රෝග ප‍්‍රතිකාර හා මිත්‍යා විශ්වාස The incorrect way to treat

මෙලොව ජීවත්වන මානවයා ඇතුළු සියළු ජීවින් ලෙඩ රෝගවලට ගොදුරු වීම නිරන්තරයෙන් අප අසන්නෙමු, දකින්නෙමු. ඉන් බහුතරයක් ලෙඩ රෝග හේතුවෙන්ම දුක්විද මිය යන ආකාරයද අප දකින්නෙමු. මෙවන් රෝග කිසිවකුගේ අවසරයක් ඇතිව ඇති වන්නේ නැත. එසේම කිසිවකු ප්‍රතික්ෂේප කල පමණින් රෝගය නැති ද නොවේ. මෙලෙස මිනිස් ශක්තිය ඉක්ම වු ලෙඩ රෝග සුවකර ගැනීම පිණිස විවිධ පිරිස් විවිධ ක‍්‍රමයන් අනුගමනය කරන ආකාරය ද අප අවට සමාජයේ දකින්නෙමු. පිරිසක් වෛද්‍ය ප‍්‍රතිකාර වෙත යොමුවන කල තවත් පිරිසත් තොවිල්, මන්ත‍්‍රගුරුකම්, යාච්ඤා, යන්ත‍්‍ර… යනාදී මිත්‍යා ක‍්‍රියාවන් තුලින් රෝග සුවය පතයි. අදටත් සමහරක් රෝග සදහා වෛද්‍ය ප‍්‍රතිකාර නොගත යුතු බවට දැඩි විශ්වාසයන් සමාජයේ බුද්ධිමත් පිරිස අතර පවා පවතී. එසේම මෙම ලෙඩ රෝග සම්බන්ධයෙන් විවිධ පිරිස් විවිධ ආකාරයට ප‍්‍රතිචාර දක්වයි. එකම රෝගයක් සදහා වුවද බෞද්ධයකු එක් ආකාරයටත්, ක‍්‍රිස්තු භක්තිකයකු තවත් ආකාරයකටත්, ඉස්ලාම් භක්තිකයන් තවත් ආකාරයකටත් ප‍්‍රතිචාර දක්වනවා අප දකින්නෙමු. එනම් කෙනෙකු තොවිල් කරන විට තවත් කෙනෙකු යාච්ඤා කරයි. කෙනෙකු පූජා පවත්වන විට තවත් කෙනෙකු යන්ත‍්‍රයන් ශරීරයේ එල්ලාගනී. මේ ආකාරයට එකම රෝගය සදහා එකින් එකට පරස්පර ප‍්‍රතිචාර දැක්වීම තුලම මේවා මිත්‍යාවන් යන්න බුද්ධීය ඇති ඕනෑම කෙනෙකු හට අවබෝධ කරගැනීම අපහසු නොවේ. එසේම මෙම සියළු ආකාරයේ මිත්‍යාවන් ක‍්‍රියාවට නඟන්නේ තමා පිලිපදින දහම මූලික කරගෙන වීම ද වැදගත් කරුණකි. නමුත් ඒ ඒ ආගම්වල ඉගෙන්වීමන් ගැඹුරින් අධ්‍යනය කරන විට මෙවන් ප‍්‍රතිකාර ක‍්‍රමයන් එම ආගමික ඉගෙන්වීමන්වල දක්නට නොලැබේ. එසේ දක්නට නොලැබෙනවා පමණක් නොවේ එවැනි ක‍්‍රියාවන් තරයේ ප්‍රතික්ෂේප කරන ආකාරයේ ඉගෙන්වීමන්ද බොහෝ ආගමික මූලාශ‍්‍රයන්වල දක්නට ලැබේ. මෙවන් වු පරිසරයක් තුල රෝගයක් සම්බන්ධයෙන් මනුෂ්‍යයන් වශයෙන් අප ක‍්‍රියා කල යුත්තේ කෙසේද?. මේ කෙරෙහි යම් සංවාදයක් ගොඩනැගීමට සුදුසුම කාලයක් ලෙස වර්ථමානය සදහන් කල හැක. එම කාරණය කෙරෙහි අවදානය යොමු කරන මුස්ලිම්වරයෙකු වශයෙන් මෙම මාතෘකාවට ඌනපූර්ණයක් ලෙස මෙම කාරණය සම්බන්ධයෙන් ඉස්ලාම් කුමක් පවසනවාද? යන්න කෙරෙහි අවදානය යොමු කලේ නම්,

 

ඉස්ලාම් රෝගයක දී ප‍්‍රථිකාර කිරීම දැඩිව අවධාරණය කරයි. ඉස්ලාම් එය අවධාරණය කරනවා පමණක් නොවේ. සමහරක් රෝග සදහා ඖෂධ වර්ග ද හදුන්වා දේ උදාහරණයක් ලෙස මීපැණි, කළුදුරු, රටඉදි… යනාදිය සදහන් කල හැක. මීට අමතරව මුහම්මද් (සල්) තුමා සමාජයට මෙම වෛද්‍ය ප‍්‍රතිකාර අවධාරණය කල අවස්ථාවන්ද (හදීසයේ) දක්නට ලැබේ. එනම්.

“එක්තරා අවස්ථාවක ගම්වාසීන් පිරිසක් පැමිණ මුහම්මද් (සල්) තුමාගෙන් ‘අප (රෝගයන් සදහා) ප‍්‍රතිකාර කරන්නද?’ යනුවෙන් විමසා සිටින ලදී. එයට මුහම්මද් (සල්) තුමාණන් ‘ප‍්‍රතිකාර කරන්න මරණය නැමැති රෝගය හැර අනිකුත් සෑම රෝගයක් සදහා දෙවියන් ඖෂධ මවා ඇත.’ ”

දන්වන්නේ :- උස්මා ඉබුනු ශරීක් (රලි)
ග‍්‍රන්ථය :- අබුදාවූද්, තිර්මිදි, ඉබුනුමාජා

“තවත් අවසථාවක මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසන ලදී. එනම් ‘අල්ලාහ් (දෙවියන්) කිසිදු රෝගයක් සදහා ඖෂධ මවා නැතුවා නොවේ.’ “

දන්වන්නේ :- අබූහුරෙයිරා (රලි)
ග‍්‍රන්ථය :- බුහාරි, ඉබුනුමාජා. බයිහකී

“එක් එක් රෝග සදහා ඖෂධ ඇත.”

දන්වන්නේ :- ජාබිර් (රලි)
ග‍්‍රන්ථය :- මුස්ලීම්, බයිහකී

ඉහත මුහම්මද් (සල්) තුමාණන්ගේ වදන්වලින් පැහැදිලි වන්නේ කුමක්ද? රෝගයක් සදහා ඖෂධ ප‍්‍රතිකාර ගැනීම අත්‍ය අවශ්‍ය යන්න නොවේද? මුහම්මද් (සල්) තුමාණන් කිසිදු ආකාරයක මිත්‍යාවන් කෙරෙහි ජනතාව මෙහෙය වුයේ නැත. එසේ නොකලා පමණක් නොවේ. එවැනි මිත්‍යාවන් පසුපස යෑම මහා පාපයක් බවද අවධාරණය කරන ලදී. ඒ අනුව ඉස්ලාම්, මුස්ලිම් සමාජය මිත්‍යාවන්ගෙන් මුදවාගැනීමට අවශ්‍ය සියළු වැට කඩුළු ශක්තිමත්ව යොදා ඇති බව සදහන් කල හැක. උදාහරණයකට මුස්ලිම්වරයෙකු රෝගයක් සුව පිණිස තම ශරීරයේ කිසියම් වස්තුවක් බැද හෝ එල්ලා තබන්නේද (යන්ත‍්‍රයකට සමානව) ඔහුගේ කිසිදු සත්ක‍්‍රියාවක් දෙවියන් භාර නොගන්නා බවත් එය ඉස්ලාමයෙන් බැහැර කරවන්නට තරම් මහා පාපයක් බවත් පවසයි. එසේම කිසිදු මුස්ලිම්වරයෙකු “ශාස්ත‍්‍ර” (අනාවැකි) විශ්වාස කිරීම නොව ඇසීමේ හේතුවෙන් ඔහු දින 40ක් මුළුල්ලේ කල පිං ඔහුට අහිමි වන බවත් ඉස්ලාම්, මුස්ලිම් සමාජයට අවධාරණය කරමින් සමාජ මිත්‍යාවලින් මුස්ලිම් සමාජය දුරස් කොට තබා ඇත.

