ලොවපුරා මුස්ලීම් බැතිමතුන් උත්තරීතරව සලකන උතුම් වූ මාසයක් උදා වී ඇත. මුස්ලීම්වරුන් උපවාසයේ නිරත වන මේ උතුම් වූ මාසය පිලිබදව ශුද්ධ වූ කුර්ආනයේ ඉගෙන්වීමන් කිහිපයක් යහමග පාඨක ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන ඒමට මෙහි අදහස් කරමි. ඒ මේ ‘රමලාන්’ හෙවත් උපවාස මාසය හා ශුද්ධ වූ කුර්ආනය අතර ඇති බැදීම ඒ තරමට ඉතා සමීප එකක් වන බැවිනි. එය ශුද්ධ වූ කුර්ආනයේ 2-185 වාක්‍යය මඟින් ද අල්ලාහ් (දෙවි) පවා මෙසේ අවදාරනය කරයි. එනම්,
මෙම කුර්ආනය රමලාන් මාසයේ පහල කරන ලදී. එය මිනිසුන් හට මාර්ගෝපදේශයකි, සෘජු මාර්ගය පැහැදිලි කරන්නකි, සත්‍ය අසත්‍ය වෙන්කොට පැහැදිලි කරන්නකි.
ඉහත වාක්‍යයට අනුව ශුද්ධ වූ කුර්ආනය පහල කලේ උතුම් වූ ‘රමලාන්’ මාසයේ යන්න පැහැදිලිය. නමුත් අවාසනාවකට සමාජයේ බහුතරයකට මේ දිව්‍යමය මඟපෙන්වීම හා එහි ඉගෙන්වීමන් පිලිබදව ඇත්තේ අවම දැනුමකි. මේ හේතුව නිසාම මේ උපවාස සමයේ ‘උපවාසය’ පිලිබදව ශුද්ධ වූ කුර්ආනයේ කුමක් පැවසෙනවාද? යන්න සමාජයට කිසියම් අවබෝධයක් ලබාදීම පිණිස මෙම ලිපිය ඉදිරිපත් කිරීමට අදහස් කලෙමි. මෙහිදී මීට ඉහත ‘යහමග’ අඩවිය තුල සාකච්චා කලාසේ රමලාන් මාසයේ මහිමය, එහි වැදගත්කම්, නීතිරීති මෙන්ම අවවාද අනුශාසනා… යනාදී ලෙස තවත් දීර්ඝ ලිපියක් ඉදිරිපත් කිරීමට අදහස් නොකරන අතර ශුද්ධ වූ කුර්ආනය පහල වූ මාසයේ මේ ශුද්ධ වූ කුර්ආනය තුල එම මාසය පිලිබදව කුමක් පැවසෙනවාද? යන්න පමණක් මෙහි පහතින් උපුටා දැක්වීම සිදු කරමි.
- විශ්වාසවන්තයනි !, නුඹලාට පෙර පැවතී සමාජය කෙරෙහි පවරනු ලැබූවාක් මෙන් නුඹලා කෙරෙහි ද උපවාසය අනිවාර්‍ය කර ඇත. ඒ නුඹලා (අල්ලාහ් කෙරෙහි) බිය බැතිමත් වනු පිණිසය.
- (උපවාසය) නියමිත දින ගණනක්(ඉටුකළ යුතු)ය. නුඹලාගෙන් යමෙකු රෝගී වුවහොත් හෝ ගමනක යෙදී සිටියහොත් හෝ (ඔහු) එම දින ගණන වෙනත් දිනවල (උපවාසයේ නිරත විය යුතුය.) තවද, එය ඉටු කිරීමට හැකි කෙනෙකු (උපවාසයේ නිරත නොවූයේ නම්) එයට (දිය යුතු) වන්දිය නම්, (එක් උපවාස දිනයකට) එක් ඳිළින්දෙකුට ආහාර දන් දීමයි. යමෙකු සිය කැමැත්තෙන්ම මීට අමතර යහපත් යමක් කරන්නේනම් එය ඔහුට යහපතක්ම වේ. එහෙත් නුඹලා දන්නේ නම් (වන්දි දීමට වඩා) උපවාසයේ නිරත වීමයි නුඹලාට වඩාත් යහපත් වන්නේ.
