කාලය මත දිවුරා පවසමි The Time

කාලය වටිනා කම

කාලය වටිනා කම

මේ මාතෘකාව දකින ඔබ තුල දැනටමත් පැනයන් හා කුතුහලයන් රාශීයක් පැන නැඟී තිබෙනු ඇත. විශේෂයෙන් ‘මෙසේ දිවුරා පවසන්නට යන්නේ කුමක් ගැනද?’ යන්න මෙහිදී ඔබ තුල මතුවන ප්‍රධාන ගැටළුවයි. ඊට අමතරව ‘ඇයි මේ ‘කාලය‘ මත දිවුරා පවසන්නේ’ යන්න සමහර විට ඔබ තුල ඇති වන කුතුහලයයි. මේ ආකාරයට කුතුහලයන් හා පැනයන් මතු කරමින් ඒ තුලින් වෙනදා වගේම අදත් ‘යහමඟ‘ අඩවිය කථා කිරීමට යන්නේ කාලීනව නොව සර්වකාලීනව වැදගත් මාතෘකාවක් පිලිබදවයි. ඈත අතීතයේ පටන් මිනිසා තම දෛනික කටයුතුවල විවිධ අවස්ථාවල නිල හා නිල නොවන ලෙස විවිධ වූ දිවුරුම් ලබාදීම සාමාන්‍ය සිරිතකි. එපමණක් නොව එලෙස දිවුරුම් ලබාදීමේ දී ඒ සදහා කිසිවෙක් හෝ කිසිවක් පදනම් කරගෙන එම දිවුරුම තහවුරු කිරීමට උත්සාහ කිරීමද සාමාන්‍ය සිරිතකි. ඒ අනුව තම මව, පියා, බිරිද, දරුවන්… යනාදී වශයෙන් පුද්ගල මත දිවුරුම් ලබාදීමත්, දෙවියන්, දේව පුස්තකය, බුදුන්, බෝධිය, වෙහෙර විහාර… යනාදී ලෙස ආගමික විශ්වාසයන් පදනම් කරගෙන ඒවා මත දිවුරුම් ලබාදීමත් ඔබට සමීප වූ නිදසුන් කිහිපයකි. නමුත් මෙම කාරණය තරමක් විමසුම් ඇසින් බලන්නේ නම්, සමාජය තුල අල්ප වශයෙන් සලකන දෑ මත මෙලෙස දිවුරුම් ලබාදීමක් කිසිදු විටෙක දක්නට නොලැබෙන බව ඔබට දැකගත හැක. නිදසුනක් ලෙස පොතක්, පෑනක්, මේසයක්, පුටුවක්… යනාදී වස්තූන් මත හෝ නාදුනන නොඑසේනම් තමන්ට වැදගත් නොවන පුද්ගලයන්, එසේත් නැත්නම් තමන් පිලිනොගන්නා ආගමක් හෝ විශ්වාසයක්… යනාදී මත දිවුරීමක් කිසිදු විටෙක දක්නට නොලැබේ. එපමණක් නොව එලෙස කවුරුන් හෝ දිවුරුව ද එවැනි දිවුරුම්දීමන්ට සමාජය තුල පිලිගැනීමක්ද අත් නොවන අතර සමහර විට එසේ දිවුරන තැනැත්තා සමාජය තුල උපහාසයට පවා ලක් වේ. මේවා තුලින් පැහැදිලි වන්නේ මිනිසා දිවුරුමක් ලබාදීමේ දී එම දිවුරුම තහවුරු කිරීම සදහා පදනම් කරගන්නා වස්තුව හෝ විශ්වාසය තමා සතු වටිනාම වස්තුව හෝ විශ්වාසය වියයුතු අතර එය අන් පිරිසට පිලිගත හැකි හෝ එකඟවිය හැකි එකක් ද වියයුතු යන්නයි. එනම්, දැඩි ආගම්වාදියකු නම්, තම විශ්වාසය අනුව දෙවියන්, බුදුන්… යනාදී ලෙස දිවුරන අතර තම පවුල කෙරෙහි දැඩි නැඹූරුවක් ඇති කෙනෙකු නම්, මව, පියා, දරුවා… යනාදී ලෙස දිවුරුම් ලබාදීම සිදු කරනවා යන්න සමාජ සිරිතක් බව පහසුවෙන් අවබෝධ කර ගතහැක. මෙතැනදී මූලික කාරණයක් ප්‍රථමයෙන් පැහැදිලි කර ගතයුතුව ඇත. නොඑසේ නම් මාතෘකාව සම්බන්ධයෙන් නිවරුදි කිරීමක් කලයුතව ඇත. එනම් දිවුරුම් සම්බන්ධයෙන් සමාජ සිරිත් විරිත් ඉහත ආකාරයට පැවතුනත් මුස්ලීම්වරයෙකු හට සමාජ සිරිත්විරිත් අනුව පමණක් සැමවිටම ක්‍රියා කල නොහැක. මන්ද ඔහුට දිව්‍යමය මඟපෙන්වීමක් තුල දායාද වූ ජීවන සැලැස්මක් ඇත. ඒ තුල ක්‍රියා කිරීම ඔහුට පැවරෙන අනිවාර්‍ය වගකීමකි. ඒ අනුව සමාජය තුල පවතින දිවුරුම් සම්ප්‍රදායන් මුස්ලීම් සමාජයට එලෙස ගලපාගත නොහැක. එයට ප්‍රධාන හේතුව නම්, ඉස්ලාමීය ඉගෙන්වීමන් අනුව මැවුම්කරුවා මත මුස්ලීම්වරයෙකුට දිවුරුම් කල හැකි වුවත් ඔහුගේ මැවීමන් මත දිවුරුම් සිදුකල නොහැක. යන්න මූලික කොන්දේසියක් වන බැවිණි. මා මෙසේ පවසනන විට ඔබට තවත් ගැටළුවක් ඇති වනවා නොඅනුමානය. ඒ ‘එසේනම් කාලය මත දිවුරා පවසමි! යනුවෙන් කාලය මත ඔබ දිවුරන්නේ කොහොමද?