මෙම ඉස්ලාමීය ඉගෙන්වීම පිලිබදව අවබෝධයක් නොමැති සුළු පිරිසක් විවිධ මිත්‍යාවන් පසුපස ඇදීයාම ද දක්නට නැතුවා නොවේ. නමුත් අනිකුත් සමාජයට සාපේක්ෂව එය පවතින්නේ අවම මට්ටමකය. මුස්ලිම් සමාජයට සාපේක්ෂ අනිකුත් සමාජයේ බහුතරයක් ලෙඩ සුව පිණිස පාරම්පරික ක‍්‍රම හා හාස්කම් නැමැති මායාවට හසුවී මිත්‍යාවන් පසුපස ඇදී යයි. මෙම කාරණය සම්බන්ධයෙන් ලාංකීය අපට බොහෝ අත්දැකීම් ඇත. විශේෂයෙන් පසුගිය දිනක විහාර මහාදේවි උද්‍යානයේ සිදුවු යාච්ඤා මෙහෙය සමීපතම උදාහරණයක් ලෙස ගෙනහැර දැක්විය හැක. මෙයට අමතරව පසුගිය කාලයේ දොඑකන්දට ඇදී ගිය ජන ගංඟාවත් උදාහරණ ලෙස දැක්විය හැක. එසේම දිනපතා මාධ්‍යන් තුලින් මෙම රෝග සුවකිරීමේ මධ්‍යස්ථානවලට ලබාදෙන ප‍්‍රචාරයත් ඒ වෙත ඇදෙන ජන ගංගාවත් කියාපාන්නේ ජනතාව මේවා තුල මුලාවී සිටිනවා යන්න නොවේද? මෙවන් මිත්‍යවන් තුලින් රෝග සුව කිරීම යන්න ක‍්‍රිස්තු දහමේ එක්තරා පිරිසකට පමණක් සීමා වු කාරණයක් නොවේ. ඔවුනට සාපේක්‍ෂව බෞද්ධයන් අතර ද මෙම මිත්‍යාවන් තොවිල්, වශීගුරුකම්, පේ‍්‍රතයන්ගේ පිහිට පැතීම, දේවවාරම්… යනාදී විවිධ නම්වලින් මහා පරිමාණයෙන් ක‍්‍රියාත්මක වේ. බොහෝවිට මේවාට භික්‍ෂූන් වහන්සේලා ද සෘජුවම සම්බන්ධ වි සිටිනවා යන්න ලාංකීය සමාජයේ ප‍්‍රසිද්ධ රහසකි. මෙම කාරණය සම්බන්ධයෙන් ද රටතුල සංවාදයන් ගොඩ නැගිය යුතුය.
අද අප සමාජය රෝගියකු සම්බන්ධයෙන් බහුතරයක් ක‍්‍රියා කරන්නේ කුමන ආකාරයටද?