ශුද්ධ වූ කුර්ආනය 2-184
- රමළාන් මාසය (කවරාකාර මාසයක් වන්නේද යත්) මනුෂ්‍ය වර්ගයාට (පරිසමාප්ත) මඟපෙන්වීම හා (නිවැරදි මාර්ගය දක්වන) පැහැදිලි ඉගැන්වීම්වලින් යුක්ත හා (සත්‍යය හා අසත්‍යය තෝරාගැනීමේ) මිණුම් දණ්ඩ ද, සැපයෙන අල්-කුර්ආනය පිරිනමන ලද මාසය වේ. එබැවින් මෙම මාසය තුළ ජීවතුන් අතර සිටින කවරෙකු හෝ වේවා ඔහු එහි (එම මාසයේ) උපවාසය ඉටුකළ යුතුය. එහෙත් යමෙකු අසනීපයෙන් පසුවේ නම් හෝ ගමනක යෙදී සිටින්නේ නම් හෝ ඔහු එම දින ගණනට සමාන දින ගණනක් වෙනත් දිනවල (උපවාසය ඉටු) කළ යුතුය. අල්ලාහ් නුඹලාට සහනයක් සැලැස්වීමට කැමැතිය. නුඹලාට දුෂ්කරතාවක් ගෙන දීමට කැමති නොවේ. (එබැවින් නුඹලාට, මෙම ක්‍රමය දක්වනු ලබන්නේ උපවාස) දින ගණන නුඹලා සම්පුර්ණ කොට (අල්ලාහ් විසින්) නුඹලාට යහමඟ පෙන්වාදීම වෙනුවෙන් නුඹලා අල්ලාහ් සුවිශුද්ධ කිරීම හා ඔහුට කෘතඥ වීම පිණිසය.
ශුද්ධ වූ කුර්ආනය 2-185
- උපවාස (දිනයන්හි) රාත්‍රියේ දී නුඹලාගේ භාර්යාවන් සමඟ සංසර්ගයේ යෙදීම අනුමත කර ඇත. ඔවුන් නුඹලාගේ සළුපිළි(වැනි)ය. නුඹලා ද ඔවුන්ගේ සළුපිළි(වැනි)ය. නුඹලා නුඹලාටම වංචනීක වූ බව අල්ලාහ් දැන සිටියේය. එබැවින් ඔහු නුඹලාගේ පශ්චත්තාපය පිළිගත්තේය. තවද, ඔහු නුඹලාට සමාව ද දුන්නේය. එනිසා දැන් නුඹලා ඔවුන් (භාර්යාවන්) සමඟ රාත්‍රි කාලයේ සංවාසයෙහි යෙදෙනු(හැකිය). තවද, අල්ලාහ් අනුමත කළ දැයින් ආස්වාදය ලබාගනු. තවද, අළුයම(කාලයෙ)හි කළු නූලෙන් සුදු නූල නුඹලාට පැහැදිලිව පෙනෙනතෙක් (එනම් පාන්දර වන තෙක් ආහාර) අනුභව කරනු, පානය කරනු.අනතුරුව (මෙම සියලූ දෙයින්ම වැළකි) රාත්‍රිය එළඹෙනතුරු උපවාසය සම්පුර්ණ කරනු. එහෙත් නුඹලා මස්ජිද් (දේවස්ථාන)වල ඉඃතිකාෆ්හි (අල්ලාහ් මෙනෙහි කරමින්) රැඳී සිටින සමයේ (නුඹලාගේ භාර්යාවන් වන) ඔවුන් සමඟ සංවාසයෙහි නොයෙදෙනු. මේවා අල්ලාහ් නියම කර ඇති සීමාවන්ය. එබැවින් ඒ (සීමාවන්) කරා ළං නොවනු. මනුෂ්‍ය වර්ගයා (ඔවුන්ගේ වැරදි ගතිපැවතුම්වලින්) ආරක්ෂා වනු පිණිස අල්ලාහ් ඔවුන් වෙත සිය ආඥාවන් මෙලෙසින් පැහැදිලි කරයි.