‘ යන්නයි. මේ ලිපියේ මාතෘකාව සම්බන්ධයෙන් අවබෝධ කරගතයුතු මූලික කාරණයක් ඇත. එනම් මෙම දිවුරුම ලබදෙන්නේ මා නොව ශුද්ධ වූ කුර්ආනයේ 103 පරිච්චේදය තුලින් සර්ව බලධාරී මෙන්ම සර්වඥාණි අල්ලාහ් (දෙවි) විසින්ය. මා මෙතැනදී කලේ එම දිවුරුම මෙම ලිපිය සදහා මාතෘකාව ලෙස උපුටා දැක්වීම පමණි. එයට විශේෂීත වූ හේතුවක් ද ඇත. එනම්, ඉහත 103 පරිච්චේදය තුලින් අල්ලාහ් (දෙවි) කථා කරන විෂයට ආසන්න වශයෙන් සමාන විෂයක් අද යහමඟ තුලින් මා කථා කිරීමට අදහස් කිරීමය. ඒ ‘කාලය‘ නම් විෂය පිලිබදවයි. ලොව ජීවත් වන සෑම සත්වයෙකු තුල ම විශේෂයෙන් මනුෂ්‍යා තුල ‘කාලය’ යන්න ඉතා වැදගත් සාධකයකි. මන්ද ‘කාලය‘ යන්න සෑම සත්වයෙකුගේම ජීවිතය හා බැදී පවතින්නේ මරණයෙන් මිස වෙන කිසිදු ආකාරයකට වෙන්කල නොහැකි ආකාරයටය. මෙලොව එලිය දකින මනුෂ්‍යා ඇතුළු සෑම සත්වයෙකුම තමන්ට නියමිත කාල පරාසයක්ද අතැතිව උපත ලබයි. ඒ අනුව ඔහුගේ ජීවය කාලය ඔහු හා එකට බැදී පවතී. මේ නිසාම දෝ මනුෂ්‍ය තම දිවිය ‘කාලය‘ සමඟ බද්ධ කොට ජීවිතකාලය, ආයුකාලය, ජීවකාලය… යනාදී ලෙස හදුන්වන්නේ යන්න සාධාර්ණ වූ සැකයකි. මෙය තවත් සරලව විග්‍රාහ කරනවා නම්, මනුෂ්‍යයා ඇතුළු සියළු ජීවීන් ජීවත් කරවන්නේ මේ කාලයයි. එනම්, කාලයක් නොමැති තැන එතැන ජීවයක් නැත. මෙතරම් සුවිශේෂි වූ එසේම මිනිස් දිවිය තුල තීරණාත්මක සාධකයක් ද වූ මේ ‘කාලය‘ පලදායි ආකාරයට භාවිතා කිරීම පිලිබදව ලොවපුරා සෑම සමාජයක් තුලම නිතර කථාබහට ලක්වේ. කාල කළමණකරණය, 5 එස් සංකල්පය, ධනාත්මක චින්ත… යනාදී විවිධ විෂයන් තුල මේ කාලයේ වැදගත්කමත්, එය නිසිලෙස ප්‍රයෝජනයට ගැනීමේ වැදගත්කමත්, එය මිනිස් දිවිය තුල කොතරම් වැදගත් සාධකයක් ද? යන්නත් පිලිබදව විවිධ වූ පොත්පත්, මාධ්‍ය සකච්චා හා දේශන තුලින් සාකච්චා කෙරේ. එසේ නමුත් අතිබහුතරයක් මේ කාලයේ වටිනාකම තවම නිසි ලෙස අවබෝධ කොටගෙන සිටිනවාද? යන්න පිලිබදව ඇත්තේ බරපතල ගැටළුවකි. මේ හේතුව නිසාම ‘කාලය‘ පිලිබදව ඉස්ලාමීය දෘෂ්ඨියෙන් ‘යහමඟ‘ අඩවිය තුල මෙලෙස කථා කිරීමට මා අදහස් කල අතර ඊට ප්‍රථම මේ කාලයේ වටිනාකම හොදින් කියාපාන ලොව ජනප්‍රිය කිමනක් ඔබේ රසවින්දනයට නොව බුද්ධිමත් විමසුමට ද දායාද කරන්නට අදහස් කරමි. එනම්, කාලය… අවුරුද්දක වටිනාමක දැන ගැනීමට… විභාගය අසමත් වූ සිසුවෙකුගෙන් එය විමසන්න. මාසයක වටිනාකම දැන ගැනීමට… නොමේරූ දරු ප්‍රසූතියකට දින ලැබූ මවකගෙන් එය විමසන්න. සතියක වටිනාකම දැනගැනීමට… සතිපතා පුවත්පතක සංස්කාරක කෙනෙක්ගෙන් එය විමසන්න. පැයක වටිනාකම දැන ගැනීමට… ආදරවන්තිය මුණගැසීමට බලා සිටින ආදරවන්තයන් ගෙන් එය විමසන්න. මිනිත්තුවක වටිනාකම දැනගැනීමට… කෝච්චිය මගහැරුණු කෙනෙකුගෙන් එය විමසන්න. තත්පරයක වටිනාකම දැනගැනීමට… හදිසි අනතුරකින් බේරුණු කෙනෙකුගෙන් එය විමසන්න. මිලිතත්පරයක වටිනාකම දැනගැනීමට… ඔලිම්පික් රන් පදක්කම අහිමි වී රිදී පදක්කම දිනූ දාවක ක්‍රීඩකයකු ගෙන් එය විමසන්න. ඉහත ජනප්‍රිය අදහස තුලින් වර්ෂ, මාස, සති, දින, පැය, විනාඩි, තත්පර හා මිලිතත්පර… දක්වා ‘කාලයේ‘ විවිධ අවස්ථාවන් මනාව කියාපාන මේ කාලය පිලිබදව තමා අද ‘යහමඟ’ අඩවිය තුලින් මෙලෙස කථා කිරීමට සැරසෙන්නේ. මෙය සර්වකාලීන මාතෘකාවක් වුවත් නූතන සංකීර්ණ ලොව තුල ඉතා වැදගත් වූ මාතෘකාවකි. විශේෂයෙන් උපවාස සමයක් පසුකරමින් සිටින මුස්ලීම් සමාජයට එය තවත් සුවිශේෂි වූ මාතෘකාවකි. මිනිස් දිවියේ සෑම සියළු ක්ෂේත්‍රයක්ම තම අනසකට නතු කරගෙන සියල්ල පාලනය කරන ‘කාලය’ නම් විෂය නිසිලෙස අවබෝධ කරගෙන ඒ සමඟ පරිස්සමෙන් කටයුතු නොකරන්නේ නම් ඒ තුලින් මනුෂ්‍යයාට ලෞකිකව පමණක් නොව ලෝකොත්තරව ද අත් වන්නේ අවාසනාවන්තම ඉරණමකි. වටිනා මනුෂ්‍ය දිවියට වටිනා දායාදයක් ලෙස දිනපතා තත්පර 86400 (24x60x60) ක් තරම් විශාල කාලයක් පොදි බැදගෙන විත් දවස දායාද කරන ‘කාලය’ බුද්ධිමත් මිනිසා කොතරම් පලදායි ආකාරයට උපයෝගි කර ගන්නවාද? යන්න බුද්ධිමත්ව විමසා බැලිය යුතුම කාරණයකි. ඔහු තරමක් දුරකට හෝ විමසුම් ඇසින් එය විමසා බලන්නේ නම්, ඒ තුල ඔහු දිනාගත් දෙයට වඩා අහිමි කරගත් දෑ වැඩි යන්න මාගේ අනුමානයයි. මේ නිසාමදෝ ශූද්ධ වූ කුර්ආනයේ 103 ‘අල්-අස්ර්’ (කාලය) නම් පරිච්චේදයේ පවා අල්ලාහ් (දෙවි) මෙසේ පවසන්නේ, කාලය මත දිවුරා පවසමි. නියත වශයෙන්ම මිනිසා අලාභයෙහිමය. කවුරුන් විශ්වාස කොට යහපත් ක්‍රියාවන් හි යෙදී සත්‍ය පිලිබදව හා ඉවසීම පිලිබදව අන්‍යොන්‍යව අවවාද අනුශාසනා කරගන්නේ ද ඔවුන් හැරය. ශුද්ධ වූ කුර්ආනය 103-1, 2, 3 ඔව්, ඇත්තෙන්ම මිනිසා කාලය කළමණාකරණය කිරීම හා යහපත් කටයුතු සදහා මේ කාලය යෙදවීම තුල නම් ‘අලාභයෙහිමය’ යන්න කිසිවකුටත් ප්‍රතික්ෂේප කල නොහැකි සත්‍යයකි. නමුත් එය එසේමය කියා කිසිවකුටත් එම වගකීමෙන් මිදිය නොහැක. මන්ද මා ඉහතින් සදහන් කලාසේ මෙය අපගේ දිවිය හා බද්ධව පවතින ‘කාලය‘ එකකින් එකක් වෙන්කල නොහැකි සාධකයකි. එසේම මනුෂ්‍ය දිවිය තුල තීරණාත්මක සාධතයකි. එසේ නම් මෙවන් වූ කාලය යහපත් හා පලදායි අයුරින් ප්‍රයෝජනයට ගන්නේ කෙසේද? මෙයයි මනුෂ්‍ය යෙකු ඉදිරියේ පවතින ප්‍රබල හා එකම අභියෝගය. මෙම අභියෝගය ජය ගැනීමට නම්, මේ ‘කාලය‘ සම්බන්ධයෙන් අවබෝධ කරගතයුතු හා ඒ තුලින් අප තුල වර්ධනය කරගතයුතු අංග රාශියක් ඇත. එනම්, කාලයට ආවේනික ගුණාංග, කාලයේ ඇති වැදගත්කම, කාලය නාස්තිවීමට බලපාන හේතු, කාලය නිසි අයුරින් ප්‍රයෝජනයට ගන්නේ කෙසේද? කාලයට ආවේනික ගුණාංග, යමක් පිලිබදව අධ්‍යනය කිරීමට, කථා කිරීමට හා එය අවබෝධ කරගැනීමට යාමේදී එයට ආවේනික ගුණාංග පිලිබදව පැහැදිලි වැටහීමක් පැවතීම ඉතා වැදගත්ය. ඒ අනුව කාලයට අවේනික ගුණාංග පිලිබදව හොද අවබෝධයක් සමාජයට පැවතීම අත්‍යඅවශ්‍යය. එවැනි ගුණාංග කිහිපයක් සරලව විමසා බලන්නේ නම්, යහපත/අයහපත, ලාභ/අලාභ, දුක/සතුට, දුෂ්කර/පහසු… යනාදී කිසිවක් හමුවේ ‘කාලය’ වෙනස් නොවී ඒකාකාරීව ගෙවී යනවා යන්න එක් ගුණාංගයකි. එසේම වැඩදායි හෝ නිෂ්පල කටයුත්තක ‘කා‍ලය’ උපයෝගි කරගත්ත ද එසේ උපයෝගි කර නොගත්ත ද ‘කාලය’ යන්න ගෙවීයනවා යන්න තවත් ගුණාගයකි. එසේම ගෙවීගිය ‘කාලය’ කිසිදු අයුරකින් නැවත ලබාගැනීම කිසිවකුටත් කල නොහැක්කක් යන්න තවත් ගුණාංගයකි. එසේම අනෙකුත් දෑ මෙන් ‘කාලය’ ඉතිරි කරගත නොහැකි නිසා මේ මොහොතට අදාල කාලය මේ මොහොතේම ප්‍රයෝජනයට ගතයුතු යන්නත් එහි ගුණාංගයකි. එසේම කාලය මිලදී ගැනීමට හෝ අලෙවි කිරීමට නොහැක්කක් යන්නත් තවත් ගුණාංගයකි. එපමණක් නොව එය තමන්ට අවශ්‍ය අකාරයට ස්වලප වශයෙන් හෝ ඉදිරියට හෝ පසුපසට යනාදී ලෙස වෙනස් කිරීමට හෝ පාලනය කිරීමට නොහැක යන්නත් එහි එක් ගුණාංගයකි… මේ ආකාරයට කාලයේ ගුණාංග රාශියක් පෙලගැසීමට පුළුවන. මෙහිදී විශේෂයෙන් සදහන් කලයුතු කාරණයක් ද ඇත. එනම්, ඉහතින් මා ඉදිරිපත් කරන සමහරක් ගුණාංග නිදසුනක් ලෙස ‘කාලය ඉතිරි කිරීම’, ‘කාලය විකිණිම’… යනාදී සමාජ ව්‍යවහාරයේ එලෙස භාවිතා වේ. උදාහර්ණයකට ‘විභාගයේ දී කාලය ඉතිරි කිරීම…’, ‘වැඩකදී කාලය මිල කිරීම…’ යනාදීය සදහන් කල හැක. නමුත් සැබැවින්ම ‘කාලය’ නම් සාධකය ඉතිරි කරනවාද? මිල කරනවාද? යන්න බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, එය එසේ නොවන බව ඔබට ම පැහැදිලි වනු ඇත. කාලයේ ඇති වැදගත්කම, මීලඟට දෙවන කාරණය වන කාලයේ ඇති වැදගත්කම පිලිබදව අවදානය යොමු කරන්නේ නම්, මෙවැනි විෂයක් සාකච්චාවට තෝරා ගැනීම ම මෙහි ඇති වැදගත්කම කියාපෑමකි. ඒ නැතත් මෙහි වැදගත්කම අවබෝධ කර ගැනීමට දීර්ඝ විග්‍රාහයන් නම් අවශ්‍ය ‍නොවේ. තත්පරයෙන් තත්පර ඔබේ ආයුෂ ගිල දමන ගෙවීගිය තත්පරය යටගියාවක් බවටත්, උදාවීමට නියමික තත්පරය අභිරහසක් බවටත්, උදාවී ඇති තත්පරය අභියෝගයක් බවටත් පත් කරවන මේ කාලය කොතරම් වැදගත් ද යන්නට මිට වඩා සාධක අවශ්‍ය නොවේ. සරලව ම පවසනවා නම්, මනුෂයාගේ ‘ආයුෂ’ හා බැදිව පවතින මේ ‘කාලය’ එනම් ‘ආයුකාලය’ තීන්දු කරන මෙම ‘කාලය‘ තරම් මිනිස් දිවිය තුල වැදගත් වෙන කිසිවක් පැවතිය නොහැක. මෙය තමා ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය තුලින් ද අවදාරණය