  • බිලි පූජාකරමින් රෝගියා මියදෙන තුරු තොවිල් නැටීම

  • ලක්‍ෂ ගනනින් හෝ දහස් ගනනින් වැයකරමින් පූජාවල් පැවැත්වීම

  • දේව යාච්ඤා කරමින් ප‍්‍රතිකාර නොකොට බලාසිටීම

  • යන්ත‍්‍ර මන්ත‍්‍ර ඉටුකොට ප‍්‍රතිකාර නොකොට බලාසිටීම

  • භාරහාර සිදුකොට ප‍්‍රතිකාර නොකොට බලාසිටීම

මේ ආකාරයට සමාජ මිත්‍යාවන් පෙලගැසිය හැක. මෙම මිත්‍යාවන් තුල කොටුවී මියගිය රෝගීන් ප‍්‍රමාණය පිලිබදව කථා කිරීමටත් එම සිද්ධීන් පෙලගැසිමටත් හැක. ඒවා තුලින් විවිධ ආගම් හා ඇදහිලි වෙත ඇඟිලි දිගුකිරීමටත් ඔවුනට විරුද්ධව සංවේදී “අන්‍ය ආගමීකරණය”, “මූලධර්මවාදීන්” වැනි සටන්පාට පවසා ජනතාව ආවේශ කර එය තුලින් දේශපාලන හෝ ආගමික වාසීන් ලබාගැනිමටත් තමන්ගේ බංකලෝතුභාවයන් ජනතාවගෙන් වසන්කර තබා ගැනීමටත් හැකිවනු ඇත. මේවා සියල්ල ජනතා යහපත සදහා ක‍්‍රියාත්මක නොවන කාරණයන් බව ජනතාව අවබෝධ කරගැනීමට අසමත් වුයේ ඇයිද? යන්න ප‍්‍රබල ගැටළුවක් අපට ඇත. මෙවැනි මිත්‍යාවන් බෞද්ධයන් නොවන සමාජය සිදුකලා නම් එය අකැප වන්නටත් බෞද්ධ සමාජය කලානම් කැප වන්නටත් පුළුවන්ද? මේවායෙහි වලංගු අවලංගුභාවය තීරණය කරන්නේ එම ස්ථානවල සිදුවන මරණ සංඛ්‍යාව පදනම් කරගෙනද? එම ස්ථානවල අයකරන මුදල් ප‍්‍රමාණය පදනම් කරගෙනද? මෙවැනි මිනුම් කොතරම් දුරට සාධාරණද?

එසේම අනිකුත් රෝග සුව කිරීමේ මධ්‍යස්ථානවල ඉහත ආකාරයේ සිදුවීම් සිදුනොවන බවට කිසිවකුටත් සහතික විය හැකිද? මෙවන් මිත්‍යාවන් කෙරෙහි විශ්වාසය තබා වෛද්‍ය ප‍්‍රතිකාරවලට යොමු නොවී මියගිය කිසිවකු ලාංකීය ඉතිහාසය තුල වාර්ථා නොවු බවට කිසිවකුටත් සහතික විය හැකිද? සිදුවන්නේ මේවාට මාධ්‍ය හරහා ප‍්‍රචාරය නොදීමත් මෙවැනි සිද්ධීන් ප‍්‍රසිද්ධියට පත්නොවීමත් පමණි. දිනපතා විශාල පිරිසක් මෙවැනි මිත්‍යාවන්ට ගොදුරුවී මියයන බව පසුගිය දිනක පූවත්පත් මගින් අප දුටුවෙමු.

කරුණු එසේ තිබිය දී දේවා යාච්ඤාවකින් මියගිය පවුල් වෙනුවෙන් ඉදිරිපත් වු ස්වාමින් වහන්සේලාගේ අවදානය ඇයි සිව්ර දරා සිටින මෙවැනිම කාර්‍යයන් හි නිරතවන ස්වාමීණ් වහන්සේලා කෙරෙහි යොමු නොවන්නේ. සතිඅන්ත පුවත්පතක් බැලූවේනම් එහි වශී ගුරුකම් කරණ ස්වාමිණ් වහන්සේලා කීදෙනෙක්ද? යන්ත‍්‍රමන්ත‍්‍ර මගින් රෝග සුවකරන ස්වාමීන් වහන්සේලා කීදෙනෙක්ද? ඉහත සටන්පාට පවසන පිරිසගෙන් මා අසන්නේ මෙවන් ව්‍යාපාර ලාංකීය සමායේ ප‍්‍රසිද්ධියේම පවතින බව ඔබවහන්සේලා නොදන්නෙහිද?. මෙවන් පිරිසට එරෙහිව ජනතාව පෙල නොගසන්නේ මෙය බුදුදහමට අනුකූල නිසාද? එසේත් නැත්නම් දේව යාච්ඤා මගින් බෞද්ධයන් ක‍්‍රිස්තු දහමට හැරවුවත් ස්වාමිණ් වහන්සේලාගේ ප‍්‍රතිකාර තුලින් අන්‍ය ආගමිකයන් බුදුදහමට හරවා ගැනීමට සමත් වු නිසාද? දේව යාච්ඤාවන් මගින් මියගිය හා විපතටපත් පවුල් පිලිබදව හා එහි අදීනය පෙලගසන්නට හැකි වු බෞද්ධ විද්වතුන් හට තොවිල් හා අනිකුත් මිත්‍යාවන්තුලින් ජනතාව රවටා මුදල් උපයන බෞද්ධ ස්වාමීන් වහන්සේලාගේ වෛද්‍ය සායනයන් නිසා විපතට හෝ මරණයට පත්වු පිරිස පිලිබදව සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමට මනස විවෘත නොවුයේ මන්ද? බෞද්ධයණී!, හදවතට එකඟව පවසන්න එදා විහාර මහාදේවි උද්‍යානයේ දී සිදුවු දේව යාච්ඤාවට වඩා තොවිල් තුල සිදුකරන ක‍්‍රියාකාරකම් අමානුෂික නොවේද? එසේනම් ඇයි ඒවාට විරුද්ධව විවේචනයන් හා සටන්පාටයන් නැත්තේ.

