ඉස්ලාම් දහම එහි අනුගාමිකයන් හට නිරන්තරයෙන් දේව වන්දනය පමණක් අණ කරන ජීවිත කාලයම ඒ වෙනුවෙන් පමණක් කැප කරන්න උගන්වන ලොව තවත් දහමක් නොවේ. මෙය ලෝකොත්තර දිවිය තරමටම විටෙක ඊටත් වඩා ඉදිරියට ගොස් ලෞකික දිවිය පිලිබදව හා එහි මනුෂ්‍යා සතු යුතුකම් හා වගකීම් පිලිබදව ගැඹුරින් කථා කරන දහමකි. එය ‘යහමඟ’ අඩවිය තුල මීට ඉහත සාකච්චා කල ‘ලෞකික දිවිය හා ලෝකොත්තර විමුක්තිය’ යන ලිපිය කියවීම තුලින් ද තරමක් දුරකට අවබෝධ කරගත හැක. මේ ආකාරයට ලෞකික දිවිය තුල මනුෂ්‍යා සතු වගකීම් පිලිබදව ඉස්ලාම් දහම කථා කිරීමේ දී ‘යහගුණ’ එහි ප්‍රධාන අංගයක් ලෙස විටක ‘ඉස්ලාම් දහමේ එකම අරමුණ මනුෂ්‍යා තුල ‘යහගුණ’ ගොඩනැඟීම ද?’ යන්න සිතෙන තරමට ඒ විෂය පිලිබදව ගැඹුරින් කථා කරයි. එය ‘යහමඟ’ අඩවිය තුල මීට ඉහත ඉදිරිපත් කල ආගම් හා මනුෂ්‍යත්වය, ගතිගුණ අතින් අපි තවමා…, යනාදි ලිපි තුලින් මෙන්ම ‘යහගුණ‘ නම් පෙලගැසීම තුලින් ද ඔබට තරමක් දුරකට හෝ අවබෝධයක් ලබාදුන් බව මා විශ්වාස කරමි.
ඉස්ලාම් දහම ‘මනුෂ්‍යා තුල වර්ධනය කර ගතයුතු යහගුණ’ පිලිබදව වැදගත්කමක් ලබාදී කථා කරන බව මා පැවසුවත් ‘යහඟුණ පිලිබදව කථා කරන එකම දහම ඉස්ලාම්’ යයි මෙතැන දී වැරදි වැටහීමක් මුස්ලීම් සමාජය ඇති කරගත යුතු නැත. මන්ද ලොව බොහෝ දහමන් හා දර්ශනයන් මනුෂ්‍යා තුල වර්ධනය කරගත යුතු ‘යහගුණ’ පිලිබදව කථා කරයි. එසේ තිබියදී මා මේ ලිපි මාලාව තුලින් ‘යහගුණ’ පිලිබදව කථා කිරීමට අදහස් කරන්නේ ‘ඉස්ලාම් දහමත් එය කථා කරනවා යන්න’ සමාජයට ඒත්තු ගැන්වීමට නම් නොව, ලොව අනිකුත් දහමන් දර්ශනයන්ට සාපේක්ෂව ඉස්ලාම් එය කොතරම් ගැඹුරින් හා සවිස්තරව කථා කරනවාද? යන්නත්, එම ඉගෙන්වීමන් කාලීනව නොව සර්වකාලීනව කොතරම් වලංගු වෙනවාද? යන්නත් පිලිබදව සමාජයට කිසියම් අවබෝධයක් ලබාදීම පිණිසය. විශේෂයෙන් දහමක් දර්ශනයක් කාලීනද? සර්වකාලීනද? යන්න ලොවපුරා සංවාදයට ගැනෙන එසේම අභියෝගාත්මක මෙන්ම උණූසුම් මාතෘකාවක් වී ඇති මේ යුගයේ සමයාන්තර අධ්‍යනය තුලින් සර්වකාලීන දහම සොයා යන බුද්ධිමතුන්‍ට ප්‍රබල නිර්ණායකයක් පිලිබදව ඉඟි ලබාදීම පිණිස මේ විෂය මෙලෙස සාකච්චාවට ගැනෙන අතර එය ‘යහමඟ’ මීට පෙර ඉදිරිපත් කල ‘ඔබේ දහම කාලීන ද? සර්වකාලීන ද?’ යන ලිපිය තුලින් පාඨක ඔබට ලබාදුන් පොරොන්දුවක් ද වේ.
