි වන්නේ මිනිසා තවත් මිනිසෙකුට කලයුතු යුතුකම් දෙවියන් තමන්ට කලයුතු යුතුකමක් ලෙස සලකනවා යන්න නොවේ ද? මෙම කාරණය තවත් හොදින් අවබෝධ කරගැනීමට නබිතුමාණන් පැවසු තවත් හදීසයක් ගෙනහැර දැක්විය හැක. එනම්,

“දිනක් නබිතුමාණන් තම පරිවාරකයන්ගෙන් (සහාභාවරුන්ගෙන්) ‘මහා බංකලෝතුකාරයා කව්රුන්ද යන්න නුඹලා දන්නෙහිද?’ යනුවෙන් විමසන ලදී. එයට එම පරිවාරක සහාභාවරුන් “නොදන්නෙමු නබිතුමණි අපට පවසන්න?” යනුවෙන් විමසා සිටින ලදී. එයට නබිතුමා “මෙලොව ජීවත්ව සිටිය දී ඉටුකල හැකි සියලුම ආකාරයේ වන්දනාමානයන් නොඅඩුව ඉටුකොට විනිශ්චය දිනයේ ඒ සියලුම පිං පොදිබැදගෙන දෙවියන් ඉදිරියේ සතුටින් සිටින විට කෙනෙකු පැමිණ ‘දෙවියනී! මොහු එලොව ජීත්ව සිටිය දී මට මොහු විවිධ ආකාරයේ කරදරයන්, හිරිහැරයන් කලා’ යයි පවසයි. එවිට දෙවියන් මොහුගේ පිංවලින් කොටසක් ගෙන ඔහුට ලබාදෙයි. ඉන්පසු තවත් කෙනෙකු පැමිණ ‘දෙවියනී! මම මොහුගේ අසල්වාසියෙක් මොහු මට විවිධ ආකාරයේ හිරිහරයන් කලා’ යයි පවසයි. එවිට ඔහුටත් මොහුගේ පිංවලින් කොටසක් ලබාදෙයි …මේ ආකාරයට විවිධ පිරිස පැමිණ මොහුට චෝදනා කිරීම නිසා එයට පිලියමක් ලෙස මොහුගේ පිං බෙදාදීම සිදුවේ. මේ ආකාරයට මොහුගේ පිං සියල්ල අවසන් වේ. ඉන්පසු ද දෙවියන් ඉදිරියට මොලොව දී ඔහුගේ හිරිහැරයන්ට ගොදුරුවු මිනිසුන් පැමිණ ඔහුගෙන් සිදුවු හිරිහැරයන් පවසනු ලැබේ. ඒ වෙනුවෙන් ඔවුන්ට ලබාදීමට මොහු ල’ග පිං නැති නිසා ඒ වෙනුවට ඔහුගේ පාපයන් මොහුට ලබාදෙනු ලැබේ. අවසානයේ කල පිං පොදිබැදගෙන ස්වර්ගයට යන්නට සිටී මොහු අපයට යන බව පැවසු නබිතුමාණන් මොහු තමා මහා බංකලෝතුකාරයා යයි පවසන ලදී.”   (හදීස්)