ශුද්ධ වූ කුර්ආනය 2-187
- නුඹලා හජ් සහ උම්රාහ් (ඉටුකිරීමට අධිෂ්ඨාන කරගත් විට අල්ලාහ් ප්‍රසාදයට පත් කිරීමට මෙම කාර්යයන්) ඉටු කරනු. එහෙත් නුඹලා (යම් තැනක) බාධා කරනු ලැබුවෙහි නම් නුඹලාට දිය හැකි සතෙකු ඝාතනය කොට අල්ලාහ්ට කැප කිරීම පිරිනමනු. තවද, එම කැපකිරීම (පිණිස වූ සතා) ඊට නියමිත තැනට එළඹෙන තුරු නුඹලා නුඹලාගේ හිස මුඩු නොකරනු. එහෙත් නුඹලා අතුරින් කවරෙකු හෝ රෝගීව සිටි නම් හෝ ඔහුගේ හිසෙහි යම් ආබාධයකින් පෙළෙන්නේ නම් හෝ ඔහු උපවාසයේ නිරත වීමෙන් හෝ දන්දීමෙන් හෝ සතෙකු කැප කිරීමෙන් හෝ ඒ වෙනුවෙන් වන්දි ගෙවිය යුතුයි.එහෙත් නුඹලා සුරක්ෂිතව සිටින කාලය තුළදී (හජ් කාලය ආරම්භ වීමට මත්තෙන්) මක්කාවට පැමිණ හජ් ඉටු කිරීමට පෙර උම්රාහ් ඉටු කරමින් (මෙම අවස්ථාවෙන්) ප්‍රයෝජනය ගන්නා කවරකු වුවද තමාට හැකි කැපකිරීම් එකක් පිදිය යුතුය. එහෙත් එය පිරිනැමීමට ඔහුට වත්කමක් නොමැත්තේ නම් ඔහු හජ් සමය තුළ දින තුනක්ද නුඹලා ආපසු නිවෙස වෙත පැමිණි විට දින හතක්ද එනම් එකතුව දස දිනක් උපවාසයේ නිරත විය යුතුය. මෙම සහනය අදාළ වන්නේ තම පවුලේ අය මස්ජිදුල් හරාම් අසල පදිංච් නොවූ විටය. අල්ලාහ්ගේ මෙම පනත් උල්ලංඝණය කිරිමෙන් වළකිනු. දඬුවම් දීමේදී අල්ලාහ් ඉතා දරුණු බව මැනවින් දැනගනු.
ශුද්ධ වූ කුර්ආනය 2-196
- වැරදීමකින් මිස (විශ්වාසවන්තයෙකු) ඝාතනය කිරීමට තවත් විශ්වාසවන්තයෙකුට තහනම්ය. යමෙකු වැරදීමකින් විශ්වාසවන්තයෙකු ඝාතනය කරන ලද්දේ නම් ඊට (වන්දියක් වශයෙන් ඔහු) විශ්වාසවන්ත වහලෙකු නිදහස් කළ යුතුය. තවද (ඝාතනය කරනු ලැබු තැනැත්තාගේ) උරුමක්කාරයින්ට වන්දි ගෙවිය යුතුය. (එම උරුමක්කාරයින්) දානශීලී චේතනාවෙන් (එම මුදල් භාර නොගතහොත්) හැර (එවිට එය නොගෙවා සිටිය හැකිය) එහෙත් (මරණ ලද) විශ්වාසවන්තයා වූ ඔහු, නුඹලාට සතුරු වු ජනතාවටකට අයත් වූයේ නම් (වන්දිය වනුයේ) එක් (විශ්වාසවන්ත) වහලෙකු නිදහස් කිරීමය. (ඝාතනය කරනු ලැබු) ඔහු, නුඹලාත් ඔවුන් අතරත් ගිවිසුමක් කරගත් ජනතාවකට අයත් වූයේ නම්, එවිට වන්දිය ඔහුගේ උරුමක්කාරයින්ට ගෙවිය යුතුය. තවද, විශ්වාසවන්ත වහලෙකු මුදාහළ යුතුයි. (වහලෙකු මුදාහැරීමට) නොහැකි නම්, අල්ලාහ්ගෙන් තව්බා (පශ්චාත්තාපය) ප්‍රකාශ කිරීම පිණිස ඔහු එක දිගට මාස දෙකක්උපවාසය පිහිටුවිය යුතුය. අල්ලාහ් සර්වඥය, සර්වප්‍රාඥය.
