අවංක ව්‍යපාරයක් උගන්වන ඉස්ලාමය2 (Trade sincere)

 

sinhala

බිස්නස් කරන්න නමුත් අවංකව

ඉහත අවාසනාවන්ත තත්වයට යොමු නොවීමට නම්, එම නිවරදි සීමාවන් හදුනාගෙන කටයුතු කිරීමට සෑම මුස්ලීම්වරයෙකු කෙරෙහිම අනිවාර්‍ය වගකීමක් ඇත. එම වගකීම හොදින් මතකයේ රදවාගෙන දැන් මාතෘකාව වෙත අවධානය යොමු කරමු. මෙහිදී ප්‍රථමයෙන් ‘ව්‍යාපාරයක්’ සදහා ඉස්ලාම් ලබාදෙන විග්‍රාහය කුමක්ද? යන්න පිලිබදව මූලික අවබෝධයක් ලබාගැනීම අත්‍යඅවශ්‍ය වේ. ඒ පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීමන් විමසා බලන වි‍ට එහි පහත හදීසය මෙතැනට වඩාත් සුදුසු විග්‍රහයක් ලෙස මට සිතේ. එනම්,

  ‘විකුණන්නා සහා මිලදී ගන්නා වෙන් නොවනතාක් (ඔවුන් අතර සිදුවන) එම වෙළද ගිවිසුම අවලංගු කිරීමේ අයිතිය දෙදෙනාටම ඇත. ඔවුන් දෙදෙනා සත්‍ය කථා කොට, එහි අඩුපාඩු ඇත්නම් එය ද අනාවර්ණය කරගනිමින් (එම වෙළදාම) සිදු කරන්නේ නම්, එහි ‘බරකත්’ (දෙවියන්ගේ භාග්‍යයන්) ඇති වේ. අඩුපාඩුකම් සඟවා, බොරු පවසා එම වෙළදාම සිදු කලේනම්, එහි ඇති ‘බරකත්’ ඉවත් වී යනු ඇත.’ මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

 ඉහත හදීසයට අනුව වෙළදාමක්, ගනුදෙනුවක් හෝ ව්‍යාපාරයක් යනු දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර සිදුවන ගිවිසුමක් යන්න මූලික වශයෙන් පැහැදිලි වේ. ‘ගිවිසුමක්’ යනු එහි පාර්ශවකරුවන් එම ගිවිසුමට එකඟවීම අත්‍යඅවශ්‍ය සාධකයක් යන්න පැහැදිලිය. එසේම එහි දෙපාර්ශවයටම බලපෑමක් ඇති නොවන ආකාරයේ නිදහසේ ක්‍රියා කිරීමට අවශ්‍ය පසුබිම එහි තිබිය යුතුය. එපමණක් නොව එම ගිවිසුම වලංගුවීමට නම් ඒ තුල හොර, බොරු, වංචා, සැඟවීම, මුලා කිරීම්… යනාදී ගුණාංග කිසිවක් නොපැවතිය යුතු යන්න ඉහත හදීසය තුලින් නැතත් ලොව සියළු දෙනා ඒකමතිකව පිලිගත් කාරණයකි. මේ සියල්ලෙන්ම පිරිසිදු වූ ව්‍යාපාරික කටයුත්තක්, වෙළදාමක් තමා ඉස්ලාම් අනුමත කරන ව්‍යාපාර බවට පත් වන්නේ. එහි දී එම ගිවිසුමට සම්බන්ධ වන පාර්ශවයන් දෙදෙනා හෝ කිහිපදෙනා (වෙළදාම අවසන් කොට) වෙන් වනතුරු එම ගිවිසුම වලංගු මට්ටමින් පවතී යන්න ඉස්ලාම් දහම පනවන තවත් කොන්දේසියකි. මේ ආකාරයේ වූ සාධාර්ණ වෙළදාමක් (ව්‍යාපාරයක්) කෙරෙහි ඉස්ලාම් දහම කොතරම් දුරකට සැලකිලීමත් වී තිබෙනවාද? යන්න අවබෝධ කරගැනීම පිණිස හදීස් කිහිපයක් ඔබේ අවධානයට යොමු කරන්නේ නම්,

 වරක් නබිතුමාණන් වෙළද පොළක් අසලින් ගමන් කරන විට (වර්ෂා සමයේ එහි) වියලි ධාන්‍ය ගොඩක් දැක එය තුලට තම අත යවා බැලූවිට එහි පතුලේ තෙත් වූ ධාන්‍ය තිබෙනු දැකගන්නට ලැබුණි. මේ මොනවාද? යන්න විමසා වියලි හා තෙත් ධාන්‍ය වෙන් වෙන් වශයෙන් පාරිභෝගිකයන් හට පහසුවෙන් හදුනාගත හැකි ආකාරයට තබන ලෙස අවවාද කරන ලදී.  (මූලාශ්‍ර ග්‍රන්ථය  – බුහාරී)

කවුරුන් මිල ඉහල නැංවීම පිණිස භාණ්ඩයන් (අලෙවි නොකොට) සඟවා තබන්නේ ද ඔහු වරදක් කල තැනැත්තෙකු බවට පත්වේ. යනුවෙන් නබිතුමාණන් පවසන ලදී. (මූලාශ්‍ර ග්‍රන්ථ – මුස්ලීම්)

 අරාබි දේශයේ විවිධ වූ රට ඉදි වර්ග (එනම් මිල වැඩි හා මිල අඩු වර්ග) හැදෙන අතර එම අස්වැන්න එකට මිශ්‍ර කොට අලෙවි කරන ක්‍රමවේදයක් එහි පැවතුණි. යෙ දුටූ නබිතුමාණන් එසේ නොකරන ලෙසත් ඒ ඒ වර්ගය වෙන වෙනම තබා අලෙවි කරන ලෙසත් අවවාද කරන ලදී.   (මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී)