ජනතාව මුලාකිරීම සම්බන්ධ රාජ්‍ය පනත් මාධ්‍ය ඉදිරියේ පවසන්නටත් ඒවා ක‍්‍රියාත්මක කරවන්නටත් ඒවා තුලින් මෙවැනි යාච්ඤා මධ්‍යස්ථාන වසා දැමීමටත් අවශ්‍ය බව රජයට බලකර සිටි ස්වාමීන් වහන්සේලාට මහා පරිමාණයෙන් ජනතාවගේ මුදල් මංකොල්ල කන තොවිල් හා අනිකුත් පූජාවන් කෙරෙහි අවධානය යොමු නොවුවාද? එසේත් නැත්නම් හිතාමතා එය පැහැර හැරියාද? රටේ ජනතාවගේ අවධානය මෙම කාරණය කෙරෙහි යොමු විය යුතුයි. අප විශ්වාසයන් හා ඇදහිලිවලින් විවිධ වුවත් ජාතියක් වශයෙන් අප ලාංකිකයන්ය. අප අතර සමඟියක් හා සහයෝගයක් ගොඩ නැගිය යුතුය. ඒ මිත්‍යාවන් පදනම් කරගෙන, ජාතිවාදය පදනම් කරගෙන හෝ තවත් පිරිසකට අසාධාරණයන් සිදුකරමින් නොව අන්තර් අවබෝධයන් ගොඩ නැගීම තුලිනි. විවිධ ජන කොට්ඨාශ ජීවත්වන ලාංකීය අප අතර විවිධ මතවාදයන් තිබිය හැක. නමුත් එම තත්වය ඒ ඒ ජන කොට්ඨාශවලට අසාධාරණයන් සිදුකරන තැනට අපව යොමු නොවිය යුතුය.

මෙය මුස්ලිම්වරුන්ගේ ශූද්ධ වු ග‍්‍රන්ථයක් වන අල්කුර්ආනය මෙසේ අවධාරණය කරයි.

“නුඹලාට එක් ජන කොට්ඨාශයක් කෙරෙහි තිබෙන නොසතුට එම සමාජයට අසාධාරණයන් සිදුකිරීමට හේතු කාරණයක් කර නොගන්න.”

නමුත් සමාජයට ආදර්ශමත් වියයුතු ආගමික විද්වතුන් එදා ක‍්‍රියා කලේ කෙසේද? ජනතාව තවත් ජන කොට්ඨාශයකට එරෙහිව පෙළගස්වමින් ඔවුන් ආවේශයට පත්කරමින් ජාතිවාදයක් ඉස්මතු කිරීම පමණක් නොවේද?. එදා විහාර මහාදේවි උද්‍යානයේ විපතටපත් පවුල් වෙනුවෙන් ස්වාමිණ් වහන්සේලාගේ ප‍්‍රදානත්වයෙන් ඉදිරිපත් ඒ කලහකාරී පිරිස කලේ කුමක්ද? එම මරණය අවස්ථවක් කරගනිමින් තවත් ජන කොටසකට දෝෂාරෝපනය කිරීම හා අවලාද කිරීම පමණක් නොවේද? එයට ඔවුන් අතදරා සිටී සටන්පාටයන් හොද නිදසුනකි. සමාජය කෙරෙහි සැබෑ වු හැඟීමක් පවතින්නේ නම් මෙවැනි සියළු ව්‍යාපාරයන් නතර කිරීමට ක‍්‍රියා කොට මෙම පූජකවරුන් රටට ආදර්ශයක් දිය යුතුය. එහිදී වැදගත් වන්නේ මෙවැනි ක‍්‍රියාවල නිරත වන්නන්,

  • බෞද්ධයකුද?