ශුද්ධ වූ කුර්ආනය 4-92
- නොසැළකිල්ලෙන් (අවබෝධයෙන් තොරව) දිවුරන නුඹලාගේ දිවුරිම් සම්බන්ධයෙන් අල්ලාහ් නුඹලාව වරදට පත් නොකරයි. නමුත් නුඹලා ඕනෑකමින් (අවබෝධයෙන් යුතුව) කරන දිවුරිම් සම්බන්ධයෙන් ඔහු නුඹලාව වරදට හසු කරයි. එයට (දිවුරිම් කඩ කිරීමේ වරදට දෙන) පිළියම නම්, නුඹලාගේම පවුලේ අයට සපයනු ලබන තත්ත්වයේ සාමාන්‍ය ආහාර පානවලින් දිළින්දන් දස දෙනකුට සංග්‍රහ කිරීමයි. නැතිනම් ඔවුන්ට අඳුම් දන් දීමයි. එසේ නැත්නම් එක දාසයකු (වහළකු) නිදහස් කිරීමයි. කවරකු හෝ (මෙයින් එකක්වත් කිරීමට) අපොහොසත් වේ නම් ඔහු දින තුනක් උපවාසය නිරත විය යුතුය. නුඹලා දිවුරා ඇති නුඹලාගේ දිවුරීම් කඩ (කළා නම්) ඊට පිළියම (විපාකය) මෙයයි. (එබැවින්) නුඹලාගේ දිවුරීම ආරකෂා කරගනු. නුඹලා ගුණ ගරුක වීම පිණිස අල්ලාහ් මෙසේ තම අණපනත් නුඹලාට පැහැදිලිව දක්වයි.
ශුද්ධ වූ කුර්ආනය 5-89
- විශ්වාසවන්තයිනි ! නුඹලා ඉහ්රාම් (හජ් වන්දනය සදහා අදිනු ලබන වස්ත්‍රය ඇදි)තත්ත්වයෙන් සිටිනා විට දඩයම් සතුන් නොමැරිය යුතුයි. තවද නුඹලා අතුරින් කෙනකු සිතාමතාම (ඉහ්රාම් තත්ත්වයෙන්) එය (දඩයම් සතුන්) මැරුවා නම්, ඊට සමාන අගයකින් යුත් එළු, ගව, ඔටු යනාදියෙන්, නුඹලා අතුරින් සාධාරණ (අපක්ෂපාත) මිනිසුන් දෙදෙනකු තීරණය කරන වන්දිය ලෙස කැප කරන සතකු ඔහු පරිභාරයක් වශයෙන් කඃබාහ්ව වෙත යැවිය යුතුයි. නැතහොත් (එසේ කිරීමට අපොහොසත් වුවහොත්) ඔහු වන්දිය වශයෙන් දිළින්ඳන්ට ආහාර සැපයිය යුතුයි. නැතහොත් ඊට සිරිලන සේ උපවිසය රැකිය යුතුයි. තමා කළ ක්‍රියාවට විපාකය විඳීම සඳහා (මෙසේ පැනවේ)මීට පෙර කළ දෑට අල්ලාහ් සමා කළේය. නමුත් යමකු එය නැවත කළේ නම් අල්ලාහ් ඔවුන්ගෙන් පළිගනු ඇත. අල්ලාහ් සර්වබල සම්පන්නය, දඬුවම් කරන්නාද වේ.