ඉහත හදීස් දෙකෙන්ම මුස්ලීම්වරුන් වන අපට ඉස්ලාම් අවදාරනය කරන්නේ කුමක්ද?. අපෙන් සමාජයට ඉටුවිය යුතු යුතුකම හා වගකිම් නොවේද? දෙවියන්ට කලයුතු යුතුකම් නිවරුදිවම කලත් සමාජ වගකීමවල යම් වරදක් සිදුකලේ නම් ඔහු මෙලොව ජීවිතකාලය පුරාවටම කල කිසිදු යහපත් ක‍්‍රියාවක් ඔහුට කිසිදු පලක් නොවනවා යන්න නොවේද?. මේ නිසා තමා මෙවැනි මිනිසුන්ගේ කාරණයන්වල එනම් ණයකරුවන්, සමාජ විරෝධි පුද්ගලයන් වැනි අයගේ මළගම දී අනිවාර්‍යයෙන් ඉටු කලයුතු “ජනාසා” සලාතය පවා නබිතුමාණන් ප‍්‍රතික්‍ෂේප කලේ. මන්ද එම මියගිය පුද්ගලයාගේ ක‍්‍රියාවන් තවදුරටත් සමාජිය කාරණයන් හා බැදී පැවතීම නිසා දෙවියන් හමුවේ ඔහුගේ ඉරණම (ඉහත හදීස් දෙකට අනුව) ඛේදනිය තත්වයක් වන බැවිනි. ඉස්ලාමීය ඉගෙන්වීම් අනුව මිනිසාගෙන් සිදුවන වැරදි ආකාර දෙකකට බෙදිය හැක. පලමුවැන්න මිනිසා දෙවියන්ට කරන වැරදි (මෙය තුල වන්දනාමානවල සිදුකරන අතපසු කිරීම්… යනාදිය අඩංගු) වේ. මෙම වරදට සමාව දෙවියන්ගෙන් පමණක් අපේක්‍ෂා කලයුතුය. අනික මිනිසා මිනිසාට කරන වැරදි, (පහරදීම්, සොරකම්, කේලම්කීම, වංචාකිරීම… යනාදී) සමාජ විරෝධි ක‍්‍රියා මිට අදාල වේ. මෙවැනි වැරදි සදහා අදාල පුද්ගලයන්ගෙන් සමාව ලබාගැනිම අනිවාර්‍ය කාරණයකි. එසේ නොමැතිව දෙවියන්ගේ සමාව හිමි නොවේ.

මේ අනුව සැබෑ මුස්ලීම්වරයෙකුගේ යුතුකම් හා වගකීම් ඉස්ලාමීය මුලික කරුණු පහකට පමණක් සීමා නොවන බවත්, මනුෂ්‍යයන් වශයෙන් සමාජයට ඉටු වියයුතු යුතුකම් හා වගකීම් නිවරුදිව ඉටුකල යුතු බවත්, එසේ ඉටුකිරීම සෑම මුස්ලීම්වරයෙකුගේම අනිවාර්‍ය යුතුකමක් බවත් පැහැදිලිය. එසේ සමාජිය යුතුකම් හා වගකීම් පිලිබදව අවදාරනය කරන ඉස්ලාමය එතැනින් ද නතර නොවී තවත් පියවරක් ඉදිරියට තබා සමාජ සේවය ද මුස්ලීම්වරුන් කෙරෙහි අවදාරනය කරයි. එය පහත හදීසයන් දෙස බැලීමේ දී වඩාත් හොදින් අවබෝධ වේ.

නබිතුමා හමුවට පැමිණී සහාභිවරයෙක් “කාර්‍යයන්ගෙන් උතුම් කාර්‍යය කුමක්ද?” යයි විමසන ලදී. එයට නබිතුමාණන්, … (දිර්ඝ හදීසයක්) “දුර්වලයන්ට උදව්කරන්න එසේත් නැත්නම් මුදලක් උපයා කොටසක් ඔවුන් සදහා වැය කරන්න” යයි පවසන ලදී. එයට සහාභාවරුන් “නබිතුමණි!, එයත් ඉටුකිරීමට අපට හැකියාව නැත්නම් කුමක් කරන්නද?” යයි විමසන ලදී. එයට නබිතුමාණාන්, “ජනතාවට හානිදායක වන ආකාරයට කිසිවක් නොකර සිටින්න එයත් සදකාවක් (දෙවියන්ගේ මාර්ගයේ මුදල් වැය කිරීමක් බදු) වේ” යයි පවසන ලදී.

දන්වන්නේ :- අබුදර්(රලි) තුමා, ග‍්‍රන්ථය :- බුහාරී 2518

වරක් නබිතුමාණන් මෙසේ පවසන ලදී ” මුස්ලීම්වරයෙකු ගසක් සිටුවා එසේත් නැත්නම් බීජයක් වපුරා එයින් හටගන්නා පලදාව පක්‍ෂියෙක්, මනුෂ්‍යයෙක් එසේත් නැත්නම් සත්වයෙක් අනුභව කලේ නම් ඒ හේතුවෙන් සදකාවක් කල (දෙවියන්ගේ මාර්ගයේ මුදල් වැය කල) පින එම මිනිසාට හිමිවේ.

දන්වන්නේ :- අනස් ඉබුනු මාලික් (රලි) තුමා, ග‍්‍රන්ථය :- බුහාරී 2320

ඉස්ලාමීය සහෝදරවරුණී!, මොහොතක් ඉහත හදීසයන් පිලිබදව ඔබේ බුද්ධීමත් අවදානය යොමු කරන්න. මෙපමණ දුරට සමාජිය මෙහෙවර අවදාරණය කරන දහමක් ඉස්ලාම් හැර ලොව පැවතිය හැකිද? එහෙත්, අද අප ඉස්ලාම් අවබෝධ කරගෙන සිටින්නේ කෙසේද? දිනකට පස්වතාවක සලාතය, වර්ෂයකට මාසයක් උපවාසය, වත්කම්ක් තිබුනොත් සකාත්දීම හා හජ් වන්දනය ඉටුකිරීම යනාදී වශයෙන් නොවේද? මෙවැනි පටු සීමවන් තුල ඉස්ලාම් කොටු කිරීම දහමටත්, සමාජයටත් අප මුස්ලීම්වරුන් වශයෙන් අප අතින්ම කරගන්නා විනාශයක්, අගෞරවයක් නොවේද? එදා ඉස්ලාම් දහමට ජනතාව ආකර්ශනය වුයේ නබිතුමාණන්ගේ දහම් දේශනයන්ට වඩා එතුමා සමාජය තුල ක‍්‍රියාකල ආකාරය බව හදීසයන් මගින් අප අසා ඇත්තෙමු. එවන් විශ්මිතයන් අද සිදුනොවන්නේ මුස්ලීම්වරුන්වන අපට කොතනක හෝ වරදක් සිදුවී ඇති නිසා නොවේ ද? එම වරද තමා ලිපියෙහි ආරම්භයේ පැවසු ’’මිනිසා දෙවියන්ට ඉටු කලයුතු යුතුකම්’‘ ගෙන ’’මිනිසා මිනිසාට කලයුතු යුතුකම්’’ ප‍්‍රතික්‍ෂේප කිරීමය.

සහෝදරවරුණි!, මුස්ලීම්වරුන් වශයෙන් සමාජය කෙරෙහි විශාල වගකිමක් ඇති බව අපට තවදුරටත් අමතක කිරීමට හෝ ඒවායින් ම`ග හැරීමට නොහැක. තවද එයත් ඉස්ලාමයේ ප‍්‍රධාන අංගයක් යන්න ද කිසිවකුටත් ප‍්‍රතික්‍ෂේප කිරීමට නොහැක. එසේම වර්ථමානයේ සමාජය තුල ලහි ලහියේ ඉටුකල යුතු වගකීම් කිහිපයක් අප ඉදිරියෙන් ඇත. එනම්,

  • ජලගැලීම් හා නායයෑම්වලින් අසරණ වූ පිරිස සදහා ඔබගේ දායකත්වය,
  • වර්ථමානයේ රටේ පවතින වසංගත ඩෙංගු මර්ධනයට ඔබගේ දායකත්වය,
  • විවිධ ජාතීන් ජීවත්වන මේ රටේ ජාතීන් අතර එකමුතුවත්, සම`ගියත් උදෙසා ඔබගේ දායකත්වය,
  • සමාජයේ අසරණ, අනාථ දරුවන් සදහා ඔබගේ දායකත්වය,
  • වැන්දඹු කාන්තාවන් පිණීස යම් ආකාරයක ඔබගේ දායකත්වය,
  • ප‍්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනය නගාසිටුවීම සදහා ඔබගේ දායකත්වය,

මේ අකාරයේ වු සෑම අංශයකින්ම, වෙනත් ආකාරයකට පවසනවා නම් මුළු මහත් සමාජයටම ආදර්ශමත් වු දහමක් සදහා ඔබගේ දායකත්වය අවශ්‍යව පවතී. එසේ වුවානම්, එදා නබිතුමාණන්ගේ සමාජයේ සිදුවු විශ්මිතයන් වර්ථමානයේ අපට දක්නට ලැබෙනවා යන්නෙ හි කිසිවෙකුටත් කිසිදු ආකාරයේ විවාදයක් නැත. මුස්ලීම්වරුන් වන අපගේ කාලීන අවශ්‍යතාවයත්, වගකීමත් මෙය නොවේද?.

අබූ අර්ශද්

Related Post