  • ක‍්‍රිස්තු භක්තිකයෙකුද?

  • ඉස්ලාම් භක්තිකයකුද?

  • හින්දු භක්තිකයෙකුද?

නොඑසේ නම් වෙනත් ජන කොට්ඨාශයක්ද? යන්න නොවේ. මෙම මිත්‍යාවන් තුලින් ජනතාව මුලාකරන්නේ කව්ද? යන්නයි. මේ අනුව බහු ජාතීන් හා සමයන් පවතින රටක් වශයෙන් මෙවන් පරිසරයක් තුල ආගමික විද්වතුන්, පූජ්‍ය පක්‍ෂය හා අනිකුත් බුද්ධිමත් පිරිස ක‍්‍රියාකල යුත්තේ කෙසේද?. ඔවුන්ගේ වගකීම කුමක්ද? මෙය අවබෝධ කරගන්නේ නම් මෙම ප‍්‍රශ්නයට විසදුම් සෙවීමත් ජනතාව මිත්‍යාවන්ගෙන් මුදවාගැනීමත් සරල හා පහසු කාරණයක්වනු ඇත.

ප‍්‍රථමයෙන් කලයුතු කාරණය වන්නේ ජනතාවට සත්‍ය දහම අවබෝධ කරදීමයි. එය ආගමික මූලාශ‍්‍රයන් පදනම් කරගෙන සිදුකලයුතු කාර්‍යයක් මිස ආගම නමින් ස්වමත ප‍්‍රකාශ කිරීම තුලින් එය තවදුරටත් සිදු නොකල යුතුය. ඒ තමන් පිලිපදින දහම පිලිබදව පූර්ණ අවබෝධයක් ඔවුනට තිබිය යුතුය. උදාහරණයක් ලෙස මෙම මාතෘකාවට අදාලව සැලකුවේ නම්, රෝගයක් වැලදුනු විට කලයුත්තේ කුමක්ද?. මෙය පිලිබදව බයිබලයේ සදහන්වන්නේ කුමක්ද? යන්න ක‍්‍රිස්තු සමාජයට එම ආගමික විද්වතුන් හා පූජකවරුන් පැහැදිලි කලයුතුයි. මෙය පිලිබදව ත‍්‍රිපිටකයේ කුමක් සදහන් වනවාද? යන්න බෞද්ධ සමාජයට එම ආගමික විද්වතුන් හා පූජකවරුන් පැහැදිලි කලයුතුයි. ඒ ආකාරයටම මෙය පිලිබදව අල්කුර්ආනය් කුමක් සදහන් වනවාද? යන්න මුස්ලිම් සමාජයට එම ආගමික විද්වතුන් හා පූජකවරුන් පැහැදිලි කලයුතුය. මෙසේ කිරීම තුලින් මිත්‍යාවන් හා වංචනිකයන්ගේ ක‍්‍රියාකාරකම්වලින් ජනතාව මුදවාගැනීමට හැකිවනු ඇත. අනෙකුත් සමාජයට සාපේක්‍ෂව අද මුස්ලිම් සමාජය තරමක් දුරට හෝ මෙවන් මිත්‍යාවන්වලින් මිදී සිටින්නෙ ඉහත පැවසු කාරණය යම්තාක් දුරකට හෝ මුස්ලිම් සමාජය තුල සිදුවන නිසාම පමණි. නමුත් එය ප‍්‍රමාණවත් නොවන බව අප දනිමු. මෙම කාරණය සම්බන්ධයෙන් පමණක් නොව මෙවැනි සෑම කාරණයක් සම්බන්ධයෙන්ම සමාජ දැනුම යාවත්කාලීන විය යුතු යන්න අපගේ විශ්වාසයයි. ඒ සදහා පටු සිමාවන්වලින් මිදී සමාජ යහපත් සිතන සර්ව ආගමික විද්වතුන්ට හා පූජකවරුන්ට ආරාධනා කරමින් මෙම ලිපිය අවසන් කරමි.

අබූ අර්ශද් – යහමග ෙවබි අඩවිය

Related Post