ශුද්ධ වූ කුර්ආනය 5-95
- එවිට ඒවා(යින්) කනු. බොනු. තවද දෑස සිසිල් කරගනු. මිනිසුන්ගෙන් කිසිවකු නුඹ දුටුවානම්. අර්-රහ්මාන්(අපරිමිත දයාන්විත වූ අල්ලාහ්) වෙනුවෙන් (නිහඬ) උපවාසයෙහි යෙදීමට (මම) භාර වුනිමි. එනිසා මම අද කිසිම මනුෂ්‍යයකු සමග කථා නෙකරමියි කියනුයිද (එම හඬ ඇයට උපදෙස් දුන්නේය.)
ශුද්ධ වූ කුර්ආනය 19-26
- නියත වශයෙන්ම මුස්ලීම්වරුන් වන පිරිමීන් ද ස්ත්‍රීන් ද, විශ්වාසවන්ත පිරිමීන් ද ස්ත්‍රීන් ද, දෙවියන්ට අවනත වන පිරිමීන් ද ස්ත්‍රීන් ද සත්‍යයම පවසන පිරිමීන් ද ස්ත්‍රීන් ද, ඉවසීමෙන් යුතු පිරිමීන් ද ස්ත්‍රීන් ද, අල්ලාහ් (දෙවි)ට බියව කටයුතු කරන පිරිමීන් ද ස්ත්‍රීන් ද, දානමාන කරන පිරිමීන් ද ස්ත්‍රීන් ද, උපවාසයේ නිරතවන පිරිමීන් ද ස්ත්‍රීන් ද, තමන්ගේ පතිවත ආරක්ෂා කර ගන්නා පිරිමීන් ද ස්ත්‍රීන් ද, අල්ලාහ් (දෙවි)ව අධික වශයෙන් සුවිශුද්ධ කරන පිරිමීන් ද ස්ත්‍රීන් ද, ආදී මොවුන්ට අල්ලාහ් (දෙවි) සමාව ද ඉමහත් වූ පලවිපාක ද සැලසුම් කොට තබා ඇත්තේය.
ශුද්ධ වූ කුර්ආනය 33-35
- (නිදහස් කළ වහළෙකුව) කවුරුන් හෝ ලබා නොගතහොත් ඒ දෙදෙනාම කෙනෙකුට කෙනෙකු ස්පර්ශ කිරීමට පෙරම (ඔහු) මාස දෙකක් එක දිගට උපවාසයේ යෙදිය යුතුය. (මෙසේ උපවාසයේ යෙදීමට) ශක්තියක් නොමැති අය දුප්පතුන් හැට (60) දෙනෙකුට (මධ්‍යස්ථ තත්වයේ) ආහාර ලබාදිය යුතුය. ‘අල්ලාහ්ටද ඔහුගේ දූතයාටද ඔබ (ඇත්තෙන්ම) විශ්වාසය තබා ඇත්තේය’ යන්න සදහා (මෙම නියෝගය මෙසේ පහසු කර තැබුවේය) මේවා අල්ලාහ්ගේ සීමාවන් වන්නේය. (මේවා කඩ කිරීම මඟින්) ප්‍රතික්ෂේප කරන්නන්ට වේදනා ගෙනදෙන දඬුවම් ඇත.
ශුද්ධ වූ කුර්ආනය 58-4
(ශුද්ධ වූ කුර්ආනයේ ඉහත ආකාරයට ස්ථාන 11 ක උපවාසය පිලිබදව සදහන් වේ)
ස්තූතියි – අර්ෂද්