කලේ. මීට අමතරව වරක් මුහම්මද් (සල්) තුමාණන් ද එය මෙසේ අවදාරණය කරන ලදී. මනුෂ්‍යා භාග්‍යයන් දෙකක් කෙරෙහි නොතැකීමෙන් ක්‍රියා කරන අතර එය නිසි ලෙස ප්‍රයෝජනයට නොගන්නේය. ඒ කාලය හා විවේකයයි. දන්වන්නේ – ඉබුනු අබ්බාස් (රලි) මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී ඉහත හදීසය තුලින් ද නබිතුමාණන් තහවුරු කරන්නේ කාලය මනුෂ්‍යාට ලැබී ඇති උතුම් වූ දායාදයක් ලෙසයි. එසේනම් මේ දායාදය හොදින් අවබෝධ කොට එය පලදායි අයුරින් භාවිතා කිරීම මනුෂ්‍යාගේ වගකීම නොවේද? කාලය නාස්තිවීමට බලපාන හේතු, මෙතෙක් ‘කාලය’ට ආවේනික ගුණාංග හා කාලයේ වැදගත්කම විමසා බැලුවෙමු. මීලඟට කාලය පිලිබදව කථා කරන විට ඉතා වැදගත් එමෙන්ම මෙවැනි ලිපියක අවශ්‍යතාවය පවා ඇති කරවූ කාරණය වන්නේ ‘කාලය නාස්තිවීම’ යන්නයි. මෙය විවිධ පුද්ගලයන් බලන දෘෂ්ඨියන් අනුවත්, තමන් නියෝජනය කරන ක්ෂේත්‍ර අනුවත්, තමන් කාලය සම්බන්ධයෙන් දරන ආකල්ප අනුවත් ‘කාලය නාස්තිය’ යන්න වෙනස් වේ. නිදසුනක් ලෙස රූපවාහිනිය නරඹන්නෙකු ‘තමන් රූපවාහිනිය නැරඹීම තුලින් මානසික සුවයක් ලබනවා එමනිසා එයට වැය කරන කාලය නාස්තියක් නොවේ’ යයි තර්ක කරන්නට පුළුවන. මෙය කෙනෙකුගේ දෘෂ්ඨියෙන් සාධාර්ණ ලෙස පෙනෙන්නටත් තවත් කෙනෙකුගේ දෘෂ්ඨියෙන් වැරදි සහගත ලෙස පෙනෙන්නටත් පුළුවන. නමුත් ‘යහමඟ’ මේ දෙකෙහි මධ්‍යම පියවර අනුගමනය කරන නිසා මෙවැනි තත්වයන් සම්බන්ධයෙන් පුද්ගල තීරණයන්ට නොඑළඹෙන අතර පොදුවේ විමසා බලනු ලැබේ. එනම්, මනුෂ්‍ය දිවිය තුල ගෙවීයන සෑම තත්පරයක්ම ඔහුට තීරණාත්මකය. එය මෙතෙක් සාකච්චා කල කරුණුවලට අනුව මෙන්ම ඉදිරියට කථා කරන කරුණු තුලින් ද ඔබට මනාව පැහැදිලි වනු ඇත. එසේනම් කෙනෙකු තම සීමිත කාලය කොතරම් හොදින් හා සූක්ෂම ලෙස කළමණාකරනය කරගත යුතු ද යන්න ඒ ඒ තැනැත්තා බුද්ධිමත්ව විමසා බලා තීරණයන්ට බැලිය යුතුය. මනුෂ්‍යා කාලය නිසිලෙස කළමණාකරනය කර නොගෙන නිෂ්පල ක්‍රියාවන්වල පවා තම කාලය යෙදවීම මෙම කාලය නිකරුණේ විනාශ වී යාමට තවත් ප්‍රධාන හේතුවකි. ‘යහපත් හා පලදායි කටයුත්තකට නොයෙදවෙන සියල්ල ‘නාසිතියකි’. කාලය සම්බන්ධයෙන් ද එය එසේමය යහපත් හා පලදායි කටයුත්තකට නොයෙදවෙන කාලය නාස්තියකි. මෙලෙස කාලය නාස්ති කරන ප්‍රධාන ක්ෂේත්‍ර රාශියක් නූතන සමාජය තුල දක්නට ලැබේ. එනම්, රූපවාහිනිය – අද ස්ත්‍රී පුරුෂ, ලොකු කුඩා සියළුදෙනා වැඩියෙන්ම තම කාලය නාස්ති කර ගන්නා ක්ෂේත්‍රය වන්නේ රූපවාහිනියයි. චිත්‍රපට, ලෙසත්, සංගීත වැඩසටහන් ලෙසත්, අනෙකුත් වාර්ථාමය හා විනෝදාත්මක වැඩසටහන් ලෙස, මෙගා නාට්‍ය ලෙසත්… මනුෂ්‍යෙයකු තම දිවිය තුල රූපවාහිනි යන්ත්‍රයක් ඉදිරියේ ගෙවාදමන කාලය සුළුපටු නොවේ. ඔබ දිනපතා රූපවාහිනියක් ඉදිරියේ ගෙවාදමන කාලය සතියක් ලෙසත්, මාසයක් ලෙසත්, වසරක් ලෙසත් අවසානයේ ඔබ රූපවාහිනිය නැරඹු කාලයත් පදනම් කරගෙන ගණනය කර බැලුවේ නම් ඔබට එහි බරපතලකම අවබෝධ වනු ඇත. එය ඔබේ ජීවිත කාලයෙන් සැලකිය යුතු තරම් විශාල අගයක් වනවා නොඅනුමානය. කෙසේ වෙතත් මෙහිදී සමහරක් පිරිස් ඉහත මතයට එරෙහිව ඉදිරිපත් කරන ජනප්‍රිය තර්කයක් ද ඇත. ඒ ‘ඇයි රූපවාහිනිවල ලොව වටා මෙන්ම රටේ තොරතුරු වැනි හොද දේවල් දැනගන්න පුළුවන්නේ ඉතින් කොහොමද මේක නරක වෙන්නේ‘ යන්නයි. නූතන බුද්ධිමත් සමාජය මෝඩයාට අන්දමින් ඔවුන් අඳුරු ඉසව්වකට රැගෙන යන මේ රූපවාහිනි මාධ්‍යයන් තුල යහපත් දෑ ද ඇති බව සැබෑවකි. නමුත් එය 5% පමණවත් නැති තරම්ය. එහි 95%ක් ම නොසුදුසු හෝ නිෂ්පල වැඩසටහන් යන්නෙහි ඔබ මා සමඟ එකඟවනු ඇත. දැන් බුද්ධිමත්ව විමසා බලන්න 5% ක යහපත් වෙනුවෙන් 95% නිෂ්පල ලෙස කාලය නාස්ති කිරීම බුද්ධිමත් ඔබ අනුමත කරනවාද? එපමණක් නොව විශ්ව දැනුම වර්ධනය කරගන්න ලොව එකම මාධ්‍යය රූපවාහිනිය