මිනිස් දිවිය තුල අනිවාර්යයෙන්ම රුකිය යුතු අත්‍යඅවශ්‍ය ගුණාංගයක් වේ නම් ඒ “ඉවසීමයි”. ජීවිත කාලය පුරාවට විවිධ අවස්ථාවන් හි මිනිසා විවිධ බාධක දුෂ්කරතාවයන් සදහා නොසිතූ නොපැතූ මොහොතයන් හි මුහුණපෑමට සිදුවේ. ඒවායින් සමහරක් ඔහු පහසුවෙන් ජයගන්නා නමුත් බොහෝ අවස්ථාවල ඔහුට එලෙස ජය ගැනීමට නොහැකිව තම දිවිය තුල දැඩි අපහසුතාවයන්ට හා අසරණභාවයන්ට පත්වේ. මෙවන් වූ දුක්බර අවස්ථාවන් හි මනුෂ්‍යා තුල පැවතිය යුතු අත්‍යඅවශ්‍ය ම ගුණාංගය තමා “ඉවසීම”. මිනිසාට ලෞකික දිවිය තුල නිරන්තරයෙන් ඇති වන දුක, අහිමිවීම්, මුලාව, අනපේක්ෂිත වෙනස් වීම්, දුරස්වීම්… යනාදී දුක්බර අවස්ථාවන් හි ඔහු යථාතත්වයට ගෙන එනු ලබන්නේ ද මේ “ඉවසීමයි”. එවන් වූ මෙම “ඉවසීම” පිලිබදව ඉස්ලාම් දහම පුළුල් ලෙස කථා කරන අතර ඒ පිලිබදව කථා කලයුතුම කාල වකවානුවක් ලෙස මේ ගෙවීයන වකවානුව සදහන් කල හැක. එසේ මා පැවසීමට හේතුව මෙම ලිපියෙහි දෙවන කොටසින් කථා කිරීමට පසෙක “ඉවසීම” පිලිබදව ඉස්ලාමීය ඉගෙන්විම කුමක්ද? යන්න ප්‍රථමයෙන් අවධානය යොමු කිරීමට අදහස් කරමි.
මෙම ඉවසීමේ ගුණාංගය පිලිබදව නබිතුමාණන් වරක් මෙසේ පවසන ලදි.
“ඉවසීම යන්න දීප්තිමත් ආලෝකයක් බඳුවේ.”
මුලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්
මෙම නබිවදන බුද්ධිමත් ලෙස විමසා බලන්නේ නම් එම ප්‍රකාශය තුල බොහෝ සත්‍යයන් ඔබට අවබෝධ වනු ඇත. සරලව පැහැදිලි කරන්නේ නම්, අප සමාජයේ නොඉවසිල්ලෙන් කටයුතු කරන පුද්ගලයෙකු පිලිබදව මොහොතක් විමසා බලන්න. ඔවුන් කිසියම් කාරණයක් සම්බන්ධයෙන් කලබල වූ විට කරන්නේ කුමක්ද?, කියන්නේ මොනවාද?, යන්නේ කොහිද? යන කිසිවක් නොදැන ඒ මොහොතේ ඉතා ආවේගශීලීව ක්‍රියා කරයි. මේ නිසා ඔහු ජීවිතය තුල දැකිය යුතු බොහෝ යථාර්ථයන් ඔහුට මඟහැරේ. ඔහුගේ ජීවිතය අඳුරු වලාවකින් වැසී පවතී. මේ නිසා පසුකාලීනව තමන් ක්‍රියාකල ආකාරය පිලිබදව සිතා ඔහු පසුතැවේ. නමුත් “ඉවසීමෙන්” ක්‍රියාකරන පුද්ගලයා එසේ නොවේ. ඔහු සියළු කාරණයන් පිලිබදව හොද සැලකිල්ලෙන් හා අවබෝධයෙන් ක්‍රියාකරයි. ඔහු ජීවිතය යථාර්තවාදී ලෙස දකිනු ලබයි. ඒ අනුව ඉහත හදීසයේ සදහන් ආකාරයට “ඉවසීම යන්න ආලෝකයකි” යයි පැවසීම ඉතා ගැඹුරු අර්ථයන් සරල විවරණයක් යන්න ඔබට පහසුවෙන් අවබෝධ කරගත හැක. මේ “ඉවසීම” පිලිබදව අල්ලාහ් (දෙවියන්) පැවසීමේ දී ශුද්ධ වූ කුර්ආනයේ 13-22 වාක්‍යය මඟින් මෙසේ පවසයි.