ඒ අනුව ඉස්ලාමීය දිව්‍යමය වදනක් තුලින් මාතෘකාව සදහා ප්‍රවේශයක් ලබා ගන්නේ නම්, ශුද්ධ වූ කුර්ආනය තුලින් අල්ලාහ් (දෙවි) මිනිස් සමාජයට මෙසේ පවසයි.
නුඹලාගෙන් කවුරුන් කාර්‍යයන්ගෙන් ඉතා අලංකාර වන්නේද යන්න පරීක්ෂා කර බැලීම පිණිස, ඔහු නුඹලාට මරණය හා ජීවිතය දායාද කොට ඇත. ශුද්ධ වූ කුර්ආනය 67-2
ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය තුලින් මනුෂ්‍යාගේ පෘථිවි සම්භවයේ අරමුණ ඉතා සරලව හා පැහැදිලි සදහන් කරයි. ඔහුව විනිශ්චය කරනු පිණිස ජීවයක් හා මරණයක් ලබාදුන් අල්ලාහ් (දෙවි) විනිශ්චයේ තීරණාත්මක සාධකය ලෙස ‘කාර්‍යයන්ගෙන් අලංකාර’ බව නොඑසේ නම් ‘යහක්‍රියා’ යන්න පවසයි. මේ ආකාරයට මනුෂ්‍යාගේ ලෞකික දිවියේ අරමුණ ශුද්ධ වූ කුර්ආනයේ සරල වාක්‍යයක් තුලින් මනාව විග්‍රාහ කරන විට අල්ලාහ් (දෙවි)ගේ අවසාන දූතයාණන් හෙවත් වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ද තම දහම් මෙහෙවර ඉතා සරලව හා පැහැදිලිව මෙසේ පවසයි.
යහගුණ පරිපූර්ණ කරනු පිණිසම, අල්ලාහ්(දෙවි) හමුවේ සිට මාව (මෙලොවට) එවා ඇත. මූලාශ්‍ර ග්‍රන්ථය – මුඅත්තා
ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය තුලින් මිනිසාගේ පෘථිවි සම්භවයේ අරමුණ වන ‘කාර්‍යයන්ගෙන් ඉතා අලංකාර වුවන් කවුරුන්ද?’ යන්න තීරණය කිරීම පිණිස, යනුවෙන් මනුෂයාගේ ලෞකික දිවියේ ඒකායන පරමාර්ථය අවදාරණය කරන ඉස්ලාම් දහම ඊට පසුව නබිතුමාණන්ගේ පහලවීමේ අරමුණ පැවසීමේ දී ‘යහගුණ පරිපූර්ණ කරනු පිණිස’ යයි නොපවසා ‘යහගුණ පරිපූර්ණ කරනු පිණිසම’ යයි එතුමාණන්ගේ ඒකායන මෙහෙවර ද පැහැදිලි කරයි. ලෝකයේ පවතින බොහෝ ආගම් හා දර්ශන ඇදහිලි, වතාවත්, පූජාවන්… තුලින් හා දෙවියන් වෙනුවෙන් තම දිවිය තුල සියල්ල කැපකොට ලබාගන්නා විමුක්තියක් පිලිබදව කථා කරන විට දිව්‍යමය මඟපෙන්වීම වන ශුද්ධ වූ කුර්ආනය හා හදීසය (නම් මුහම්මද් (සල්) තුමාණන්ගේ (වදන්, ක්‍රියාවන්, අනුමත කිරීමන් යනාදී ආදර්ශ)) මත ගොඩනැගුණූ ඉස්ලාම් දහම මනුෂ්‍යා තුල වර්ධනය කර ගතයුතු ‘කාර්‍යයන්ගෙන් අලංකාර බව’, එසේත් නැත්නම් ‘යහක්‍රියාව’ නොඑසේ නම් ‘පරිපූර්ණ යහගුණ’ පිලිබදව මෙතෙරම් අවදාරණය කරමින් ඒ කෙරෙහි මනුෂ්‍යා උනන්දු කරනවා නම්, මේ ඉස්ලාම් දහමේ මූලික අරමුණ කුමක්ද? යන්නත්, එය මනුෂ්‍යා මෙහෙය වන්නේ කුමන ඉසව්වක් කරාද? යන්නත්, එම අවශ්‍යතාවය කාලීන ද? සර්වකාලීන ද? යන්නත් විවෘත මනසින් බලන සාමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකුට පවා තීරණය කිරීම අපහසු නොවේ.
අබූ අර්ෂද්