නොවේ. පුවත්පත්, සඟරා, අන්තර්ජාලය… මාධ්‍යයන් රාශියක් ඇත. ඒවා තුල අපට අවශ්‍ය හා අනවශ්‍ය දෑ තොරාබේරා ගතහැක. ඒ තුලින් කාලය කළමණාකරනය කරගත හැක. එසේ තිබියදී රූපවාහිනිය ඉදිරියේ ගෙවාදමන කාලය සාධාර්ණීකරණය කිරීම පිලිගතහැකි තර්කයක් වියහැකිද?. සරල නිදසුනකින් තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, ඔබ ප්‍රයෝජනවත් යැයි පවසන රූපවාහිනි නාලිකාවක පුවත් විකාශනයක් මොහොතක් විමසා බලන්න. (අද සමහරක් නාලිකාවල විකාශනය වන පුවත් ඇත්තටම පුවත්ද? යන්න වෙනම කථා කලයුතු මාතෘකාවකි). උපකල්පනයකට එය හොද යයි සැලකුවත් ඒ පුවත් අතර තුර වෙළද දැන්වීම් ලෙස කොතරම් දෑ විකාශනය කරනවාද? මේවා එක් පසකින් ප්‍රේක්ෂක ඔබේ කාලය නස්ති කිරීමක් පමණක් නොව ඔබට අනවශ්‍ය දෑ ඔබට බලෙන් පෙන්වීමකි. ඉතින් මේවා මනුෂ්‍යාගේ වටිනා කලාය නාස්ති කරන ප්‍රධාන ක්ෂේත්‍රයක් යන්න තවදුරටත් ඔබට තීන්දු කිරීම අපහසු නොවනු ඇත. ක්‍රිඩා කටයුතු – ක්‍රිඩාව යන්න මනුෂ්‍යාගේ කය වර්ධනයටත් බුද්ධි වර්ධනයටත් අත්‍යඅවශ්‍ය අංගයකි. නමුත් සමහරක් ක්‍රිඩා දෙස බලනවිට මේ ගුණාංග ඒ තුල දක්නට තිබෙනවාද? යන්න සැක සහිතය. එපමණක් නොව ඒ වටා රොක්වන ප්‍රක්ෂකයින් මේ තුල ගෙවා දමන කාලය ඔවුනට කොතරම් පලදායි වනවාද? යන්න බුද්ධිමත්ව විමසා බැලිය යුත්තකි. විශේෂයෙන් අප රටේ පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියක් හොදින් විමසා බලන්න. එය රූපවාහිනි නාලිකාවක් තුලින් විකාශය වන්නේ මෙහි තත්වය තවත් දරුණුය. රාජ්‍ය සේවකයා පටන් පාසැල් දරුවන් දක්වා සියළු ක්ෂේත්‍රයන් ඇණහිටී යනවා යයි මා පැවසුවේ නම් එය අතිශයෝක්තියක් නොවනු ඇත. මේවා සියල්ල තම වටිනා කාලය කිරීමක් නොවේද?. විශේෂයෙන් අද වනවිට ක්‍රිකට් ක්‍රිඩාව ක්‍රිඩාවේ ශුද්ධ වූ අරමුණුවලින් බැහැරව සූදුවක් පමණක් නොව ජාතිමාමාකත්වය හා ජාතිවිරෝදය ප්‍රකාශ කරන හා මනින සාධකයක් බවට පත් කරගෙන ඇත. මේ සියල්ලට වඩා මෙවැනි පහත් පෙලේ ක්‍රිඩාවන් තුල තරුණ පිරිස් මෙන්ම කුඩා දරුවන් ද වැඩිහිටියන් ද නාස්ති කරන කාලය කිසිසේත් නොසලකා හැරිය හැකි මට්ටමේ නොවේ. (මේ පිලිබදව සමස්ථ සමාජයටම ඉහල මට්ටමේ අත්දැකීම් ඇති නිසා වැඩිදුර විස්තර නොකරමි) තරුණ පිරිස් කාලය ගතකරන ආකාරය – මෙය වෙනම කථා කිරීමට තරම් වැදගත් වූ ක්ෂේත්‍රයකි. රටේ කොඳුනාරටිය වූ රටේ තරුණ ජවය අද කඩවීදිවල හා බෝක්කු මත විනාශ වෙමින් තිබෙන්නේ ඔවුනට පමණක් නොව රටටම පලක් නොවන ආකාරයටය. ඔවුන් කල්ලි ගැසී නිෂ්පල කථාබහවල නියලීමත්, නිෂ්පල ක්‍රියාවන් හි නිරතවීමත් නිතර දකින පොදු තත්වයක් වී ඇත. මෙහිදී මුහම්මද් (සල්) තුමාණන් කල ප්‍රකාශයක් තරුණ ඔබේ බුද්ධිමත් විමසුමට තබන්න අදහස් කරමි. කියාමත් (මරණින් මතු උදාවන විනිශ්චය) දිනයේ ප්‍රශ්න 05කට පිලිතුරු ලබාදෙන තුරු (දෙවි ඉදිරියේ) සිටී තැනින් කිසිවකුටත් සෙලවීමට ද නොහැකි වනු ඇත. එයින් දෙකක් වන්නේ , නුඹගේ ආයුකාලය කෙසේ වැය කලේද , නුඹගේ තරුණ අවදිය කෙසේ වැය කලේද යන්නයි. මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි ඉහත හදීසයට අනුව තරුණ දිවියක් ලෞකික වශයෙන් පමණක් නොව ලෝකොත්තර වශයෙන්ද කොතරම් වැදගත් හා තීරණාත්මක සාධකයක් වනවා ද යන්න අවබෝධ කරගැනීම සාමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකුට පවා අවබෝධ කරගැනීම කිසිසේත් අපහසු නොවනු ඇත. නිකරුණේ කාලය නාස්ති කරදමන ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් පිලිබදව ඉහතින් කථා කලද මෙවැනි ක්ෂේත්‍ර ගණනාවක් සමාජය තුල දක්නට ඇත. නිෂ්පල ක්‍රිඩාවන්, පුවත්පත්, සඟරා, ගමන්බිමන්, අන්තර්ජාල භාවිත… යනාදී ලෙස විශාල ප්‍රමාණයක් පෙලගැසීමට ද පුළුවන. මේවා පිලිබදව ඔබ බුද්ධිමත්ව විමසා බැලීම අත්‍යඅවශ්‍යය. ඉහත ක්ෂේත්‍රයන්ට අමතරව මනුෂ්‍යා තම