 ඉහතින් මා ඉදිරිපත් කො‍ට ඇත්තේ නූතන ව්‍යාපාරික ලෝකය තුල පවා සමාන්‍ය කාරණයක් ලෙස සලකන වංචාවන් හෝ මුලාවන් සම්බන්ධයෙන් ඉස්ලාම් දහම මුස්ලීම් සමාජයට කරන අවවාද හා මඟපෙන්වීම් කිහිපයක් පමණි. මෙතෙක් සාක්ච්චා කල කරුණුවලට අනුව ඉස්ලාම් දහම තුල අනුමත ව්‍යාපාරයක් වීම සදහා එය ‘පොලී’ වලින් සම්පූර්ණයෙන් ඉවත් වීම, මෙන්ම එහි හොර, බොරු, වංචා, සැඟවීම, මුලා කිරීම්… යනාදී සියල්ලෙන් කිසිවක් සිදු නොවීම, ප්‍රමාණවත්ද? යන්න ඔබට දැන් සිතෙන්නට පුළුවනි. මෙතැන දී අව‍බෝධ කර ගතයුතු තවත් වැදගත් කාරණයක් ද ඇත. එනම්, ඉහත අවශ්‍යතාවයන්ට අමතරව සපුරාලිය යුතු තවත් සුවිශේෂි කොන්දේසි ගණනාවක් ද ඉස්ලාම් දහම පනවා ඇත. ඒ අතුරින් මෙම ලිපියට අදාල කොන්දේසි කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන්නේ නම්,

 ඉස්ලාම් තහනම් කල ආහාර වර්ග හෝ භාණ්ඩ වෙළදාම් කිරීම සිදුකල නොහැක.

            එක්තරා පුද්ගලයෙකු මත්පැන් අලෙවි කරන බව දැනගත් උමර් (රලි) තුමාණන් ‘ඔහුට අල්ලාහ් ශාපකරත්වා!,  යුදෙව්වරුන්ට (සත්ව) මේදය තහනම් කලවිට ඔවුන් එය උණූකොට අලෙවි කල නිසා අල්ලාහ් ඔවුන්ව විනාශ කරත්වා!, යනුවෙන් නබිතුමාණන් පැවසූ කාරණය ඔහු නොදන්නේද? යනුවෙන් විමසන ලදී.   (මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී)

 වෙළදාමට මූලික වන භාණ්ඩය එම ස්ථානයේ තිබීම අත්‍යඅවශ්‍ය වේ.

  ‘පාරිභෝගික භාණ්ඩ තම අතට පත්වීමට පෙර එය අලෙවි නොකරන්න’ යනුවෙන් නබිතුමාණන් නීති පනවන ලදී. තවදුරටත් පැවසීමේ දී ‘එසේ විකිණීම මුදලට මුදල් විකිණීම බදු වේ’ යනුවෙන් ද පවසන ලදී.   (මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී)

 කිසියම් තැනකින් වෙළද භාණ්ඩයක් මිලට ගෙන එම ස්ථානයේම අලෙවි කිරීම නබිතුමාණන් තහනම් කරන ලදී.

            නබිතුමාගේ සමකාලීන අනුගාමික පිරිස් (සහාභාවරුන්) පාරිභෝගික භාණ්ඩ කිසියම් ස්ථානයකින් මිලදී ගෙන එම ස්ථානයේම අලෙවි කරන පුරුද්දක් සහිත පිරිසක්ව සිටියේය. නමුත් නබිතුමාණන් විසින් එම ක්‍රමය තහනම් කරන ලදී.  (මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී)  අනාගත අපේක්ෂිත ඉලක්ක එසේත් නැත්නම් පූර්ව නිගමනයන් මත හිඳ වෙළදාම් කිරීම නබිතුමාණන් තහනම් කරන ලදී.

            නබිතුමාණන් නොඋපන් ජීවියෙකු අලෙවි කිරීම තහනම් කරන ලදී. ජාහිලියා සමාජය එවැනි ව්‍යාපාරයක නියලමින් සිටියේය. එනම්, ‘මෙම ඔටු දෙන බිහිකරන පැටියාගේ පැටියා මම විකුණමි/ මම මිලදී ගනිමි’ යනුවෙන් පැවතී ව්‍යාපාරය ඉස්ලාම් තහනම් කරන ලදී. (මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී)

  නබිතුමාණන්ගේ කාලයේ ජනයා ගසේ ඇති පළතුරු (අස්වැන්න නෙලීමට නියමිත කාලයට පෙර) විකිණීම පුරුද්දක් කරගෙන සිටියේය. නමුත් පළතුරු නෙලා මිල දී ගත් තැනැත්තාට එය භාරදෙන මොහොත වූ විට ‘මෙය විනාශ වී ඇත, මෙයට රෝග බෝවී ඇත, මෙය අමු තත්වයේ ඇත, තවත් අඩුපාඩු බොහොමයක් ඇත.’ යනුවෙන් වාද කරනු ඇත. මෙය දැනගත් නබිතුමාණන් ‘ගසේ ඇති පලදාව නිශ්චය කරන තෙක් එය නොවිකුණන්න’ යනුවෙන් නියෝගයක් පනවන ලදී.

(මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී)  ගසක ඇති පලදාව නිශ්චය කරන තුරු විකිණීම නබිතුමාණන් තහනම් කරන ලදී. මෙම තහනම විකුණන්නාට මෙන්ම මිලදී ගන්නාට ද අයත් වේ.  (මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී)

අබූ අර්ෂද් – යහමග

Related Post