“තවද (මුස්ලීම්වරුන්) ඔවුන් කවරේදයත්, තම දෙවියන්ගේ කැමැත්ත අපේක්ෂාවෙන් (සෑම විටම) ‘ඉවසීමෙන්’ කටයුතු කරන්නේය.”
ඉහත වාක්‍යය මඟින් මුස්ලීම්වරයෙකු සතුව පැවතිය යුතු අනිවාර්ය ගුණාංගයක් වන “ඉවසීම” පැහැදිලි ලෙස අවධාරණය කරයි. ඒ මුස්ලීම්වරුන් සියළු දෙනා දැඩි ලෙස අපේක්ෂා කරන “දේව කැමැත්ත” මේ ඉවසීම තුල දිනාගත හැකි බවයි. මේ පිලිබදව සමාජිය වශයෙන් විමසා බලන්නේ නම්, අද අප අවට සමාජයේ බොහෝ දෙනෙකු තමන් ඉවසිම ප්‍රගුණ කොට ඇති බවත්, ඒ අනුව තමා “ඉවසීමෙන්” කටයුතු කරන බවත් පවසයි. සමහරක් පිරිස් “ඉවසීම” ප්‍රගුණ කලයුතු ආකාරය පිලිබදව වැඩමුළු හා දේශන පවා සිදුකරයි. නමුත් එවැනි බොහෝ පිරිසගේ ක්‍රියා කලාපයන් නිරීක්ෂණය කරන විට පැහැදිලි වන්නේ ඔවුන් “ඉවසීම” රඟ දක්වනවා මිස සැබෑ ඉවසීම ප්‍රගුණ කොට නැති බවයි. නමුත් කෙනෙකු දෙවියන්ගේ කැමැත්ත පමණක් අපේක්ෂාවෙන් “ඉවසීමෙන් ක්‍රියා කරයි නම්” ඒ තුල රඟපෑමක් සදහා ඉඩක් පැවතිය නොහැක. එවැනි අවස්ථාවන් කිහිපයක් විමසා බලන්නේ නම්,
- වර්ථමාන ලොව සැලකූවිට එහි මනුෂ්‍යාගේ විනෝදය වින්දනය උදෙසා බොහෝ දෑ සිදුකරන ආකාරය නිරන්තරයෙන් දක්නට ලැබේ. මෙවායින් සමහරක් දහම තුල අනුමත කල අංග වන අතර තවත් සමහරක් දහම තුල වලක්වන ලද අංග වේ. මෙවන් පරිසරයක් තුල කෙනෙකු දෙවියන්ට අවනතව දේව නියමය පරිදි තම ජීවිතය සකසා ගන්නා විට ඔහුට මා ඉහතින් සදහන් බොහෝ අංග තම ජීවිතයෙන් දුරස් කිරීමටත්, අහිමි කර ගැනීමටත් සිදුවේ. එවැනි දැඩි තීරණයක් ගැනීමට නම් ඒ සදහා “ඉවසීම” යන්න අත්‍යඅවශ්‍ය ගුණාංගයකි.