කාලය නිෂ්පල අයුරින් ගෙවාදැමීමට බලපාන මානසික හේතු ද ගණනාවක් ඇත. මේ අතුරින් ප්‍රධානතම හේතුව වන්නේ තම මනස තමන්ට පාලනය කරගැනීමට ඇති නොහැකියාවයි. මේනිසා තම හැඟීමන්ට වහල් වී නිෂ්පල ක්‍රියාවන් තුල තම වටිනා කාලය නාස්ති කරගන්නා පිරිස් සමාජය තුල ඕනෑ තරම් දක්නට ලැබේ. එහි අතුරු ප්‍රතිපලයක් ලෙස අලසකම, පරාජිත මානසිකත්වය, යමක් කරන්නට ඇති බිය, වැඩ කල්දැමීමේ පුරුද්ද, වගකීමන් භාර ගැනීමට ඇති බිය හා අකමැත්ත, උදාසීන බව, අනවශ්‍ය කලබල වීම්, අවිනිශ්චිත බව, දුක, කරදරකාරී බව, සෘනාත්මත චින්තන, නොහැකියාව, පූර්ව නිගමන මත පදනම්ව තීන්දු ගැනීම, නිසි අවදානයෙන් ක්‍රියා නොකිරීම, උනන්දුවක් නොමැතිකම… යනාදී ලෙස දුර්ගුණාංගයන් රාශියක් පෙලගැසිය හැක. මේවා තුලින් ද කෙනෙකුගේ ජීවිතය තුල කාලය නාස්තිවීම උපරිමයෙන් සිදුවේ. මෙතැනදී ද සදහන් කලයුතු වැදගත් කාරණයක් ද ඇත. එනම් ජීවිතයේ දිනා ගතයුතු ඉලක්ක හා අභියෝග සියල්ල නොසලකා හැර කිසිවකු ඒවා මඟහැර යන්නේ නැත. ඔවුන් බොහෝ වි‍ට කරණුයේ සියල්ල කාලයට බාරදී බලාහිඳීමය. එනම්, අද මේ තත්පරය, මේ විනාඩිය, මේ පැය හෝ මේ දවස මෙලෙස ගෙවාදමා හෙට දවසේ මේ සියලු දුර්වලතාවයන් මඟහැර හොද දවසක් අරම්භ කොට සියළු අභියෝග ජයගන්නා බවට අධිෂ්ඨාන කරගනී. නමුත් සිදුවන්නේ ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම එම හෙට දිනය උදා නොවීමය. එනම් කල්යත්ම සිදුවන්නේ ඒ කිසිවක් ඉටු නොකොට අත්හැර දැමීම පමණි. මෙවැනි තත්වයන්හි අතුරු පලය පිලිබදව ද මෙතැන දී වචන කිහිපයක් හෝ කථා කලයුතුමය. එනම්, සියල්ල කාලයට බාරදී පසුව ඒවා සියල්ල අත්හැර දැමීම කාලයක් තිස්සේ සිදුවන විට ජීවිතය තුල කලකිරීමක්, නොසන්සුන් බවක්, අවිනිශ්චිත බවක්, අධික කෝපයක්, නොරූස්සන බවක්… යනාදී දුර්ගුණාංගයන් වර්ධනය වීමට හේතු වේ. අවසානයේ ඔහු මේවායින් මිදෙන්න විවිධ කෙටි ක්‍රම සොයයි. (එහිදී ශෙයිතාන් (නම් නපුරා)ගෙන් ලැබෙන සහයෝගය කිසිසේත් මුස්ලීම්වරුන්ට අමතක කල නොහැක.) එහිදී කුමන ක්‍රියාවන් කාලය නාස්ති කරන නිෂ්පල ක්‍රියාවන් ලෙස පැහැදිලිව අවබෝධ කොට සිටින්නේද ඒ සියල්ල කෙරෙහි සිත උනන්දු කරවයි. චිත්‍රපට බැලීම, සංගීතය සවන්දීම, ක්‍රිඩා හා රූපවාහිනි නැරඹීම… යනාදීය එවැනි කිහිපයකි. අවසානයේ මේවා තුලින් ද ඔහුගේ තත්වය තව තවත් ව්‍යාකූල වන අතර මානසික රොගියෙකු තත්වයට පත්ව මූළු ජීවිත කාලයම අවුල් කරගන්නා තත්වය පත්වේ. අවසානයේ ඔවුන් තම මුළු ජීවිත කාලයම නාස්ති කරගන්නා තත්වයට පත්වේ. කාලය නිසි අයුරින් ප්‍රයෝජනයට ගන්නේ කෙසේද? මෙතෙක් සාකච්චා කල කරුණුවලට අනුව කාලය ගුණාංග මොනවාද? යන්නත්, කාලය නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමේ වැදගත්කම කුමක්ද? යන්නත්, එය නාස්තිවීම සිදුවන ආකාරයන් මොනවාද? යන්නත් තරමක් දුරකට විමසා බැලුවෙමු. දැන් අප ඉදිරියේ ඇති අභියෝගය වන්නේ මේ කාලය පලදායි ආකාරයට යොදා ගන්නේ කෙසේද? යන්නයි. ඒ පිලිබදව කථා කිරීමේ දී ලිපියෙහි ආරම්භයේ සදහන් කාරණයක් වෙත නැවතත් ඔබේ බුද්ධිමත් අවදානය යොමු කිරීම සුදුසු යයි හැඟේ. එනම්, දිනපතා තත්පර 86400 ක් සමඟ අප හමුවට එන දවසට අප දක්වන සක්‍රිය ප්‍රතිචාරය කුමක්ද? යන්නයි. මෙතැනදී කෙනෙකු එය ‘පැය 24යි නේ’, නැත්නම් ‘දවසයි නේ’ යනුවෙන් සරල ලෙස කථා කිරීමට පුළුවන. නමුත් ශතය ගැන නොතකා රුපියල ගැන කථා කල නොහැකිවා සේම තත්පරය ගැන නොතකා විනාඩිය, පැය, දවස, සතිය, මාසය, වර්ශය ගැන කථා කල නොහැකි බව ප්‍රථමයෙන් අවබෝධ කරගතයුතුය. අනික මෙහිදී ඔබ පැහැදිලි ලෙස අවබෝධ කරගතයුතු කාරණයක් නම්, ඔබේ අවසාන හුස්ම පිටවන මොහොත ඇත්තේ දවසේ මේ තත්පර 86400න් එකක බවය. තවද එය කවදා හෝ උදාවන මීලඟ තත්පරය බව අමතක නොකලයුතුය. එම යථාර්යය හරියටම අවබෝධ කර ගත්තේ නම් කිසිවකුටත් මීලඟ තත්පරය නොවැදගත් එකක් නොවනු ඇත. ඔබට ‘මීලඟ තත්පරය’ වැදගත් එකක් වුයේ නම්, ඔබේ මීලඟ විනාඩිය, මිලඟ පැයත්, මීලඟ දවසත් ඉබේම වැදගත් වනු ඇත. එයින් ඇ‍ඟවෙන්නේ ඔබ කාලය නිසි ලෙස කළමණාකරණය කිරීමට ඔබ සූදානම් බවය. එවිට ඔබ නිකරුණේ කාලය ගෙවාදැමීමට ‍හෝ වැඩ කල්දැමීමට කිසිසේත් පෙළඹෙන්නේ නැත. මෙහිදී මුස්ලීම්වරුන්ගේ විශේෂ අවදානය පිණිස ද කිවයුතු වැදගත් කාරණයක් ඇත. එනම් දිව්‍යමය දහමක් තුලින් ආදර්ශ ලද මුස්ලීම් සමාජය ද අද කාලය නාස්ති කිරීමේ ක්‍රියාවලිය තුල අනිකුත් සමාජයට දෙවැනි වී නැත. විශේෂයෙන් අසීමිත භාග්‍යයන් අප වෙත රුගෙනවිත් කෙමෙන් කෙමෙන් අපෙන් නික්මෙන මේ රමලාන් (උපවාස) මාසය එයට හොද නිදසුනකි. මුස්ලීම්වරයෙකු අධික ලෙස යහකටයුතුවල හා කුසල් කටයුතුවල නියලීමට සුදුසුම කාලය මේ උපවාසය සමයයි. නමුත් මේ භාග්‍යයන් පිරි මාසය පවා මුස්ලීම්වරුන් වෙනදටත් වඩා නිෂ්පල ආකාරයට ගෙවාදැමීම සුලභ දසුනක් වී ඇත. විශේෂයෙන් තරුණ පිරිස් මේ දිනවල වැඩි කොටසක් (දහවල) නින්දේ ද, රාත්‍රිය පුරා අනවශ්‍ය ක්‍රිඩා හා හිස්වදන් දෙඩවීමෙහි කල්ලි ගැසීම්වල ද තම වටිනා කාලය නාස්ති කරදමයි. වර්ෂයකට වරක් උදාවන අසීමිත ලෙස භාග්‍යයන් ගෙනදෙන මේ උතුම් වූ මාසය මේ ආකාරයට අලසකමින් ගෙවාදැමීම කොතරම් ලොකු අභාග්‍යයක්ද?. එපමණක් නොව මේ උපවාස මාසයේ යහකටයුතුවල නිරත නොවී එළඹෙන වර්ෂයේ යහකටයුතුවල නිරතවීමට අපට අපේ ජීවිතය ගැන ඇති සහතිකය කුමක්ද?. මේවා මුස්ලීම් සමාජය බුද්ධිමත්ව විමසා බැලිය යුතු නොවේද?. අපේ ජීවිතයේ තීරණාත්මක ම සාධකය වන මේ ‘කාලය‘ පිලිබදව මුස්ලීම්වරුන් දැන්වත් විමසිලිමත් වියයුතුය. බලන්න එදා මුහම්මද් (සල්) තුමානන් තුලින් ආදර්ශ ලද ශ්‍රේෂ්ඨ සහාභිවරුන් මෙන්ම මුහම්මද් (සල්) තුමාණන්ගෙන් පසු පහල වූ දෙවන හා තෙවන (කලීෆා හෙවත්) ජනාධිපතිවරුන් වන අබූබක්කර් (රලි) තුමා හා උමර් (රලි) තුමා යන දෙදෙනා මේ ‘කාලය’ මූලික කරගෙන අල්ලාහ් (දෙවි)ගෙන් කල ප්‍රාර්ථනාව කුමක්ද? යන්න. එනම්, අබූබක්කර් (රලි) තුමා තම ප්‍රාර්ථනාවේ දී – (අල්ලාහ්) දෙවියණි!, මා කාලය සම්බන්ධයෙන් නොසැලකිල්ලේන් ක්‍රියා කරන්නෙකු තත්වයට පත් නොකරන්න උමර් (රලි) තුමා තම ප්‍රාර්ථනාවේ දී – (අල්ලාහ්) දෙවියණි!, මාගේ කාලය දීර්ඝ කරනු, එම කාලය නිවරුදිව හා යහපත් අයුරින් භාවිතා කරගන්න භාග්‍ය ද කරනු ඉස්ලාමීය ඉතිහාසය තුල විශිෂ්ඨතම සහාබිවරුන් (නබිතුමාණන්ගේ සමකාලීනයන්) වන මේ දෙදෙනා මෙලෙස දෙවියන්ගෙන් ප්‍රාර්ථාන කලානම් ඔබ හා මම මේ කාලය පිලිබදව කොතරම් සැලකිලිමත් වියයුතුද?. මොහොතක් සිතා බලන්න. අප පොළොව මත වසර දහස් ගණන් ජීවත් වන්න අදහස් කරන්නේද?. අද සමාන්‍ය මනුෂ්‍යයෙකුගේ ආයුකාලය වසර 70කි. එයම අල්ලාහ් (දෙවි)ගේ දෘෂ්ඨියෙන් කොපමණ ද යන්න ඔබ මොහොතක් හෝ විමසා බැලුවේද?. මේ ලිපිය තුලින් කාලය පිලිබදව කථා කෙරෙන නිසා එම කාලයද සරල ගණනය කිරීමක් තුලින් දළ වශයෙන් විමසා බලන්නේ නම්, ශුද්ධ වූ කුර්ආනයේ 70-4 වාක්‍යය තුලින් අල්ලාහ් (දෙවි) තමන් හමුවේ එක් දිනක කාල පරාසය පෘථිවි දිනවලින් අවුරුදු 50000ක් බව පවසයි. එනම්, දෙවියන් හමුවේ එක් දිනයක් යනු පෘථිවි දින 18250000 (50000×365) කි. දැන් අපගේ සාමාන්‍ය අයුකාලය (වන අවුරුදු 70)ට සාපේකෂව දෙවියන් හමුවේ එය කොපමණ කාලයක්ද යන්න දළ වශයෙන් ගණනය කර බලන්න. එනම්, (පහත ගණනය කිරීම යම් යම් උපකල්පනයන් ද පදනම් කරගෙන සිදුකල ගණනය කිරීමක් වන නිසා වඩාත් නිවරුදි ගණනය කිරීමක් නොවන බව මතකයේ තබාගන්න) දෙවියන් හමුවේ 01 දිනයක් = පෘථිවි අවුරුදු 50000 ක් එසේනම් දෙවියන් හමුවේ පැයක් = පෘථිවි අවුරුදු 50000/24 ක් දෙවියන් හමුවේ විනාඩියක් = පෘථිවි අවුරුදු 50000 / 24 x 60 ක් එනම් දෙවියන් හමුවේ විනාඩියක් = පෘථිවි අවුරුදු 34.722 ක් එනම් දෙවියන් හමුවේ විනාඩියක් = පෘථිවි අවුරුදු ආසන්න වශයෙන් 35 ක් දෙවියන් හමුවේ විනාඩි 02 ක් = පෘථිවි අවුරුදු ආසන්න වශයෙන් 70 (35 x 2) ක් දෙවියන් හමුවේ විනාඩි 02 ක් = පෘථිවි සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ ආයුකාලය ඉහත ගණනය කිරීම අනුව ‍සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ ආයුකාලය අල්ලාහ් (දෙවි) හමුවේ දළ වශයෙන් විනාඩි 02ක් තරම් කෙටිම කෙටි කාලයකි. ඔබ බුද්ධිමත් කෙනෙකු නම්, මොහොතක් මෙහෙම විමසා බලන්න. ලෞකික දිවියට පමණක් වැදගත් වන සාමාන්‍ය තරඟ හෝ වෙනත් විභාගයක් සදහා පෙනී සිටීමට අවශ්‍ය වූ විට ඔබ ඒ වෙනුවෙන් කොතරම් නම් කැප කිරීමන් කරමින් සූදානම් වනවාද?. එපමණක් ද නොව පැය 02 එම විභාග කාලය තුල කාලය උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීමට ඔබ ගන්නා උත්සාහය හා වෙහෙස මොනතරම්ද?. ලෞකික දිවියට වැදගත් වන මේ විභාගයට ඔබ මෙ‍පමණ කැපකිරීම් කරනවා නම්, ලෞකික දිවියට පමණක් නොව ලෝකොත්තර දිවියට පවා තීරණාත්මක සාධකය වන ‘ආයුකාලය’ කොතරම් සැලසුම් සහගත ලෙස කළමණාකරණය කලයුතුද?. දෙවියන් හමුවේ කෙටිම කෙටි ආයුකාලයක් ලබා සිටින ඔබ එය කොතරම් පරිස්සමට සැලසුම් කලයුතුද?. විශේෂයෙන් මරණින් මතු ‘කියාමත්’ නම් විනිශ්චය දිනයේ දෙවියන් ඉදිරියේ පැවැත්වෙන විභාගය සදහා අප කොතරම් මෙහි සූදානම් වියයුතු ද?. මෙතැන දී මිනිස් සමාජයට නබිතුමාණන් කල අවවාදයක් සිහියට නැ‍‍ගේ. ඒ ‘නුඹලා මහල්ලන් වීමට පෙර තාරුණ්‍යය ද, මරණය උදාවීමට පෙර ආයුකාලය ද ප්‍රයෝජනයට ගන්න.’ යන්නයි. මේ අවවාදය මුස්ලීම්වරුන් වන අප කොතරම් දුරකට අප අපේ ජීවිතයට ගලපාගෙන තිබෙනවාද?. මෙහිදී ලිපිය ආරම්භයේ ඔබේ අවදානයට ගෙන එන ලද හදීසයක් නැවතත් ඔබේ අවදානයට ගෙන ඒම සුදුසු යයි හැ‍ගේ. එනම්, මනුෂ්‍යා භාග්‍යයන් දෙකක් කෙරෙහි නොතැකීමෙන් ක්‍රියා කරන අතර එය නිසි ලෙස ප්‍රයෝජනයට නොගන්නේය. ඒ කාලය හා විවේකයයි. දන්වන්නේ – ඉබුනු අබ්බාස් (රලි) මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී මෙතෙක් සාකච්චා කල කරුණුවලට අනුව මනුෂ්‍ය දිවිය තුල ‘කාලය’ කොතරම් වැදගත් සාධකයක් යන්නත්, එය නිසි අයුරින් කළමණාකරණය කර නොගැනීම තුල ඔහු ව්‍යාකූල තත්වයට යොමු වෙනවා යන්නත්, ඒ තුලින් ලෞකිකව පමණක් නොව ලෝකොත්තරව ද අවාසනාවන්ත ඉරණමයන්ට ඔහු තල්ලු වෙනවා යන්නත් පැහැදිලිය. එසේනම් මේ ‘කාලය’ යහපත් අරමුණු සදහා යහපත් ආකාරයට යොදා ගැනී‍ම අත්‍යඅවශ්‍යය. එසේ නොවන්නේ නම්, අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනයේ 103 පරිච්චේදයෙන් පවසන ආකාරයට ‘නියත වශයෙන්ම මිනිසා අලාභයෙහිමය’ යන්නෙහි විවාදයක් නැත. කාලය මත දිවුරා පවසමි. නියත වශයෙන්ම මිනිසා අලාභයෙහිමය. කවුරුන් විශ්වාස කොට යහපත් ක්‍රියාවන් හි යෙදී සත්‍ය පිලිබදව හා ඉවසීම පිලිබදව අන්‍යොන්‍යව අවවාද අනුශාසනා කරගන්නේ ද ඔවුන් හැරය. ශුද්ධ වූ කුර්ආනය 103-1, 2, 3 අවසානම වශයෙන් පවසන්නට ඇත‍්තේ ‘කාලය’ නොඑසේ නම් ‘ආයුකාලය’ යන්න අප‍ට භාග්‍යයක් කර ගන්නවාද? නොඑසේ නම් අභාග්‍යයක් කර ගන්නවාද? යන තීන්දු ඇත්තේ අප අතේමය. මෙය භාග්‍යයක් කරගැනීමට නම්, එය නිසි ලෙස කළමණාකරනය කර ගැනීමට අමතරව මේ ‘කාලය’ තුලින් අපට යහපත ම ගෙනදෙන්නට ද අල්ලාහ් (දෙවි)ගෙන් ප්‍රාර්ථනාවන් ද කලයුතුව ඇත. ඒ සදහා මේ රමලාන් (උපවාස) මාසය සුදුසුම කාලය යන්න මාගේ විශ්වාසයයි. එසේනම්, ඉහත 103 ශුද්ධ වූ කුර්ආන් පරිච්චේදයෙන් පවසන ‘අලාභය’ ලඟා කරගත් අවාසනාවන්ත පිරිස් අතර අප ද නොවේවා!, තවද, යාඅල්ලාහ් මේ ‘කාලය‘ අපට පලදායි එකක් මෙන්ම දෙලොව විමුක්තිය ලඟාකර දෙන සාධකයක් ද වේවා! යනුවෙන් ප්‍රාර්ථනා එක් කරමින් මේ ලිපිය අවසන් කරමි.

අබූ අර්ශද්

 

Related Post