- දෙවියන් වෙනුවෙන් සිදුකරන වතාවත් හෝ වෙනයම් ආකාරයේ වන්දනයන් සදහා එසැනින් ප්‍රතිපල නොලැබෙනවා යන්න ඔබට මා අමුතුවෙන් පැවසීමට අවශ්‍ය නොවේ. විශේෂයෙන් මුස්ලීම්වරයෙකුගේ අරමුණ මරණින් මතු ජීවිතය යහපත් එකක් බවට පත්කර ගැනීමය. කවදත් ක්ෂණික දෑ පිලිබදව දැඩි නැඹුරුවක් දක්වන මිනිසා දේව වන්දනයේ දී එහි ප්‍රථිපලය මරණින් මතුවට බලාපොරොත්තු වන්නේ නම් ඒ සදහා ඔහු තුල “ඉවසීම” නම් ගුණාංගය පැවතිය යුතුමය.
- ස්වභාවයෙන්ම ප්‍රසිද්ධිය ප්‍රශංසාව නිරන්තරයෙන් අපේක්ෂා කරන මිනිසා දෙවියන් වෙනුවෙන් කරන කුසල ක්‍රියාවන්වල දී පවා යම් යම් අවස්ථාවල ඒ තුලින් ජනතා ඇගයීමන් හා වර්ණනයක් අපේක්ෂා කරන අවස්ථාවන් අපට දක්නට ලැබේ. නමුත් ඉස්ලාම් එවැනි සිතුවිලි පවා අකුසල් ක්‍රියාවක් ලෙස දකී. (උදා:- සදකා (දුප්පත් ජනතාවට උපකාර කිරීම), දෙවියන් වන්දනය… යනාදී) එවැනි තැනකට නොවැටී ක්‍රියා කිරීමට නම් ඔවුන් තුල “ඉවසීම” යන්න ප්‍රබල අවශ්‍යතාවයකි.
- සමාජය තුල දක්නට ලැබෙන බොහෝ සුන්දර යයි හැඟෙන කාරණා ඉස්ලාම් පමණක් නොව බොහෝ ආගම් අනුමත නොකරනවා ඔබ දැක ඇත. ඒවායින් සමහරක් ආගම් පමණක් නොව බුද්ධිමත් සමස්ථ සමාජය පිලිකුල් කරයි. උදාහරණයක් ලෙස දුම්වැටි භාවිතය, මත්පැන් භාවිතය, පරපුරුෂ සේවන… යනාදීය සදහන් කලහැක. තාවකාලීක වින්දනයන් ලබාදෙන මෙවැනි තත්වයන්ගෙන් මීදී දෙවියන්ට අවනතව ජීවත්වීමට සමහරක් අවස්ථාවන් හි තම මනස හා අරඟලයන් පවා සිදුකිරීමට සිදුවේ. එහිදී ද මූලික වන්නේ “ඉවසීම” යන්න පමණි.
- මීට අමතරව මනුෂ්‍යයන් වශයෙන් අනිවාර්යයෙන් මුහුණපාන අංග කිහිපයක් ඇත. එනම් මරණය, විපත, අහිමිවීම් හා අහිමි කිරීම්, රෝගීවීම්, පාඩු සිදුවීම්… යනාදි වශයෙන් පෙලගැසීමට හැක. මෙවන් වූ තත්වයන් හමුවේත් මුස්ලීම්වරයෙකු ක්‍රියා කලයුතු ආකාරය වෙන වෙනම විස්තර කර ඇති අතර ඒ සියල්ල සදහාම අත්‍යඅවශ්‍ය මුලීක කාරණය “ඉවසීම” යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි.
ඉහත කරුණුවලට අනුව ඉහත 13-22 වාක්‍යයේ සදහන් ආකාරයට මුස්ලීම්වරයෙකුගේ එකම අරමුණ වන “දේව කැමැත්ත අපේක්ෂාවෙන්” ක්‍රියා කිරීම නම් ඔහු තුල පැවතිය යුතු අනිවාර්ය හා අත්‍යඅවශ්‍ය ගුණාංගයක් වන්නේ “ඉවසීම” යන්න පැහැදිලිය. එසේනම් මේ “ඉවසීම” වර්ථමාන සමාජය තුල “කාලීන මාතෘතාවක්” යයි මා ඉහතින් සදහන් කිරීමට මූලික වූ කාරණය වෙත දැන් අවධානය යොමු කරමු.